සුරාජ් අයියා තමයි මාව කලා ක්ෂේත්‍රයට අඳුන්වලා දුන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘’නොනිමි’ ටෙලි නාට්‍යයේ ‘’සෙනාලි’ ලෙස ප්‍රේක්ෂක ඔබ හමු වු නෙත්මි සංජනා කලා ක්ෂේත්‍රයට තවමත් නවකයෙකි. සිය අධ්‍යාපන කටයුතු නිසාවෙන් මේ වනවිට කලා කටයුතුවලින් තරමක් බැහැරව සිටින ඇය නව වසරේදී යළිත් කලා නිර්මාණ සඳහා එක්වීමට සූදානමින් සිටියි. සාරවිට සමග ඇය කළ කතා බහයි මේ.

ඔබ රංගනයට තවමත් නවකයෙක්?

ඔව්, රංගනයට මම තාම අලුත් කෙනෙක්. රංගනයෙන් දායක වෙලා තියෙන්නේ දැනට එක ටෙලි නාට්‍යයක් පමණයි. එකත් මීට වසර දෙකකට කලින් තමයි විකාශය වුණේ. පසුගිය කාලේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීලා තිබුණ නිසා කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. අදටත්  මම කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි ශිෂ්‍යාවක් විදිහට මගේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යනවා. ඉතින් අදහසක් තියෙනවා නව වසරේදී නැවතත් කලා කටයුතුවලට එකතු වෙන්න.

පළමු ටෙලි නාට්‍යයට ඔබ සම්බන්ධ වෙන්නේ?

සුරාජ් මාපා අධ්‍යක්ෂණය කළ නොනිමි ටෙලි නාට්‍යය හරහා තමයි මම රංගනයට එන්නේ. එහි මම රඟපෑවේ ’සෙනාලි’ කියන ප්‍රධාන කාන්තා චරිතයට. සුරාජ් අයියා හාපුරා කියලා ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණයට පිවිසෙන්නෙත් මේ ’නොනිමි’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරමින්. ඒක හින්දා මේක මට වගේම සුරාජ් අයියටත් ගොඩක් විශේෂ එකක්. මම ඔහුව මුලින්ම අඳුන ගත්ත් මගේ පාසල් මිතුරියක් හරහා. පස්සේ ඔහුගේ දැනුවත්වීම හරහා මම ’සෙනාලි’ කියන චරිතයට තෝරාගන්න තිර පරික්ෂණයට මුහුණ දෙනවා. මේ චරිතය මට ලැබෙන්නේ හරියටම නොනිමි ටෙලි නාට්‍යයේ රූපගත කරන්න දවස් දෙකක් ඉතිරිව තිබියදි. තිර පරික්ෂණයට මුහුණ දෙන කොටත් මේ චරිතය වෙනුවෙන් විශාල තරුණියන් පිරිසක් ඇවිල්ලා තිබුණා තිර පරික්ෂණයට මුහුණ දෙන්න. කොහොම හරි අන්තිමේදී මට තමයි ’සෙනාලි’ කියන චරිතේ ලැබුණේ. ඒ දවසේ නම් ඉතින් ගොඩක් සතුටු හිතුණා මට.

රඟපාන්න අදහසක් තිබුණාද ඔබට?

රඟපාන්න අදහසක් තිබුණා. හැබැයි ඒක මගේ හීනයක් වෙලා තිබුණේ නැහැ. කවදාහරි දවසක ටෙලි නාට්‍යයක, වෙළෙඳ දැන්වීමක පුංචි කොටසක් කරන්න හිතුවා. හැබැයි කවදාවත් මම ටෙලි නාට්‍යයක ප්‍රධාන කාන්තා චරිතයක් කරයි කියලා හිතුවේ නම් නැහැ. නමුත්, මට අවස්ථාව මුලින්ම ලැබුණේ එහෙම දේකට. රංගනය ගැන මම හැදැරීමක් කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි මට රඟපාන්න මුලික අඩිතාලම ලැබුණේ මගේ පාසල මහනුවර හිල්වුඩ් බාලිකාවෙන්. පළමු ශ්‍රේණියේ ඉඳලා උසස් පෙළ වෙනකම් මම අධ්‍යාපනය හැදෑරුවේ මෙම පාසලේ. පාසලේ නම් මාව කැපිලා පෙනුනේ නිවේදිකාවක් විදිහට. ගොඩක් ගුරුවරු මා අමතන්න ගත්තෙත් එනවුසින් කරන සුදු ගැහැණු ළමයා කියලා. පාසලේ සාහිත්‍ය, කලා ඇතුළු සංගම කිහිපයම වගේ මම නිලතල දැරුවා. ඒ වගේම පාසලේ හැම වැඩසටහනකටම වගේ මම නිවේදිකාවක් විදිහටත් දායක වුණා. පිරිසක් ඉදිරියේ කතා කරන්න හයිය ලැබුණේ පාසලේ මේ කරපු වැඩසටහන් හරහා කිව්වොත් හරි.

පළමු රංගනයේදීම ඔබට ලැබුණේ ප්‍රවීණ පිරිසක් එක්ක රඟපාන්න?

ඇත්තටම මම හරි වාසනාවන්තයි. මොකද, පළමු ටෙලි නිර්මාණයෙන්ම මට වැඩ කරන්න ලැබුණේ ප්‍රවිණ පිරිසක් සමග. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා දිල්හානි ඒකනායක අක්කාව. ඇය තමයි මගේ අම්මා විදිහට ’නොනිමි’  ටෙලි නාට්‍යයේ පෙනී ඉන්නේ. ඇත්තටම දිල්හානි අක්කා මට අම්මා කෙනෙක් වගේ සැළකුවා. සමහර අවස්ථා වලදී ඇය රූපගත කිරිම්වලට එන්නේ මටත් කෑම එකක් හදාගෙන. අපි දෙන්නා ගොඩක් හිතවත් වුණා. ඒ වගේම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂක සුරාජ් මාපා අයියාව විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. රූපගත කිරිම්වලට පෙර අපි දෙන්නා කතා කරනවා කරන්න තියෙන දර්ශන ගැන. ඔහු මට නිතරම කියලා දෙනා ඒ දර්ශනයට මේ වගේ පෙනී ඉන්න, දෙබස් කියන්න. මුහුණෙන් තාත්වික බව පෙන්වන්න කියලා. ඒ වගේම අපේ කණ්ඩායමේ හැම කෙනාවම මතක් කරන්න ඕනා. තව මගේ යාළුවා හැටියට රඟපාපු කෙනා වගේම කැමරා ශිල්පි චන්දන ජයසිංහව. අපි හැමෝම එක පවුලක් වගේ මේ වැඩේට දායක වුණේ.

ලබන වසරේ ඔබව ආයෙත් අපට රංගන ශිල්පිණියක් විදිහට දකින්නට පුළුවන්ද?

ඔව්, අනිවාර්යයෙන්ම පුළුවන්. තවත් මට අධ්‍යාපනය නිමා කරන්න මාස දහඅටක් විතර තියෙනවා. නමුත්, මම හිතුවා මම ආයෙත් රඟපාන්න ආවොත් හොඳයි කියලා. මොකද, මිනිස්සු අතර පැවැත්මක් අපට තියෙන්නේ නිර්මාණවලට දායක වුණොත් පමණක් නිසා. ඉතින් දැනට ආරාධනා කිහිපයකට මම සම්බන්ධ වෙයි. ’නොනිමි’  එකේ සෙනාලි කියන චරිතයට වඩා වෙනස් විදිහේ චරිත රඟපාන්න ලොකු ආසාවක් තියෙනවා මට දැන්. සෙනාලි කියන්නේ චාම්ගති පැවතුම් තියෙන අවංක අහිසංක කෙනෙක්. හැබැයි මට හිතෙනවා මගේ රූපය හා හැසිරිම් එක්ක බලන කොට කටකාර, දඟකාර වගේ චරිතෙ ගොඩක් ගැළපෙනවා කියලා. ඉතින් ආසාවකුත් තියෙනවා ඒ වගේ චරිත කරන්න මට. 

රූපරාජිනියක් වෙන්න වගේ ඔබේ අදහසක් නැද්ද?

නැහැ. රූපරාජිණියක් වෙන්න නම් කිසිම අදහසක් නැහැ. මගේ පවුලේ අය නම් කැමතියි මම අවුරුදු කුමරිය තරගයකට හරි ඉදිරිපත් වෙනවට. විශේෂයෙන්ම මගේ සීයා. ඒත්, මම කැමති නැහැ. ඒ වගේ දේවල්වලට.

කලාවත් එක්ක දිගටම රැදෙන්නද අදහස ඔබේ?

ඒ ගැන නම් කියන්න බැහැ. මොකද, මම ආසයි මා ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජනයක් ගන්න. ඒ වගේම මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මගේ පවුලේ අය නම් කැමතියි මම කලාව පැත්තෙන් ඉදිරියට යනවාට. අද වුණත් ඒ අය මට ලොකු සහයෝගයක් දෙනවා. විශේෂයෙන්ම තාත්තා, අම්මා හා මගේ මල්ලි. අම්මා නිතරම මා ගැන හොයලා බලනවා. ’නොනිමි’  ටෙලි නාට්‍යය රූපගත කරන කාලේ පවා මගේ තනියට හිටියේ මගේ අම්මා. අදටත් පොඩ්ඩක් හරි පරාක්කු වුණොත් අනිවාර්යයෙන්ම මට ඇමතුමක් දීලා හොයනවා ඇය.  

බුද්ධික සේනාධීර

ඡායාරූප - සජිව ලක්ෂාන්