සමහරු හිතුවෙ ඇත්තටම අපි දෙන්නා පෙම්වතුන් වගේ කියලයි. ප්‍රේක්ෂකයින් පවා හිතුවෙ එහෙමයි
තරංග දිසානායක ප්‍රථම වරට අධ්‍යක්ෂණය කළ ‘හිච්චි’ ටෙලි මාලාව මේ දිනවල විකාශය කෙරෙනවා. එම නාට්‍යයේ හිච්චිට පෙම් බැඳි මේ කඩවසම් ශිල්පියා එහි රඟපාන්නෙ ‘‘සිනෙත්’’ නම් වූ චරිතයකි. එලෙසින් අපට හමුවන ඔහු සහ ‘හිච්චි’ සමග අපි කතා බහකට එක්වන්නේ, බක්මහ අසිරිය සමගයි. අවුරුදු සමයේ තවමත් නෑගම් යමින් සිටින ෙමාහොතක මේ දෙන්නා අපට කියන්නේ මොනවද බලමු
හිච්චි, සිනෙත්, ඔබගේ ඇත්ත නම?
ශෙෂාන් දීමන්ත.
ශෙෂාන්? තේරුම?
ශෙෂාන් ඉන්දියාවෙන් ආ නාමයක්. දිමන්ත කියන්නේ දිදුලන මැණිකක්.
ඔබ දිදුලන මැණිකක් වගේද?
අනිවාර්යයෙන්ම එහෙම ඇති කියලා මම හිතනවා.
කොහොමද අපි ඔබට ශෙෂාන් කියන්නද? දීමන්ත කියන්නද?
ශෙෂාන් කියලා තමයි යාළුවෝ සහ හැමෝම කතා කරන්නේ.
ශෙෂාන් ගැන මිනිස්සු දන්නා විදිය?
අද වැඩි දෙනෙක් ශෙෂාන් ගැන කතා කරන්නෙ කොටස් සියය ඉක්මවා විකාශය කෙරෙන තරංග දිසානයක මහතා අධ්‍යක්ෂණය කළ ‘හිච්චි’ නාට්‍යයේ රඟපාන සිනෙත් සර්ගේ චරිතය නිසයි.
ඒකද ඔබගේ පළමු රංගනය?
මගේ පළවැනි රංගනය සිරස ටී.වී. එකේ විකාශය වූ ‘ඔබ නිසා’. එහි ‘මේනක’ ගේ චරිතය රඟපෑවේ.
කොහොමද සිනෙත් සර්ට ප්‍රතිචාර?
කලින් මම එක-එක චරිත කරලා තිබුණාට ඒ චරිත වලින් පසුව මට මිනිස්සුන්ගේ ආදරය එක්ක ලැබෙන හොඳම ප්‍රතිචාර තියෙන්නෙ ‘හිච්චි’ නාට්‍යයේ චරිතයට. පුංචි ළමයි අද මට හරි ආදරෙයි. සිනෙත් සර් කියන්නෙ පාසලක තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුවරයෙක්. මේ චරිතය වගේම නාට්‍යය මට ලොකු අභියෝගයක් කළ නිර්මාණයක්. මෙහි මගේ අම්මට රඟපාන්නෙ ප්‍රවීණ රංග ශිල්පිනි මාදනී මල්වත්ත. ඇයගෙන් තමයි ගොඩාක් ගුරුහරුකම් මම ලබන්නෙ. වසන්ත විට්ටච්චි මහතා විදුහල්පතිගෙ චරිතය රඟපාන්නෙ. ශ්‍රියන්ත මෙන්ඩිස්, හිමාලි සයුරංගි ඇතුළු ප්රවීණයන්ගේ මග පෙන්වීම එක්ක බොහෝ දුර යන්න පුළුවන් වගේම, හිච්චි නාට්‍යයේ අනෙකුත් සියලුම ශිල්පීන් නිසා මගේ චරිතය ඔප වැටී තියෙන වග කියන්න පුළුවන්.
එතකොට මෙහි ඔබගේ පෙම්වතිය ලෙස රඟපාන ඇය ගැන කොහොමද කියන්නේ?
ඇය ගැන අනිවාර්යයෙන්ම කියන්නට ඕනෑ. දිනුකි අතපත්තු ප්‍රධාන චරිතයක් රඟපාන පළමු නිර්මාණය. මුලින්ම අපි දෙන්නට හුරු නැති ගතියක් තිබෙන්න ඇති. ඒත් දැන් අපි දෙන්නට දෙන්නාගෙ චරිත අවබෝධය නිසා මේ චරිත හොඳින්ම රඟපාන බව මගේ විශ්වාසයයි. මගේ රංගනය සාර්ථක කරගන්න ඇයගෙන් ලැබෙන සහයෝගය ඉහළයි.
දිනුකි එක්ක මොන වගේ මිත්‍රත්වයක්ද තියෙන්නෙ?
සමහරු හිතුවෙ ඇත්තටම අපි දෙන්නා පෙම්වතුන් වගේ කියලයි. ප්‍රේක්ෂකයින් පවා හිතුවෙ එහෙමයි. සමහරවිට ටී.වී. ප්‍රෝග්‍රෑම්වලට ගියාමත් ප්‍රේක්ෂකයින් හිතන්නෙ ඒ විදියට. ඒත් අපි දෙන්නා හොඳම යාළුවෝ. ඒ හිතවත්කම – යාළුකම නිසා වෙන්නැති මිනිස්සුන්ට අපිව ඒ තරමටම සමීපව පෙනෙනවා ඇත්තෙ. චරිතයට උපරිම සාධාරණයක් කරන්න ඕනෑ නිසා තමයි අපි මේ තරමටම මිත්‍රත්වයෙන් ඉන්නෙ.
ශේෂාන්ගේ සැබෑ පෙම්වතිය?
තවම නම් පෙම්වතියක් නැහැ.
පවුලේ විස්තර කියමු?
තාත්තයි-අම්මයි, මල්ලියි, නංගියි අපි සාමාන්‍ය පවුලක්. නිවාස ඉදිකිරීම් ක්ෂේත්රයේ කොන්ත්‍රාත්කරුවෙකු ලෙස තමයි තාත්තා වැඩ කරන්නෙ. අම්මා ගෘහණියක්.
ගම්පළාත?
මාතර
එහේ ඉඳලමද මේ වැඩවලට එන්නේ?
ඔව්, මගේ රඟපෑමට ආ විදිය ගැන කිව්වොත්, මුලින්ම ස්වර්ණවාහිනියේ අවුරුදු කුමරා තරගයට 2019 දී ඉදිරිපත් වුණා. අවසන් 5 දෙනා අතරට තේරුණා. ඒ අවුරුද්දේ මාව දැකලා රවීන්ද්‍ර විජේරත්න ප්‍රවීණ අධ්යක්ෂවරයා මාව තිර පරීක්ෂණයකට යොදා ගත්තා. එතුමා තමයි මුලින්ම මට ඒ අවස්ථාව ලබා දුන්නේ. එදා තිර පරීක්ෂණයෙන් මාව තේරුණා. ඒ එක්කම එතුමා ‘ඔබ නිසා’ නාට්‍යයේ මේනක චරිතය ලබා දුන්නා. එතැන් සිට එන ගමන තමයි මේ.
ශෙෂාන් මොන විදියේ කෙනෙක්ද?
මට හීන ගොඩාක් තියෙන කෙනෙක්. ඒ හීන සැබෑ කර ගන්න ඒවා පස්සේ යන කෙනෙක්.
ශෙෂාන් ආදරය ගැන හිතන විදිය?
අම්මගේ-තාත්තගෙන් ලැබෙන ආදරයට සම කළ හැකි ආදරයක් නම් මම හිතන්නෙ කාගෙන්වත් ලැබෙන එකක් නැහැ. මම මේ ලෝකයේ වැඩිපුරම ආදරය කරන්නෙ තාත්තා සහ අම්මාට. විශේෂයෙන්ම මගේ ලෝකයේ ‘වීරයා’ තාත්තා. තාත්තාගේ ආදරයට පුරවන්න තරම් ආදරයක් තවත් නැහැ.
‘හිච්චි’ ඇර වෙන රඟපාන චරිත මොනවාද?
විකාශය වන බේකරි ගෙදර නාට්‍යයේ චරිතයක් රඟපානවා. ඊටත් අමතරව, රවීන්ද්‍ර විජේරත්න මහතාගේ අලුත් නාට්‍ය වන ‘මෑන් ඔෆ් ද මැච්’ නාට්‍යයේ සහ තිළිණ බොරලැස්ස මහතාගේ නාට්‍යයකටත් ඇරයුම් ලැබී තිබෙනවා.
සඳුන් ගමගේ