සහෝදර බැඳීම කියනදේ මම කොහොමත් විඳින කෙනෙක්. මොකද මටත් මල්ලි කෙනෙක් ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයට අලුතින් එකතු වුණ නවක රංගන ශිල්පිනියන් අතරින් මේ දිනවල වැඩිපුර දකින්නට ලැබෙන චරිතයක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කරගන්න හිතුවා. සඳැල්ල  කවරයද හැඩ කරමින් අප සමග සම්බන්ධ වූ ඇය තත්සරණි පියුමිකා. 

තත්සරණිගේ අලුත්ම ටෙලි රංගන දිඟහැරුම සම්බන්ධව කොයි විදියේ කතාබහක්ද සිද්ධවෙන්නේ?

මගේ අලුත්ම ටෙලි නිර්මාණය තමයි ‘ජානු’ ඒ තුළ මම ශාක්‍යා කියන චරිතයට තමයි සම්බන්ධ වෙන්නෙ. මේ නිර්මාණය තුළ ප්‍රධාන චරිතයෙන් දායක වන ‘සහස්’ චරිතයේ නැගණිය තමයි ශාක්‍යා. ඇය වලව්වක හැදුණු කරුණාවන්ත ගැහැණු ළමයෙක්. වලව්වක හැදුණු වැඩුණු නමුත් කිසිදු මාන්නයක් නැතිව ජීවත් වන පවුලක් තමයි ඇයට තියෙන්නෙ. ඒ පවුල එක්ක ඒ සම්බන්ධතා එක්ක තම මව සහ සහෝදරයා එක්ක ශාක්‍යා ගෙවන ජීවිතේ මේ තුළ දිගඇරෙන්නෙ. ඇත්තටම මම මීට පෙර කළ චරිත රංගනයන්ට වඩා මේ චරිතය ගොඩක් වෙනස්. ඒ නිසාම ලැබෙන ප්‍රතිචාරත් මේ වෙද්දි හොඳ සතුටුදායක මට්ටමක තියෙනවා.

මොකද්ද මේ චරිතයේ වෙනස?

මම මීට පෙර රංගනයේ යෙදුනු චරිත දඟකාර, කටකාර චරිත. ඒ චරිත රංගනයන් ගැන කතා කළොත් ‘පාර දිගේ’ නිර්මාණය තුළ මම ‘පොඩි එකී’ කියලා තමයි කතාබහට ලක්වෙලා තියෙන්නෙ. ඒ චරිත රංගනයේදී මම සහෝදරිය එක්ක රණ්ඩු කරගෙන නිතරම කෑගහගෙන ඉන්නෙ. ඒ වගේම ‘දිව්‍යාදරී’ නිර්මාණය තුළත් දඟකාර කටකාර චරිතයක් කරන්නෙ. ‘කියාදෙන්න ආදරේ තරම්’ නිර්මාණයේත් එහෙමයි. මේ දිනවල මම සම්බන්ධ වෙලා ඉන්න ඒ නිර්මාණ සියල්ලම ඒ වගේ. නමුත් ‘ජානු’ නිර්මාණයේ අහිංසක ගැහැණු ළමයෙක්. ‘ජානු’ තුළ වැඩි වශයෙන් කතාබහ කෙරෙන්නෙ ආදරය සම්බන්ධව. අපි හැමෝටම ජීවිතේ ආදරය සම්බන්ධව කුමක් හෝ කතාවක් තියෙනවානෙ. ඉතින් ශාක්‍යා චරිතය තුළිනුත්, ආදරය, දරාගැනීම, පවුල් ඒකකය තුළ ඒ ජීවිතේ එන අර්බුද, ගැටලුකාරී තත්ත්වයන්වලට මුහුණ දීගෙන ජීවත්වීම සම්බන්ධයෙන් කතාබහ කෙරෙනවා.
ඇත්තටම කිව්වොත් ඒ චරිතය මටත් හරි බරයි වගේ. ඒ තරමට සංවේදී චරිත රංගනයක්.

ඉතින් මේ නිර්මාණය ගැන තත්සරණිට මොකද හිතෙන්නෙ?

‘ජානු’ කියන්නෙ හදවතටම දැනෙන කතාවක්. මම පෙර සඳහන් කළා  වගේ මේ තුළ වැඩිපුර කතාබහ කෙරෙනා ආදරය සම්බන්ධව සංවේදී තැන් ගොඩාක් වැඩියි. විශේෂයෙන් සඳහන් කරන්න ඕනැ මෙහි අධ්‍යක්ෂවරයා මේ නිර්මාණය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා.

මොකද මේ රංගනයත් තුළදී ඒ අවශ්‍ය හැඟීම් සියල්ල ස්වභාවික විදියටම ඔහුට ගන්න ඕනෑ. ඉතින් මේ තුළ සංවේදී තැන් වැඩි නිසා ඒ අදාල හැගීම් ගන්න රංගන ශිල්පියා හෝ ශිල්පිනියව ඒ අදාළ ලෝකවලට ඔහු ගෙනියනවා. ඒ හැඟීමට අදාල වන ගීතයක් හෝ ප්ලේ කිරීමෙන් ඉතින් ඒ හරහා නිරායාසයෙන්ම රංගන ශිල්පීන්ව ඒ මොහොතට ගෙනියනවා. ඔහුගේ අධ්‍යක්ෂණය වගේම මේ තුළ රංගනයෙන් දායක වන ප්‍රවීණ රංගන ශිල්පීන් ඇතුළු නවක ශිල්පීන්ගෙනුත් මේ වෙනුවෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් මගේ අම්මාට රංගනයෙන් දායක වන වසන්ති රන්වල ප්‍රවීන රංගන ශිල්පිනියගෙන් ඇය ඇතුළු මේ කණ්ඩායමේ සියලුම දෙනාගෙ සහයෝගය නිසා තමයි මේ වෙද්දි ‘ජානු’ නිර්මාණය ප්‍රේකෂකයො ආදරෙන් බාරගෙන තියෙන්නෙ. ඇත්තටම මේ වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්න ලැබීම ගැන මට සතුටුයි. මොකද මාව වෙනස් විදියේ රංගනයකට ගෙන ගිය නිසා.

මේ චරිත රංගනයේ අයියාගෙයි නංගිගෙයි බැඳීම කොහොමද දැනෙන්නේ?

සහෝදර බැඳීම කියනදේ මම කොහොමත් විඳින කෙනෙක්. මොකද මටත් මල්ලි කෙනෙක් ඉන්නවා. ඒ නිසා ඒ ආදරය බැඳීම සම්බන්ධ මට අත්දැකීම් තියෙනවා. නමුත් මට අයියා කෙනෙක් හිටියා නම් කියලා හිතුණු වෙලාවල් නම් තියෙනවා. මේ රංගනය තුළදී හේතුව මේ රංගනයේදී අපේ පවුල තුළ තාත්තාත් නැතිව අම්මා සහ අයියා එක්කනෙ ශාක්‍යා ජීවත් වෙන්නෙ. ඉතින් ඒ තුළදී තාත්තා වගේ අයියා තමයි නංගිව ආරක්ෂා කරන්නෙ. ඒ ආදරය, ආරක්ෂාව හැමදේම බලද්දි මට හැඟෙනවා අයියා, නංගී බැඳීම කොච්චර ආදරණීයද කියලා. ආදරේට පුංචි පුංචි රණ්ඩු ඇති කරගත්තත් ඒ බැඳීම හරිම ශක්තිමත්. ඉතින් මේ රංගනය තුළ මගේ අයියාට ඉන්නෙ සචින් ලියනගේ. ඇත්තටම ඔහුත් මට මගේම අයියා වගේ තමයි දැන්. මේ රංගනයටත් ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

තත්සරණිට මේ වෙද්දි විවිධ විදියේ චරිත නිරූපණය කරන්න ලැබිලා තියෙනවානේ. මේ සම්බන්ධයෙන් මොකද්ද කියන්න තියෙන්නෙ?

මම පුංචි කාලෙ ඉඳන්ම හීන දැක්කෙ රංගන ශිල්පිනියක් වීම. අද සැබෑවෙලා තියෙන්නෙ ඒ දැකපු හීනය. ඉතින් මට මේ තුළින් අද විවිධ චරිත නිරූපණයන්ට යන්න හැකිවෙලා තියෙනවා. මම හරිම ආසයි ආදරෙයි කලාවට. ඉදිරියට විවිධාකාර චරිත රංගනයන්වලට යන්න තමයි  ලොකුම කැමැත්ත තියෙන්නෙ. එකම චරිත රංගනයන්ට කොටු නොවී ඉතින් මේ වෙද්දි ලැබුණු චරිත ගැනත්, සම්බන්ධ වෙන්න ලැබුණු නිර්මාණ ගැනත් ලොකු සතුටක් තියෙනවා.

මේ බලාපොරොත්තු වුනු හීනය මල් ඵල ගැන්වුණේ කොහොමද?

ඇත්තටම මේ හීනයට යනවට මුලින් මගේ ගෙදරින් කැමති වුණේ නැහැ. තාත්තාගේ ලොකු විරෝධයක් තිබුණෙ. අධ්‍යාපනයට මුල් තැන දෙන්න කියලා තමයි කිව්වෙ. ඉතින් මම මුලින් O/L - A/L  කරගෙන A/L වලින් පස්සෙ 2021 වසරේ ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයට සම්බන්ධ වුණා.

ඒ තරගයෙන් මට අවසන් 12 දෙනා අතරට එන්න ලැබුණා. එතැනින් පසුව තමයි මට මේ විදියට අවස්ථාව ලැබෙන්නෙ.

එහෙනම් දැන් අවුරුදු කාලයත් ළඟ එන එකේ පැරණි මතකයන් වලට යනවා ඇති?

අම්මෝ ඔව්, ඒ කාලය  හරිම සුන්දරයි. අපේ පරණ වීඩියෝ බලද්දි 2021 වසරට යනවා. කොහොමත් අපි කවුරුත් අවුරුදු කාලෙට මාරම  කැමැතියිනෙ.

ඉතින් මගෙත් ආසම කාලයක් තමයි අප්‍රේල්. ඉතින් මගේ ජීවිතේ සිහින බලාපොරොත්තු ඉෂ්ට කරපු ඒ මාසෙට මම හරි කැමැතියි.

කලා ක්ෂේත්‍රයේ නවතින්නද දැන් බලාපොරොත්තුව?

එහෙම බලාපොරොත්තුවක් තියාගෙන තමයි දැන් නම් වැඩ කරගෙන යන්නෙ. මම මීට පෙර වෙනත් රැකියාවක යෙදෙන ගමන් රංගනය කරගෙන ගියේ. නමුත් රූගත කිරීම්වලට නිවාඩු ලබාගන්න අසීරු වුණා. 
ඒ නිසා රැකියාවෙන් ඉවත් වෙලා සම්පූර්ණ කාලය රංගනය වෙනුවෙන් වැය කරන්න හිතුවා. මොකද මගේ කැමැත්ත තියෙන්නෙ මේ වෘත්තිය මත නිසා.

ඒ ගත්තු තීරණය හරි කියලා හිතෙනවාද?

හරි  හෝ වැරදි මගේ කැමැත්ත තියෙන්නෙ මේ තැන. ඉතින්   මම ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 1 වගේ වෙනවා. ඒ කාලය ඇතුළත මට ලැබුණු නිර්මාණ, වැඩ කරන්න ලැබුණු අධ්‍යක්ෂවරු ගැන සතුටුයි. ඒ වගේම ප්‍රවීන රංගන ශිල්පීන් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ හැමදේම නවක රංගන ශිල්පිනියකට හෝ ශිල්පියෙකුට ලේසියෙන් ලැබෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ තුළ ගොඩාක් දේවල් තව ඉගෙන ගන්න තියෙනවා. ඒ දේවල් ඉගෙන ගනිමින් අධ්‍යයනය කරමින් මේ තුළ ලස්සන සාර්ථක ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දී ක්ෂේත්‍රය තුළින් මගේ ජීවිතේට යම් හෝ වටිනාකමක් එකතුවෙලා තියෙනවා. කොහේ ගියත් දැනහඳුනගෙන කතාබහ කරන කවුරුන් හෝ ඉන්නවා. ඒ ප්‍රතිචාර  ආදරය එක්ක මට යන්න පුළුවන් ගමනක් යන්න තමයි උත්සාහ කරන්නෙ.

ධනු විජේරත්න

ඡායාරූප - සජීව ලක්ෂාන්

හැඩගැන්වීම: කාවින්ද ලෙස්ලි