සූර්යා එකතු වුණ අලුත්ම බැන්ඩ් එක GRADE 14
කණ්ඩායම් සංගීත කලාව වෙනස් මානයකට ගෙන යන්නට උත්සාහ කරන තරුණ සංගීත කණ්ඩායමක් කෙරෙහි මෙවර අපගේ අවධානය යොමු වුණා. GRADE 14 නම් වූ මෙම සංගීත කණ්ඩායමේ නිර්මාපකයා වන්නේ දේශීය රියැලටි කලාව සංගීතයෙන් මුසපත් කළ තරුණ සංගීතවේදීයෙකු වූ නාලක සජිය. සිය අලුත්ම සංගීත කණ්ඩායම ගැන නාලක අපට කිව්වේ මේ වගේ අදහසක්..
කාලයක ඉඳලා තිබුණ අදහසක් මේක. කණ්ඩායම් සංගීත කලාව තුළ වෙනසක් ඇති කරලිමේ අරමුණින් තමයි මේ සංගීත කණ්ඩායම මම ආරම්භ කළේ. සංගීත ක්ෂේත්රය ගැන විශාල දැනුම් සම්භාරයක් තියෙන තරුණ පිරිසක් තමයි මම මීට සම්බන්ධ කරගත්තේ. විශේෂයෙන්ම සූර්ය දයාරුවන්. ඔහුව අපි දන්නේ තරුණ රංගන ශිල්පියෙක් විදිහට. නමුත්, ඔහුට තියෙනවා සුවිශේෂි ගායන හැකියාවක් අපි නොදුටු. ඒ වගේම සංගීත කණ්ඩායමේ ඉන්න අනෙකුත් සාමාජිකයන් වුණත් සංගීත පවුල් පසුබිමක් තියෙන අය.
කණ්ඩායමේ මෙහෙයවන නාලක සජි මෙහි ලිඩ් ගිටාර් වාදනය කරන අතර, සූර්යා දයාරුවන් නිත්‍ය ගායකයා ලෙස කටයුතු කරයි. තිසර බණ්ඩාර වයලින් හා ගීටාර් වාදනයෙන් සහය වෙන අතර, සෙසු සාමාජිකයන් වන චමින්ද දන්තිල රිදම් ගිටාර් වාදනයෙන්ද, දර්ශන ජයමාන්න ඩ්‍රම්ස් වාදනයෙන්ද, රුමා ලියනගේ කි බෝඩ් වාදනයෙන් හා ශාලුක හෙට්ටිආරච්චි බේස් ගීටාර් වාදනයෙන්ද GRADE 14 සමග එකතු වී සිටියි.
කණ්ඩායමක් විදිහට GRADE 14 එළිදැක්වූයේ අපි පසුගිය ජනවාරි මාසේ 25 වැනිදා. ඒ සමග අපිට මේ වනවිට ප්‍රසංග රැසකට ආරාධනා ලැබිලා තියෙනවා. මේ දිනවල අපි සූදානම් වෙන්නේ පෙබරවාරි 25 වැනිදා කොළඹ මියුසියස් කාන්තා විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිත අපේ දෙවැනි ප්‍රසංගය සඳහා. ඒ ප්‍රසංගයෙන් පස්සේ මාර්තු හා අප්‍රේල් ප්‍රසංග රැසකට අපි සහභාගි වෙනවා. මම හිතන්නේ මේ වසර පුරාම අපි සංගීත කණ්ඩායමක් විදිහට කාර්යබහුල වෙයි කියලා. ඒ එක්කම විදෙස් ප්‍රසංග කිහිපයක් සඳහාත් එකතුවෙන්න අපිට ආරාධනා මේ වනවිට ලැබිලා තියෙනවා.
GRADE 14 සංගීත කණ්ඩායමේ කුළුඳුල් ගීතය මේ වනවිට නිකුත් කරන්නට සැළසුම් කර තිබෙන අතර, ඒ රැස් නිවා.. නමිනි. මෙහි ගී පද රචනා කොට ඇත්තේ මනුරංග විජේසේකරය. ගී තනුව හා සංගීතය නිර්මාණය කර ඇත්තේ කණ්ඩායම් ප්‍රධානියා වූ නාලක සජිය. එමෙන්ම ඔහු පවසන්නේ රැස් නිවා. ගීතයට පසුව තවත් ගීත කිහිපයක්ම තම කණ්ඩායම එළිදක්වන්නට මේ වනවිටත් සූදානම් කර ඇති බවය.
ඇත්තටම මේ කණ්ඩායමේ ඉන්නේ දක්ෂයෝ ටිකක්. මේ හැම කෙනෙකුටම හොඳ ලස්සන අහන් ඉන්න ආස හිතෙන කටහඬවල් තියෙනවා. ඒ වගේම වාදනය පැත්තෙනුත් හොඳ හැකියාවල් තියෙනවා. මම මේ පිරිස එක්ක මේ කණ්ඩායම ආරම්භ කරන්න හිතුවේ ලංකාවේ තියෙන සංගීත කලාව වෙනස්ම තැනකට ඔසවා තබන්න. වර්තමානය වන විට අපේ සංගීත ක්ෂේත්රය තුළ හතු පිපෙන්න වගේ සංගීත කණ්ඩායම් බිහිවෙනවා. නමුත්, ඒවායේ පැවැත්ම තියෙන්න හරි අඩකටත් වඩා අඩුවෙන්. පැවැත්මක් හදාගන්න නම් අපි හැමදාම වෙනස්ම දෙයක් අපේ සංගීතලෝලීන්ට දෙන්න ඕනා. GRADE 14 සංගීත කණ්ඩායම උත්සාහ කරන්නේ මිනිස්සුන්ට අවශ්‍ය අන්න වෙනස අත්විඳින්න දෙන්න.
බුද්ධික සේනාධීර