සියුම් ඇසින් අමුතු සිතුවම් අඳින ඩිජිටල් සිත්තරා නුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වැලිකැට දෙකක්වත් එකිනෙකට සමාන නොවෙන ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසාම මිනිසුන් අතර වෙනස්කම් බොහොමයි. ඒ අතරිනුත් සමහරු බොහොම වෙනස්. ටිකක් අමුතු අය විදියට ඒ අයව අපිට පේන්නෙ. පොදු සම්මතයන්ට එහා ගිහින් වර්ණිත ලෝකයක් දකින චරිතයක් අදත් අපි ඔබ හමුවට අරගෙන ආවා.

මේ චරිතය ඩිජිටල් සිත්තරෙක් විදිහට ඔබට හඳුන්වලා දෙන්න පුළුවන්. ඔහු සයිබර් ලෝකය තුළ හිමිහිට ගමනක් යන චරිතයක්. නමින් නුවන් තරංග වික්‍රමගේ. නුවන් සිත්තරෙක්. ඒත් ඔහුගේ වර්තමාන සිත්තර කලාව නූතන ඩිජිටල් ලෝකය හරහා තමා ගමන් කරන්නෙ. ඔහු තාක්ෂණයත් එක්ක සිය හැකියාව එකිනෙක මුසු කරලා අපූරු නිර්මාණය ඉදිරිපත් කරමින් ඉන්නවා. 

මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍යවල ඒ නිසාම නුවන් තරංග කියන ඩිජිටල් නිර්මාණවේදියා දැන් තරමක් ජනප්‍රියයි. නුවන්ගේ නිර්මාණවලට වැඩි වශයෙන් විෂය වෙලා තියෙන්නේ අපේ රටේ ජනප්‍රිය චරිත. ඒ නිසාම තමා ඔහු පිළිබඳ අපේ අවධානය යොමුවුණේ. සමාජ මාධ්‍ය අවකාශය තුළ බොහෝ නළු නිළියන්, ගායක ගායිකාවන් නුවන්ගෙ නිර්මාණ බෙදාගෙන තියෙනවා අපි දැක්කා.

මේ නිර්මාණ හරිම සුවිශේෂීයි. ඒකට හේතුවක් තියෙනවා. නුවන් ඩිජිටල් අවකාශය තුළ නිර්මාණය කරන්නේ සැබෑ සිතුවම්වලට අතිශය සමාන සිතුවම්. Oil painting, Water colours, Ink Flash, Copy Art ආදී සියලු මාධ්‍යවලට අදාළ නිර්මාණ Digital තාක්ෂණය උපයෝගී කරගෙන නුවන් නිර්මාණය කරනවා.

ඩිජිටල් තාක්ෂණය හරහා තාත්වික තෙල් සිතුවම්කරණයට තමා නුවන් විශේෂ ලැදියාවක් දක්වන්නෙ. කැන්වසයේ අත ගා බලා මිස මේ නිර්මාණය ඩිජිටල් මාධ්‍ය හරහා සිදු කරපු බවක් නම් කියන්න බෑ. 

නුවන් තරංග වික්‍රමගේ ඩිජිටල් නිර්මාණවේදියෙක් වෙන්න හේතුව මොකද්ද? අපි හොයලා බැලුවා ඒ ගැනත්. නුවන්  පාසල් කාලේ ඉඳලාම සිත්තර කලාවට දැඩි ඇල්මක් දැක්වූ චරිතයක්. පාසලේ පහේ පන්තියේදී චිත්‍ර අඳින්න නුවන් තුළ තිබුණෙ පුදුම ආසාවක්. ඒ කාලේ චිත්‍ර කලාවට අත් පොත් තියන්න පාසලේ චිත්‍ර විෂය උගන්වපු භික්ෂුවක් ඔහුට උදව් වෙලා තියෙනවා.

පසුව පාසලේ චිත්‍ර විෂය භාර ගුරුවරියගෙන් ලැබුණු ශිල්පීය මඟපෙන්වීම තමා නුවන්ව ඉදිරියට රැගෙන ගියේ. සිත්තර කලාව ඇතුළෙ ඉදිරියට ගියපු මේ නුවන් තරංග කියන දරුවා පාසලේ නමය ශ්‍රේණියේදී මිත්‍රයෙක් එක්ක එකතුවෙලා තනියම චිත්‍ර ඇඳලා අඩි 40ක විතර තොරණකුත් නිර්මාණය කරලා තියෙනවා. තරග ජයග්‍රහණ ඇතුළු තවත් බොහෝ දේවල් ඔහුගේ පාසල් කාලය තුළ ලියවිලා තිබුණා. 

කොහොම නමුත් අපේ රටේ අධාපනයේ තරගකාරී හඹා යාම නිසා සමහර අවස්ථාවල නුවන්ට කලාව මඟහැරිලත් තියෙනවා. පස්සෙ කාලෙක ගමෙන් කොළඹට ඇවිල්ලා ජීවිතය සොයාගෙන යද්දී පරණ නිර්මාණ හැකියාව එකතු කරගෙන, සුමුදු කරුණාරත්ත කියන අතිජාත  මියෙක් එක්ක එකතුවෙලා නිර්මාණකරණයේ යෙදෙන්න ඔහු උත්සාහ කළා. 

නමුත් ලංකාවේ මේ කලාවට තියෙන වෙළෙඳපොළ සම්බන්ධව ඔවුන් දෙදෙනා තුළම ඇතිවුණේ කලකිරීමක්. මේ වෙනකොට පරිගණක ක්ෂේත්‍රයේ යම්තාක් ප්‍රවීණයෙක් වෙලා හිටපු නුවන්, අලුත් මාවතක් හොයාගෙන යන්න පටන් ගත්තා. කොහොම වුණත් ඩිජිටල් සිතුවම් පිළිබඳ ලෝකයේ අවධානය යොමුවන 2000 වර්ෂයේ විතර කාලයේ මේ සම්බන්ධ විවිධ උත්සාහයන් නුවන් දරලා තියෙනවා. 

ඒත් නුවන්ගේ නැගී සිටීම සිදුවෙන්නේ ඉතා මෑත කාලීනව. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තාත්වික තෙල් සිතුවම්කරණය පිළිබඳ සොයා ගිය දැනුම තමා ඔහුව මෙතනට අරගෙන ආවෙ. හැමදාමත් අලුත් අලුත් දේ කරන්න අභියෝග බාරගන්න කැමති කෙනෙක් තමයි නුවන් තරංග වික්‍රමගේ කියලා කියන්නේ.

ඒත් සිත්තරෙක් වෙහෙස වෙලා තමන්ගේ අතින් අඳින දේ කවදාවත් පහත හලන්න මේ නිර්මාණවේදියා කැමති නෑ. ඔහු සිත්තර කලාවට ඇළුම් කරන කෙනෙක් විදිහට මුලින්ම සිත්තරුන් අගයනවා. ඒත් අපේ රටේ සිතුවම්වලට ඇළුම් කරන, නමුත් ඒ වෙනුවෙන් පිරිවැයක් දරන්න බැරි ප්‍රජාව වෙනුවෙන් ඔහු නිර්මාණකරණයේ යෙදෙනවා. 

කොහොම නමුත් මේ කලාව ලෝක මට්ටමෙන් නම් ඉතාම ඉහළ වටිනාකම් ලැබෙන කලා මාධ්‍යයක්. බොහෝ කාලය මිඩංගු කරලා මේ මාධ්‍ය ඇතුළෙත් විශිෂ්ට නිර්මාණ කරන්න පුළුවන් බව අපේ නිර්මාණකරුවා විශ්වාස කරනවා. නමුත් ඔහුට තියෙන ප්‍රශ්නය තමයි අපේ වගේ රටක කලාවට වටිනාකමක් නොලැබීම. ඇත්තටම ඒක පොදු ප්‍රශ්නයක්. කොහොම නමුත් තමන්ගේ ඩිජිටල් නිර්මාණකරණ චාරිකාව ඉදිරියට අරගෙන යන්න නුවන් ඒක බාධාවක් කරගෙන නැහැ.

නිරන්තර ලෝක මට්ටමේ නිර්මාණකරණය සම්බන්ධව අධ්‍යයනයකින් ඔහු පසුවෙනවා. නිර්මාණ ඇතුළෙ විවිධ පර්යේෂණ සිදු කරන්න ඔහු මැලි වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවල නිරන්තරයෙන්ම ඔහු සමඟ රැඳෙන්නෙ ඔහුගෙ මිත්‍රයා. ගුණ දොස්, විවේචන, ඇගයුම් සියල්ල සහෘද හදින් බෙදාගෙන මේ ගමන යා යුතු බව තමා ඔහු විශ්වාස කරන්නෙ.

විවිධ කලාකරුවන් නුවන්ව නිරන්තර ඇගයීමට ලක් කරනවා අපි සමාජ මාධ්‍ය තුළ දකිනවා. ඒ අතරෙ ලංකාවේ ඡායාරූපකරණය සම්බන්ධව ප්‍රවීණ ගුරුවරයකු වන ඉන්ද්‍රනාථ තේනුවර මහතාගේ ඇගයුම බොහොම තදින් අපට දැනුණා. මොකද ඔහු මේ ක්ෂේත්‍රය ඇතුළෙ ප්‍රවීණයෙක්. ඔහු කියලා තිබුණෙ මෙන්න මෙහෙම.

 

“Photoshop මෘදුකාංගය තිබූ පමණින්, එහි විවිධාකාර ටූල හැසිරවීමේ හැකියාව තිබූ පමණින් සහ තමන්ට අඳින්නට හැකියාවක් තිබූ පමණින් නිර්මාණ බිහිවන්නේ නැත. යමක් යළි පිටපත් කිරීම ද, උපුටා දැක්වීම ද කිසි ලෙසක නිර්මාණයක් වන්නේ නැත. තිබෙන යමක් නිර්මාණයක් වන්නේ ඊට තමන්ගේ නිසඟ කුසලතාවයෙන් අලුත් හැඩයක් එක් කළ විට පමණි.

මගේ කැමතිම පින්තූර අතරින් එකකට අලුත් හැඩයක් එක් කළ නුවන් තරංග වික්‍රමගේට මගේ ප්‍රණාමය පුදමි!

නුවන් විශ්වාස කරන විදිහට මේක ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. මේ ඡායාරූපය ඩිජිටල් සිතුවමට නගන්න තේනුවර මහත්මාගෙන් ඔහු අවසර අරගෙන තිබුණේ කල් ඇතිවම. ඒ ලැබුණු අවසරෙන් ඔහු කරපු නිර්මාණය ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙණිය කියන ගමේ ඉපදුණු මෙම අපූරු තරුණයා අද කොලොම්පුර ඩිජිටල් ලෝකය තුළ සිය චාරිකාවක් ආරම්භ කරලා ඉවරයි. Ceylon Digital Art කියන මුහුණ පොතේ පිටුව හරහා ඔහුගේ නිර්මාණ දැක බලාගන්න පුළුවන්. 

ආ මඟ කෙටියි යා යුතු මඟ දුරයි. මේ වන විටත් රටේ විශිෂ්ට කලා කෘති කිහිපයකට දායක වීමේ අවකාශය නුවන් තරංග වික්‍රමගේ කියන ඩිජිටල් සිත්තරාට ලැබිලා තියෙනවා. අනාගතයේ ඒ නිර්මාණ කලඑළි දකිද්දී මීටත් වඩා පුළුල් විදිහට අපිට ඔහු ගැන කතා කරන්න අවස්ථාව සැලසේවි.

පෞද්ගලික විස්තර ටිකක් කිව්වොත් නුවන් විවාහ වෙලා ඉන්නේ ගුරුවරියක් සමඟ. ආදරණීය දියණියන් දෙදෙනෙක් ඉන්නවා නුවන්ට. ඒ කියන්නේ නුවනුත් ආදරණීය කැදැල්ලක අයිතිකාරයෙක්. විස්තර බොහොමයි. සියල්ල ලියා තබන්න ඉඩ හසර මදියි.

මිනිස්සු ලෝකේ ඉස්සරහට යන්නේ විවිධ බාධා අභියෝග මැදින්. ලෝකේ ජය ලබන්නේ තමන්ගේ ජීවිත ඇතුළෙම සිදු කරන විවිධාකාර පරීක්ෂණ නිසා. සාර්ථක මිනිස්සු ජීවිතය පුරාවටම තමන්ගේ පර්යේෂණ අතහරින්නේ නැහැ. එය නිසාම සාර්ථක මිනිස්සු එක ජයග්‍රහණයකින් ගමන නතර කරන්නෙත් නැහැ. ඔවුන් තවත් ඉදිරියට ඇවිදගෙන යනවා.

 නිසල්