සිරිවෙන්න - පිනවන්න එනවා එනවා සෝලෝ ටවුන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එන්න මා ප්‍රියේ... ඔයාට මම මේ දැන්... ඔව් මේ දැන් මේ දැන් මේ තත්ත්පරයේ කියලා දෙන්න හදන්නේ පපුවටම වැදෙන ළය ලෙයටම දැනෙන ස්වර තන්තු කම්පනය කරවන ආදරයේ වර්ණවත් ස්වර්ණවත් ශානරයක් ගැන... ඔයා දන්නවද ඒ ලස්සන ආදර ශානරයේ පතුලෙ තියෙන්නේ හිත හිරිවට්ටන ආහ්.. ඔහ්... කියලා හිතෙන තේමාවක්. ආදරය, ප්‍රේමය, පරිත්‍යාගය, ළෙන්ගතුකම, සහෝදරත්වය, මිත්‍රත්වය මනුස්ස හිතක ඉපදෙන්න පුළුවන් චිත්තවේග සමුදායක සම්මිශ්‍රණයක් විදිහට මම සෝලෝ ටවුන් තේමාව අර්ථකථනය කළොත් අනේ ඔව් ඒක එහෙමමයි... 

මෙහෙමත් කීවොත්... ඒ තේමාව හරියට චතුරංගන ද සිල්වාගේ පපුව පලාගෙන මූණෙන් මතුවෙන දසන් මත පිපෙන ලස්සන අමුතු හිනාව වගේ. 
කවුද චතුරංගන ද සිල්වා... දැන් එහෙම හිතෙනවානේ...

එයා තමයි සෝලෝ ටවුන් - Solo Town ගැන කියන්න මාත් එක්ක කතා කරපු සිනමාවේදී ඉලන්දාරියා. කෙටියෙන්ම කීවොත් සෝලෝ ටවුන් කියන්නෙ මිත්‍රයන් පස්දෙනෙක්ගෙන් සමන්විත Boy Band කණ්ඩායමක කතාන්දරයක් ප්‍රස්තුත කරගෙන ඔවුන් වටා ගෙතුණු සංගීතමය සිනමා සිත්තමක්. සෝලෝ ටවුන් නිෂ්පාදනය උදිත කුරේ සහ සෙව්වන්දි වීරසිංහ. කතා සංකල්පයේ අයිතිකාරයා චතුරංගන වුණාට තිර රචනයේදී සහ දෙබස් සම්පාදනයේදී චතූ එක්ක එයාගේ ආදරවන්ත බිරිඳ ප්‍රසාදි අබේගුණරත්න සහ අයේෂා ජයරත්න එකතු වුණා. සෝලෝ් ටවුන් කියන්නේ චතුරංගන ද සිල්වා සහ  සහන් වික්‍රමආරච්චිගේ සමඅධ්‍යක්ෂණයක්.

රංගනයෙන් සේමිණී ඉද්දමල්ගොඩ, සුජීව ප්‍රියලාල්, මිෂෙල් දිල්හාරා, රවීන් කණිෂ්ක, අකලංක ප්‍රභාෂ්වර මේ ආදී නළු නිළි කැලක්...
අහන්න... මෙහෙමයි..

චතුරංගන සෝලෝ ටවුන් තිරයෙන් එහා සහ මෙහා ඒ හා ආදරෙන් එක්වුණු නම් ලැයිස්තුවම එවලා තිබුණා. ඒක මාගලක් වගේ දිග හින්දා ඒක ලියන්න හැටියක් නැති හින්දා චතුරංගනගේ අමුතු හිනාවෙන්ම ඒ හැමෝටම හදවතින්ම ස්තූතියි කියූ වග ලියලා දැන් ලෑස්තිය Boy Band මිත්‍ර රංචුවක් වටා ගෙතුණු රොමාන්තික සිනමා වියමනක් යැයි හැඟෙන සෝලෝ ටවුන් ගැන නොකී කතා ටිකක්, නොදන්න කතා ටිකක් එයාගෙන්ම අහලා දැනගන්නයි. 

ඊටත් ඉස්සර චතුරංගන ගැන තව ටිකක් කියන්න හිතෙනවා. සිනමාවේදියෙක් ලෙස සෝලෝ ටවුන් එක්ක අබිසෙස් ලබන චතුරංගන කියන්නේ නිර්මාණශීලී අමුතු අමුතු ස්වර රටා ගෙත්තම් කළ සහ කරන සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඔන්න ඉතින් මගේ හිතත් ඉගිල්ලෙනවා.. හිත හිරිවැටුණාදෝ, සඳ රේණු ඇති රූක, දිව්‍යංගනාවී, නීල නුවන් ඈගේ ඉඳන් පැණි මකුළුවෝ ගීතය දක්වාත්, සැවැන්දරී ගී මංජරිය දක්වාත්, චතුරංගන ස්වර මුසු කළ ගී නම් බොහෝමැයි... සංගීතයේ විවිධ දිශානතින් හා මුහුවෙමින් දැනෙන ගමනක් ආව චතුරංගන සෝලෝ ටවුන් සිනමා කාව්‍යයේත් සංගීත අධ්‍යක්ෂවරයා...

සෝලෝ ටවුන් ගැන චතුරංගන කියවගෙන කියවගෙන යද්දි මට හැඟුණෙම මට දැනුණෙම මම මලයාලම් චිත්‍රපටයක් බලනවා වගේ හැඟීමක්... මලයාලම් කියන්නේ මට නම් මහා ආස්වාදනීයම උන්මාදයක්... සෝලෝ ටවුන් කතන්දරේ රෑප රාමු මගේ හදවතේ පණගැහෙන්න සිත්තම් කරන්න චතුරංගනගේ කතා විලාසයට හැකිවුණා කියන්නකො... විශ්වාස කරන්න ඇත්තටම ඒ කතන්දරේ අහද්දි මලයාලම් සිනමා සිතුවමක රස තවරාන නිමැවුණු හැඟුමක් දැනෙනවා අනේ...
ලංකාවේ ප්‍රේක්ෂකාගාරය අබිමුව විතරක් නෙවෙයි, කැනඩාවේ සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රේක්ෂකාගාර අබිමුවත් නුදුරේම දිගහැරෙතැයි බලා හිඳින සෝලෝ ටවුන් ගැන මට අරහෙම දැනෙද්දි චතුරංගන මෙහෙමත් කියනවා...
තැනින් තැනට තත්ත්පරයේ දෙකේ සින්දු ඛණ්ඩත් තියෙනවා...

වාව්... කියලා හිතුණේ එහෙම කියද්දි...

සෝලෝ ටවුන් වෛවර්ණයෙන් වර්ණවත් කරන එයාලා මෙයාලා ගැන චතුරංගනලා කියන කතා මංජරියත් හරි රහයි.

'අසංජය නැත්නම් හැමෝම මෙයාට ආදරේට කියන්නේ ජේ කියලා. මෙයා තමයි සෝලෝ ටවුන් බෑන්ඩ් එකේ ලීඩර්. මුළු ජීවිතේම ප්ලෑන් එහෙකට වැඩ කරන හීන ලිස්ට් එකක් හැබෑකර ගන්න හයියෙන් දුවන හයිය හිතක් තියෙන කොල්ලෙක්. සංගීතය වගේම හයි-කැපෑසිටි බයික්වලට පට්ට ආදරයක් තමයි මෙයා තියෙන්නේ'

'ඇන්ජිගේ ජීවිතේ ෆැෂන් ඇන්ඩ් මියුසික් (ජේ) කිව්වොත් හරියටම හරි. ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරනා, ආදරේම විතරක් බලාපොරොත්තු වන ජේ ගේ හීන එයාගේ හීන කරගත්තු ජේ ගේ ලොකුම සපෝටර් ජේ ගේ ආදරයේ හිමිකාරිය.. මොන විදිහේ ප්‍රශ්න ආවත් පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලක්'

ඉතින් ජේලා ඇන්ජිලා ආශලා ග්‍රේෂන්ලා එක්ක තව තව අමුතු අමුතු 'ඩයල්' එක්ක හම්බවෙමු එහෙනම් නොවැම්බරයට එහා හෝ මෙහා දවසක සෝලෝ ටවුන් හිදී...
සෝලෝ ටවුන් මොන තරම් මනරම් ටවුමක් වුණාද කියනවනම්
චතුරංගනගේ හිතේ දැනටමත් නලියන ආදරණීයම බලාපොරොත්තුව දෙවැනි චිත්‍රපටය වියන්නත් නූලක් හොයන එකලු... 
ඉතින් ඒ හීන එක්ක හෙට දවසට ඇහැරෙන්න එහෙනම් චතුරංගන සුබ පැතුම්.

සංජීවිකා සමරතුංග