සමහර වෙලාවට වැරදිලා එයාට කතා කෙරෙන්නෙත් රිවර්ස් එකට
නිදාගන්නෙ කවදද වෙනකල් දවල්
කරන්න ඩීජේ කලින්
ඉතුරු කරන්න මගෙ නහය කෙළින්
නෙවෙයි ගියේ වැඩට
ගන්නලු ඉගෙන, සොෆ්ට් වෙයාර් ගැන
මේ විදියට කියන්නෙ වෙන කවුරුත් නෙවෙයි ඩීජේ (DJ) ලසා. කියන වචන රිවස් එකට ගලපලා කියන මේ ඩීජේ (DJ) ලසා ගැන බොහෝ දෙනා මේ දිනවල හරිම ආසාවෙන් කතා කරන බව කියන්න පුළුවනි. විකාශය කෙරෙන කී (Key) නාට්‍යයේ ‘ලසා’ ගෙ රංගනය දැකගන්න බොහෝ දෙනා ආසාවෙන් බලා සිටින වග සඳහන් කරන්න පුළුවනි. යෝ... යෝ.
එහෙනම් යාළුවන්ට යෝ... යෝ... කියන ඩී. ජේ (DJ) ලසන්ත් හෙවත් කී (Key) නාට්‍යයේ ලසා වූ, සංගීත් සතරසිංහ එක්කයි මේ රිවස් කතාබහ.
සංගා කියන්නද? ලසත් කියන්නද? ලසා කියන්නද?
කැමති නමකින් කතා කරන්න පුළුවනි. දැන් නම් කී (Key) නාට්‍ය නිසා, ‘ලසා’ කියලත් වැඩි දෙනෙක් කියනවා. හැබැයි ජීවිතයට වඩාත් ළඟම කෙනා මට කියන්නෙ ‘සංගා’ කියලයි.
සංගීත්, ‘ලසා’ නිසා, ගැහැණු ළමයි පිස්සු වැටිලා වගේ නේද?
ගැහැණු ළමයි විතරක්ම නෙවෙයි, පොදුවේ සෑම කෙනෙක්ම වගේ ඒ චරිතය ආදරෙන් වැළඳගෙන තිබෙන බව පෙනෙනවා. එළියට බැස්සාම ලැබෙන ඒ ප්‍රතිචාර වලින් ඒ බව කියන්න පුළුවන්.
කළින් ‘ඩීජේ’ (DJ) කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද?
නැහැ, නැහැ... ඩීජේ (DJ) කරන යාළුවො නම් දන්නවා, ඒ වගේම ඩිජිටල් තාක්ෂණයේ භාණ්ඩ ගැන එහෙම දන්නවා. මොකද මම හැදෑරුවේ මෘදුකාංග ඉංජිනේරු අංශයෙන්. හැබැයි තවම එහි උපාධිය ඉවර කරලා නැහැ. ඒ නිසා එහෙන් මෙහෙන් දන්න දේ එක්ක, චරිතය රඟපෑමට පෙර, ටිකක් ‘ස්ටඩි’ කළා. ලසත් වුණේ ඒ විදියටයි.
මෘදුකාංග ඉංජිනේරු අංශය ගැන හදාරාලා රඟපාන්න ආවා.
ඒකට හේතු වුණේ, සිරස මෑන්ට්හන්ට් තරගයේදී Mr. පර්සනැලිටි (Personality) වීමත් එක්කයි. ඊට පෙර රේඩියෝ ඩබින් ආටිස්ට් කෙනෙක් විදියට තාත්තා එක්ක මේ ෆීල්ඩ් එකට ආවෙ. ඉන් පස්සෙ ටී.වී. ප්‍රසන්ටර් කෙනෙක් ලෙසත් කටයුතු කළා. ඊට පස්සෙ තමයි මෑන් හන්ට් ගියේ. ඉන්පසුවත් නිවේදකයකු ලෙස කටයුතු කළා. මම ඉගෙන ගත්තෙ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්. ඒ කාලයේ නාට්‍ය එහෙම කළා. ඒ වටපිටාව එක්ක රංගනයට එන ආසාව තිබුණෙ. නිවේදනයෙන් රංගනයට ආවේ ඒ ආසාව සහ එතෙක් ආ ගමනේ ඵලයක් විදියටයි.
මීට පෙර විකාශය වූ රන්තිලිවැව, කුසුමා සන දේවි, පැණි කුරුල්ලෝ, හිරු ඇවිදින්, මේ වගේ නාට්‍ය ගණනාවක රඟපෑවත්, ‘කී’ නාට්‍යයේ චරිතය, ඒ ඔක්කෝටම වඩා වෙනස්ම වෙනස් විදියක් නේද යෝ?
හා...හා... වෙනස්ම විදියක්. ලකා යාළුවන්ට කතා කරන්නෙ යෝ..යෝ කියලා තමයි. රිවස් එකටනෙ නිතරම එයා කතා කරන්නෙ. කොහොමටත් මගේ වාසනාවට මේ දක්වා ලැබුණේ විවිධ චරිත. ‘සිවා’ අයියා මේ පාරත් මට දුන්නෙ වෙනස්ම චරිතයක්.
යෝ...යෝ... ඒ වගේ වචන සහ රිවස් එකට කතා කරන එක කොහොමද ඒ අදහස ආවෙ?
චරිතයට ප්‍රවේශ වීමට පෙර කොහොමද කරන්නෙ කියලා සිවා අයියා සහ සායා අයියා (අසංක සායක්කාර) එක්ක කතා කර ගත්තා. පිටපත ‘සායා’ අයියගෙ. සමහර වෙලාවට අතින් දාන ඒවාත්, සිවා අයියත් කියන දේ තියෙනවා. දැන් මේ වනවිට නම් ‘සායා’ අයියා ‘ලසන්’ව තව තවත් ක්‍රියේටිව් කරමින් ලියන බව පෙනෙනවා. මේ විදියට රිවර්ස් (අනෙක් පැත්තට) කතා කරමු කියලා මම සිවා අයියාගෙන් මුලින්ම ඇහුවාම, සායක්කාර අයියත් ඒකට කැමැත්ත දුන්නා. ඊට පස්සෙ එයාලා ‘ලසා’ව ඔප දාලා ගත්තා. ප්රේක්ෂකයින්ටත් ඒක වෙනස්ම අත්දැකීමක්. හැබැයි රඟපාද්දි ඒක ලෙහෙසි නැහැ. දෙබස් මතක තියා ගන්න ඕනැ. අනෙක් කෙනාගෙ රිඇක්ට් එක සහ අවශ්‍ය දර්ශන ගැන මතක තියාගන්නත් ඕනැ. ඒ චැලේන්ජ් එක මම බාර ගත්තා. මටත් ඒ විදිය ජීර්ණය වෙලා. සමහර වෙලාවට ගෙදර ආවාම ගෙදර අයටත් කතා කරන්නෙ රිවර්ස් එකට. සමහර වෙලාවට හොඳම ටේක් එකකදි ලයින් එක කිව්වාම අනෙක් අයට හිනා ගිහින්, නැවත නැවතත් ෂූට් කරන්න වෙනවා.
ඔයාගෙ ‘මැණික’ ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? රිවර්ස් එකට කතා කරද්දි?
සමහර වෙලාවට වැරදිලා එයාට කතා කෙරෙන්නෙත් රිවර්ස් එකට. එතකොට එයා ඇයි මොකද ‘ලසා’ ද කියලා අහනවා.
දැන් ඉතින් ඔය ආදරය හංගන්න දෙයක් නැහැනෙ. ඔයාගෙ මැණික කතා කරන්නෙ ‘සංගා’ කියලද?
ඉස්සර ඉඳලම එයා කතා කරන්නෙ ‘සංගා’ කියලයි. අපි යාළුවෝ විදියට හිටපු කාලයේදි දිගටම කතා කළේ ඒ විදියට. දැන් නම් ඉතින් බබී, බේබි, පැටියෝ කියලා එක – එක නම් කියනවා.
සංගාගෙ මැණික වූ දිනිති, විශේෂයෙන් මේ චරිතය ගැන මොනවද කියන්නෙ?
‘ලසා’ගෙ චරිතය ‘දිනී’ හරියට විඳින බව පෙනෙනවා. කොහොමටත් මම දායක වන දේ බලලා ඒ කරන දේ තවත් හැඩ කරගන්න, එයා බබී මේක මේ විදියට කළොත්, අර විදියට කළොත් හොඳයි නේද කියලා කියනවා. ලස්සනට කරන තැන බලලා හරියට අගය කරනවා. මාව හරියට ධෛර්වත් කරනවා. එයාගෙන් තමයි වැඩිපුරම පැසසුම් ලැබෙන්නෙ.
‘දිනී සහ සංගා’ගේ මේ ආදරය ගැන කොහොමද?
මගේ ජීවිතයට මෙච්චර කල් ආවේ බලෙන් මගේ ජීවිතයට ඇවිල්ලා බලෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙච්ච අය. දිනී කියන්නෙ මගෙන් වාසි බලාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. එයාගෙ මම දකින ලස්සනම ගතිගුණය ඒක. එයාගෙ මහන්සියෙන් හොඳට ඉගෙන ගෙන, බයෝ ටෙක්නොලොජ් (ජෛව විද්‍යා) අංශයේ ඩිග්රි එකක් තියාගෙන, හොඳ රස්සාවක් කරලා එයාට, එයාගෙ දෙයක් හම්බ කර ගන්න කෙනෙක්. මට එයාව හමුවන විටත් එයා හොඳ ස්ථාවරයක, හොඳ තැනක ඉන්න කෙනෙක්. එයා මගෙන් ඩිපෙන්ඩ් වෙන කෙනෙක් නෙවෙයි. එයාගෙ මම දකින ලස්සනම දේ ඒක. ඒ වගේ ස්ථාවර වෙලා ස්වාධීන වූ ‘දිනී’’ මගේ ජීවිතේ එක්ක ඉන්නෙ ඇත්තටම ආදරේට. අපි දෙන්නා අතර තියෙන බැඳීමට. මෙච්චර කල් මගේ ජීවිතයට බලෙන් ආ අය වගේ නෙවෙයි. මගේ ජීවිතයට මම තමයි දිනිතිව තෝරා ගත්තෙ. මම කැමැත්තෙන් තෝරා ගත්ත කෙනා ‘දිනී’.
‘දිනී’ ඔබගෙන් ඩිපෙන්ඩ් නොවනවා වගේම ඔබත්, ස්වාධීනව නැගී සිටින කෙනෙක්ද?
මට කොහෙත්ම ’දිනී’ගෙන් ඩිපෙන්ඩ් වෙන්න ඕනෑ නැහැ. මාත් එහෙම ගමනක් ගිය කෙනෙක්. දිනී මගේ ලයිෆ් එකට ආවාට පස්සෙ අපි දෙන්නා එකතුවෙලා වගේම දිනී නිසා, මගේ ජීවිතේ බොහෝම ‘සක්සස්’ කර ගන්නවා. ඇත්තටම මගෙ ජීවිතයට මට වඩා ගොඩාක් ඉහළින් ඉන්න කෙනෙක් දිනී. මගේ ජීවිතයට ඇවිත්, මම හිටපු තත්වයෙන් මාව උඩට ගත්තා. මගේ ලයිෆ් ස්ටැන්ඩර්ඩ් එක ඉහළට ගත්තා. සංගීත් සතරසිංහ කියන කෙනාගේ ජීවිතයට වටිනාකමක් දුන්න කෙනෙක්. මාව මාර තැනකින් උස්සලා තිබ්බා, මගේ සාර්ථකත්වය නිතරම දැක්කා. මාව අගය කළා. යායුතු තැනට මට යන්න මාර විදියට සපෝට් කළා. එහෙම කෙනෙක් මට මීට පෙර හම්බ වෙලා නැහැ. මගේ ජීවිතයට හම්බවෙච්ච හොඳම කෙනා. මම තෝරා ගත්ත හොඳම කෙනා. එයාට මගෙන් අමුතුවෙන් ගන්න දෙයක් තිබුණෙ නැහැ. ඒ වගේම එයාට හැමදේම තියෙන කෙනෙක්. අමුතුවෙන් මට එයාට දෙන්න දෙයක් නැහැ.
ඒ නිසා තෑගි දෙන්න ගියාම, අමාරුවෙ වැටෙනවද?
අනිවාර්යයෙන්ම ඔව්. සමහර වෙලාවට එයාට තෑගි දෙන්න ගියාම මම මාර විදියට අමාරුවෙ වැටෙනවා. මොකද එයාට ඉස්තරම්ම විදියෙ හැම දෙයක්ම තියෙනවා. ගුවන් සේවිකාවක ලෙස එයා ලෝකයේ රටවලට යනවා. ඒවායෙදි ගන්න පුළුවන් දේ බොහෝමයි. අපට ලංකාවෙන් ගන්න බැරි දේ එයාට ගන්න පුළුවනි. මට එයාව හමුවන විටත් එයා Audi අවුඩි රථයක් පදින කෙනෙක්. ඉතින්, මගේ ලයිෆ් එකේදි මට එයාට තෑගි දෙන්න ගියාම මම අසීරුතාවයට පත්වෙනවා. හැබැයි ‘දිනී’ කියන්නෙ කවදාවත් මගෙන් කිසිම දෙයක් ඉල්ලපු කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා අවුඩියක් (Audi) තිබුණු එයාට මට දෙන්න පුළුවන් වූ හොඳම ගිෆ්ට් එක (තෑග්ග) බෙන්ස් එකක්. වෙන ගිෆ්ට් එකක් ගැන මට හිතාගන්න බැරි වූ නිසයි එහෙම කළේ. මොකද එදිනෙදා භාවිතයට ගන්න ඉස්සෙල්ලා කිව්වා වගේ ලෝකෙ අනර්ඝ දේවල් ඔක්කෝම වගේ ‘දිනීට’ තියෙනවා. ඒත් ඒ වගේ දෙයක් පවා එයාට මගෙන් ගන්න තිබුණෙ නැහැ. එයා මගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී මට අසීමිතව ආදරය කරන කෙනා තමයි මගේ මැණික දිනී. සෑහෙන කාලයක් අපි මිතුරන් ලෙස සිටියා. එයාට මා ගැනත්, මා ගැන එයාටත් හොඳ අවබෝධයක් තියෙන්නෙ. මට එයා මාර කෙල්ලෙක්. අද ඉන්නෙ කලින් හිටපු සංගීත් සතරසිංහ නෙවෙයි. අද සංගීත් බැබලෙනවා නම්, වෙන උසස් තැනක ඉන්නවා නම්, ඒ තැනට මාව තල්ලු කළේ, ඒ තැනට මාව ගෙනාවෙ දිනී.
ඒ කියන්නෙ ජීවිතේ මල්, දිනී ඉන්න කල්?
ඔව් ඒක හරියටම හරි. එයාගේ ආදරයෙන් මාව ඔපදාන විදිය හරිම ලස්සනයි, හරිම ආදරණීයයි.
සඳුන් ගමගේ