සමහර වෙලාවට මම අඳින ඇඳුම් පවා ඉල්ලලා එවන අවස්ථා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සතෙන් ....සතෙ.... රුපියලෙන් ....රුපියල.... එකතු කරලා..... එකතු කරලා ඉතිරි කිරීමේ පුරුද්ද  පුංචි අපේ සිත් තුළට  කාවැද්දූ ඇය අද වන විට කලා ලෝකයේ  ආදරණීය මතකයක් රඳවාගෙන ඇති දක්ෂතා රැසකින් පරිපූර්ණ චරිතාංග නිළියකි. එමෙන්ම ඇය අද වන විට ව්‍යාපාරික ලෝකයේ  නමක් රැන්දූ ව්‍යාපාරිකා වකි. වෙනස්ම ආකාරයේ විලාසිතා කරන අැයට අපි මෙවර ෆැෂන්  පිටුව සරසන්න ආරාධනා කළෙමු.

විලාසිතා කියන දේ ඔබ දකින්නේ කොහොම ද ?

මම හිතන්නේ විලාසිතා කියන්නේ හැමදාමත් අලුත් වෙන ,නිතරම වෙනස් වෙන, ශරීරයට පහසු විය යුතු, ලෝකයම ලස්සන කරන  අමුතුම ආකාරයෙ විෂයක් කියලා .

ඔබත් විලාසිතා වලට බොහොම කැමති කෙනෙක් නේද?

ඔව් .පුංචි කාලෙ    ඉඳලා ම විලාසිතාවලට මම ගොඩක් කැමති කෙනෙක්. ඒ වගේම ඇඳුම් ගළපන්න, ඇඳුම් විලාසිතා අඳින්න, පුදුම හැකියාවක් එදා ඉඳලා මට තිබුනෙ .

කාලේ තාලෙට වෙනස් වෙන විලාසිතා ගැන ඔබ අවදියෙන් ද ඉන්නේ ?

අනිවාර්යයෙන්ම ඔව් .තාක්ෂණය මෙතරම් නොදියුණු කාලයක ඉංග්‍රීසි සගරා,ඉංග්‍රීසි පුවත්පත් ගොඩක් බලන්න  මම හරිම ආසයි. මොකද ඒවායෙ යන විවිධාකාර විලාසිතා පිටු නිසා .පසු කාලීනව ඇඟිලි තුඩකින් ලෝකය පුරා සැරි සරන්න අන්තර්ජාල පහසුකම් දියුණු වීමත් සමඟ ලෝකයේ  මම ආසම කරන විලාසිතා ගැන අකුරක් නෑර සොයා බලන්න මට අවස්ථාව ලැබුණා. පුංචි කාලෙදි මට හොඳට මතකයි මම ප්‍රින්ස්  ඩයනා  කරන විලාසිතා වලට ගොඩක් කැමතියි .ඇය විලාසිතා වෙනුවෙන් තෝරා ගන්න පාට වගේම කොණ්ඩ විලාසිතා පවා මම හරිම ආසාවෙන් බැලුවා. ඒ වගේම මම ඇයව අනුකරණය කරපු අවස්ථා ත්  තිබුණා . 

පෞද්ගලිකව ඔබට විලාසිතාවක් තෝරා ගැනීමේදී මොන වගේ  කරුණු කෙරෙහි ද  සැලකිලිමත් වෙන්නේ ?

විලාසිතාවක් තෝරා ගැනීමේ දී මම පළමුවෙන්ම  හිතන්නෙ පාට ගැන. එක එක මාස වල දී මම විලාසිතා වෙනුවෙන් තෝරා ගන්නේ එක එක පාට. ඊට අමතරව තෝරාගන්නා විලාසිතාව මට  කොතරම් පහසුවෙන් කල හැකිද කියන එකත් හිතනවා.

ඒ හැරෙන්න අනිත් දේවල් ගැන ලොකුවට හිතන්නේ නැහැ. මොකද මම කැමතිනම් මට ගැළපෙනවා නම් ඕනෑම විලාසිතාවක්   කරන්න මම දෙවරක් හිතන්නෙ නෑ. ඒ නිසා අනිත් අයගේ කමෙන්ට් ගැන නම් මම  ලොකුවට හිතන්නේ නැහැ .

ඔබට වඩාත්ම ගැළපෙන විලාසිතාව කුමක් ද ?

සාරි,දිග ගවුම් ඇන්දහම හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාරයක් නම් ලැබෙනවා .

විලාසිතා කිරීමේ දී වැඩිපුරම කැමති මොන පාටට ද?

කවදාවත් මම කැමැති  පාට ,අකමැති පාට කියල වෙන් කරල නැහැ .හැම පාටක් ම මට ලස්සනයි කියලයි මම නම් හිතන්නේ .

කරන්න විලාසිතාවට ගැලපීම කරන්නේ කොයි විදියට ද ?

අඳින ඇඳුම මොකක් උනත් "මූඩ්" එක අනුව  කරන ගැළපීම් වෙනස් වෙනවා. අපි අඳින ඇඳුමට හෙයාර්ස් ටයිල් එකෙන්, මෙකප්  එකෙන්, අපි දාන ජුවලරි වලින් වගේම පලදින  සපත්තු , හෑන්ඩ් බෑග්  වලිනුත් වටිනාකමක් එක් කරන්න පුළුවන් ...

මම බොහෝ වෙලාවට පුරුදු වෙලා ඉන්නේ නොගැලපෙන ම දේවල් ගොඩකින්   වෙනස්ම ආකාරයේ ගැලපීමක් කරගන්න .ඒ වෙනසට මම හරි ආසයි .කොහොම නමුත් මම කවදාවත්ම අඳින ඇඳුමේ පාටට සපත්තු, හෑන්ඩ්, බැග් , කරාබු, මාල ,වළලු දාලා නම් කවදාවත් විලාසිතා කරලා නැහැ.

සාමාන්‍යයෙන් ඔබ බ්‍රෑන්ඩඩ් ඇඳුම් ,මිල වැඩිම ඇඳුම් අඳින්න ඕනේ කියලා මතයක ඉන්න කෙනෙක්ද?

අවශ්‍යතාවය, කැමැත්ත අනුව බ්‍රෑන්ඩඩ්  දේවල් මමත් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා . උදාහරණයක් විදියට අත් ඔරලෝසු, සපත්තු වගේ දේවල් .  නමුත් මම සාමාන්‍යයෙන් නම් වරක් දෙවරක් විතරක් අඳින නිසා ඇඳුම්වලට  ලොකු මුදලක් වියදම් කරන්නේ නැහැ. 

විලාසිතාවකින් ප්‍රතිරූපයක් මවන්න පුළුවන් කියලා විශ්වාස කරනවාද?

මම හිතන්නේ අපි ගොඩනඟා ගත් ආදරණීය ප්‍රතිරූපයට විලාසිතාවකින් ලැබෙන්නේ  ආලෝකයක්...ඒ හැරෙන්න  විලාසිතාවකින් ප්‍රතිරූප  ගොඩනඟා ගන්න කොහෙත්ම මට අවශ්‍ය වෙලා තිබුණේ නැහැ .

ඇඳුමකින් කෙනෙක්ව මනින්න පුලුවන්ද?

ජීවිතේ කවදාවත්ම මම ඇඳුමකින් කාවත් මැනලා නැහැ .ඇත්තටම එහෙම මනින්න  අවශ්‍යත්  නැහැ කියලයි මම නම් හිතන්නේ.

ඔබ කරන විලාසිතා අනිත් අය අනුගමනය කරනවද?

අනේ ඔව් ....මට ආදරේ කරන බොහෝ පිරිසක් මම කරන විලාසිතා ආදරෙන් වැළඳ ගන්නා බව දැන ගන්න ලැබෙනවා .

මෑතකදී මගේ පහසුව වෙනුවෙන් මම මගේ  කොණ්ඩ විලාසිතා වෙනස් කළා .පසුව මට ආදරේ කරන බොහෝ පිරිසක් "සුජානිගේ කොන්ඩ  මෝස්තර" විදිහට කොන්ඩ කපන්න කියලා බොහෝ  පිරිසක් මම ගිය සැලොන් එකටම  ඇවිල්ලා තිබුණා. විශේෂයෙන්ම දුරබැහැර ඉදලත්  පැමිණීය බව  දැන ගන්න ලැබුණා .

ඔබ කරන  විලාසිතා අන් අය  අනුගමනය කරන කොට මොන වගේ සතුටක් ද හිතට දැනෙන්නේ?

හරිම සතුටුයි. මම කරන විලාසිතා ගැන ඇහුවහම ඒ හැමෝටම මමත් පුළුවන් විදිහට උත්තර දෙනවා. සමහර වෙලාවට මම  අඳින ඇඳුම් පවා ඉල්ලලා එවන  අවස්ථා තියෙනවා .ඒ අයටත් පුළුවන් විදිහට ඇඳුම් යවනවා. විශේෂයෙන්ම මම මගේ තියෙන වැඩ නතර කරලා හරි විලාසිතා ගැන කෙනෙක් ඇහැව්වොත් උත්තර දෙන්නෙ හරිම සතුටින් .

ජීවිතයේ ලස්සනටම සැරසුණු දවස?

මම මමම වෙලා මට ඕන විදිහට ලස්සනට ම සැරසුණු දවස තමයි මම මනාලියක් වුණ දවස .

ලෝකයේ ඔබ කැමති මොන රටේ විලාසිතා වලටද?

හිතාගන්නවත් බැරි තරම් වෙනස්කම් කරමින්  වෙනස්ම ආකාරයේ ලස්සනම ලස්සන විලාසිතා තියෙන රටක් තමයි ඉතාලිය. ඉතාලියානු  ෆැෂන් වලට මම ගොඩක් ආසයි .ඊට අමතරව ෂොපින් කරන්න නං ආසම රට සිංගප්පූරුව. ලෝකයේ විවිධ රටවල් වල නවීන විලාසිතා සිංගප්පූරු ඇඳුම් වෙළෙඳපොළට පැමිණෙනවා .....

ගැලපෙන විදියට විලාසිතා කරාම හිතට මොන වගේ සතුටක් ද දැනෙන්නේ?

කෙටියෙන්ම කිව්වොත් ලස්සනට ඇඳපු දවසට මට කන්න ඕනේ නෑ ඒ තරමටම මගේ හිත පිරෙනවා .... අපි ඒ අභිමානය රැක ගන්න ,ආත්ම විශ්වාසයකින්, ආත්ම තෘප්තියකින්, සතුටින් අපිව තියෙන විශේෂ දෙයක් තමයි විලාසිතා කියන්නේ.

පුංචි කාලෙදි විලාසිතා කරපු විදිය මතකයේ තියෙන්නෙ කොයි විදිහටද?

පුංචිම කාලේ මට ගැළපෙන විලාසිතා තේරුවේ මගේ තාත්තා .ඊට පස්සේ තේරෙන කාලේ ඉඳලම මම මට ගැළපෙන ඇඳුම් පුංචිට කියලා මහා ගත්තා. අම්මා තමයි රෙදි ,අවශ්‍ය දෙවල් තෝරලා ගෙනත් දුන්නේ. චිත්‍ර අදින්න පුලුවන් කාලෙ ඉඳලම මම ඇඳුම් මෝස්තර ඩිසයින් කරා . මගේ වැඩිවියට  පැමිණෙන උත්සවයට  ගැළපෙන විදිහට ඇඳුම නිර්මාණය කර ගත්තෙත් මමමයි.....එදා ඒ ලබපු ආභාෂය අද වන විට මම මට  ගැලපෙනම විලාසිතා තෝරා ගන්න වගේම,  ව්‍යාපාරයක් විදියට නවීන විලාසිතා වලින් යුතු නිමි ඇඳුම්  නිර්මානය කර ගැනීමටත් අවස්ථාව උදා  වුනෙ  මගේ තිබිච්ච ඒ දක්ෂතාවය නිසාමයි ....

අසුන්තා එදිරිසූරිය