සාම්ප්‍රදායික දුෂ්ටයාට එහා ගිය චරිතයක් කිරීම මිසක, ඒ චරිතයේ කළු-සුදු බලන්න ගියේ නැහැ
‘ද ගේම්’ ෆිල්ම් එකේ ‘නසීර්’ නම් වූ චරිතය රඟපාන්නේ ඔහුය. වෙනදාට නම් චිත්‍රපටයක සටන් අධ්යක්ෂවරයාගේ භූමිකාවට දායකත්වය ලබා දෙන අතරේ රඟපෑමෙන් ද දායක වන ඔහු ‘ගේම්’ චිත්‍රපටයේ, මෙලෙසින් සටන් නළුවා සහ අධ්‍යෂණයෙන් ඈත්වී චරිතයකින් පමණක් අපට හමුවේ. වත්මන් සිනමාවේ, සටන් නළු භූමිකාවට ප්‍රමුඛත්වය දෙන ශිල්පියා වන ඔහු, චිත්‍රපට නිර්මාණ ක්‍රියාවලියට ද විටෙක දායක වන්නේය. ඉතින් ‘වසන්ත කුමාරවිල’ නම් වූ මේ ශිල්පියා ඔබට අමුත්තකු නොවේ. රූපවාහිනී තිරයේ ‘මහරජ පණ්ඩු’ නාට්‍යයේ චරිතයක් ද සමග හමුවන, ‘වසන්ත කුමාරවිල’ ‘ගේම්’ ගැන අපට මොනව ද කියන්නෙ බලමු.
ටෙලි නාට්‍ය ගැන මුලින්ම සඳහන් කරමු, මහවිරු පණ්ඩු නාට්‍යයේ විතර ද රඟපාන්නේ ?
දැනට මහවිරු පණ්ඩු විතරයි. තවත් හොඳ ටෙලි නාට්‍ය කීපයක්ම විකාශයට නියමිතයි. ඒවා විකාශය වෙනකල් තමයි මාත් බලාගෙන ඉන්නෙ.
ගේම් (Game) ෆිල්ම් එකේ නසීර් ගැන කියමු.
‘නසීර්’ ගෙ චරිතය මට සුවිශේෂී වෙන්නෙ ‘රන්ජා’ ෆිල්ම් එකෙන් පසුව රන්ජන් අයියයි. මමයි එකට චරිත රඟපාන්නෙ ‘ගේම්’ චිත්‍රපටයෙ නිසා. සුරංග ද අල්විස් බොහෝ විට මේ චරිතයට මාව ගන්න ඇත්තෙ, රන්ජන් අයියයි, මමයි, වීරයා සහ දුෂ්ඨයා යන චරිතවල දී දෙදෙනාට දෙදෙනා ඒ චරිත වලට ලබා දෙන දායකත්වයේ අවබෝධය නිසා වෙන්නට ඇති. සාම්ප්‍රදායික දුෂ්ටයාට එහා ගිය චරිතයක් කිරීම මිසක, ඒ චරිතයේ කළු-සුදු බලන්න ගියේ නැහැ. ‘හීරෝ’ හයිලයිට් වෙන තරමට තමයි. වැඩේ නැඟලා යන්නෙ. මම හිතන්නෙ මගේ චරිතය ගොඩ නඟා ගන්නත් රන්ජන් අයියගෙන් ලැබුණේ ලොකු සහයෝගයක්. ‘සුරංග ද අල්විස්’ ගේ චිත්‍රපටයක. මම රඟපාන්නෙත් පළමු වතාවටයි. විශේෂයෙන්ම මම මේ චරිතය බාර ගත්තෙ. මෑත කාලයේ දී රටේ සිදු වූ අවාසනාවන්තම සිදුවීමක් අලලා තිර පිටපත ලියා ඇති නිසයි. ඒ කියන්නෙ මෙරට සිදු වූ පාස්කු ප්‍රහාරය අපි කවුරුවත් අනුමත කරන්නෙ නැහැනෙ. ජාති ආගම් භේද වලින් තොරව අපි ඊට විරුද්ධයි. කොහොම වුණත් ඒ වගේ ප්රහාරයක මහ මොළකරුගේ චරිතය තමයි මට ‘නසීර්’ ලෙස රඟපාන්න ලැබුණේ. ඒක බාර ගැනීමම ඇත්තටම අභියෝගයක්.
ඒ වගේ චරිතයක් රඟපෑම ආපසු බලපෑමක් ඇති කරාවිය කියලා හිතුණෙ නැද්ද?
නැහැ ඉතින් මේ චරිතය සැබෑ ජීවිතය නෙවෙයිනෙ. සිනමාවේ චරිතයක් විතරයි. මට ලැබෙන ඕනෑම චරිතයකට උපරිම දෙයක් කරන්න උත්සාහ ගන්නවා. ඒක ලොකු ද – පොඩි ද ? ලැබෙන ගාණ කීය ද කියන එකට වඩා චරිතයට උපරිම සාධාරණයක් කිරීම මගේ විදියයි. මේ නසීර්ගෙ චරිතය වෙතින් මට ඇත්තටම රඟපාන්න දෙයක් තිබුණා. මේ චරිතය කොච්චර ‘කළු’ චරිතයක් වුණත් ‘ද ගේම් චිත්‍රපටය’ නරඹන ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නම් ඉතා හොඳයි. රටේ අයහපත් වාතාවරණයක් තිබියදීත් මේ විදියට ප්‍රේක්ෂකයන් ‘ගේම්’ නැරඹීම ගේම් කණ්ඩායම ලැබූ ජයක්.
‘නසීර්’ වීම නිසා මුහුණ දුන් සිදුවීම් තියෙනවා ද?
මේ චිත්‍රපටයට දායක වුණේ සටන් අධ්‍යක්ෂණය කරමින් නොවෙයිනෙ. ඒ නිසා, සිදුවීම්වලට මුහුණ දුන්නෙ නැහැ. බොහෝ විට සටන් ජවනිකා රූගත කරද්දී තමයි විවිධ සිදුවීම්වලට මුහුණ දෙන්නෙ. විශේෂම දේ මේ චිත්‍රපටයේ රන්ජන් අයියා එක්ක, කරට කර රංගනයක යෙදීමේ අවස්ථාව මට ලැබුණා. මේ චරිතය රඟපාද්දී මම මුහුණදුන් ගැටලුව වුණේ මුස්ලිම් (මැලේ) භාෂාවෙන් ආගම කීමට තිබීමයි. මගේ චරිතයේ හැටියට භාෂා තුනක් පරිහරණය වෙනවා. අන්න ඒ වැඩේට පුරුදු පුහුණු වෙන්න සිද්ධ වුණා. රන්ජන් අයියා අත්අඩංගුවට පත්වුණේ පසුවදා නම්, ඒ දිනට පෙර පාන්දර දක්වා අපි දෙන්නගේ ෂූටිං තිබුණ. ඒකත් මට අමතක වෙන්නෙ නැහැ. අපි කළ කී සියල්ල මට මතක් වුණා. මේ රට ගැන ඔහුට තියෙන කැක්කුම, රුදාව, මොන වගේද කියලා එදා රෑ එයා කළ කී දේ එක්ක වටහා ගත් දෙයක්. රන්ජන් අයියාට තියෙන කරුණාගුණය නිසා තමයි, රටේ මෙච්චර ප්‍රශ්න තිබිලත්, මේ ෆිල්ම් එක නරඹන්න මෙච්චර පිරිසක් එන්නේ. ඒ ගැන පුද්ගලිකව කලාකරුවකු ලෙස මම මිනිස්සුන්ට ස්තුති කරනවා. අපි දෙන්නගෙ නැවත එක්වීම මිනිස්සු බලා හිටි දෙයක් වග පෙනෙනවා. සුරංග ද අල්විස් ඒක නියමෙට කළා.
අද අපේ සිනමාවෙන් ඇයි වීරයො බිහි නොවන්නේ ඇයි? සටන් නළුවා බිහි නොවන්නෙ? අද සිනමාවට බල්ටි එකයි, විසිල් එකයි, නැටුමයි, සිංදුවයි, ලව් එකයි එදා වගේ නැති හින්දද?
මෙහෙමයි වාණිජ සිනමාවක් අපට ඕනෑ. සම්භාව්‍ය සිනමාවකුත් ඕනෑ. හැබැයි, එදා වගේ අද බොහෝ දෙනා චිත්‍රපට කරන්නෙ ප්‍රේක්ෂකයා තේරුම් අරගෙන නෙවෙයි. එදා විදියටය බල්ටි විසිල් සිංදු ගස් වටේ දිවීම අවශ්‍ය නැහැ. ඒත් අදට ගැලපෙන විදියට ආකර්ශනීය සිනමාවක් අවශ්‍යයයි. විඳින්නට එන මිනිස්සුන්ට ඒ වින්දනය ඇති විදියට නිර්මාණ තියෙන්න ඕනෑ. අද තාක්ෂණය වෙනස්. මම සටන් නළුවකු, අධ්යක්ෂවරයකු ලෙස ඒ තාක්ෂණය ගැන අවබෝධයක්, අධ්‍යයනයක් ලබා ගන්නවා. එහෙම නැතුව අපට ගමනක් යන්න බැහැ. ප්‍රේක්ෂකයා ඉල්ලන්නෙ විඳින්න පුළුවන් චිත්‍රපටයක් නම් බොරු නොකර ඒ වැඩේ දෙන්න ඕනෑ. චිත්‍රපට කියන්නෙ මායාවක් තමයි, ඒත් ඒ මායාව ඇතුළෙ මිනිස්සු රැවටෙන්න කැමැති නැහැ. විඳින්නයි කැමැති. අන්න ඒක හඳුනා ගෙන නිර්මාණ කරන්නට ඕනෑ. උදාහරණයකට මම ජැක්සත් ඇන්තනී මහතා අධ්‍යක්ෂණය කළ තිරගත වීමට නියමිත දේවි සම්බුලා චිත්‍රපටය ගැන කියන්නම්. ඒක ලෝෙක කොතැනක හරි පෙන්වන්න පුළුවන්.
හේතුව?
ජැක්සන් අයියා දේවිසම්බුලා සෑම රූප රාමුවකටම උපරිමයෙන් සිනමා තාක්ෂණය භාවිත කළා. උදාහරණයකට මෙහි සටන් ජවනිකා දින 16 ක් විතර රූගත කළා. කේබල් (රැහැන්) යොදා ගෙන කළ යුතු දර්ශනවලට බොරු කළේ නැහැ. ඒවා තමයි නියම බයිස්කෝප් කියන්නෙ. චිත්‍රපට විෂය නමැති මායාවට අරුත්බර වින්දනයක් ලබා දුන්න අපූරු චිත්‍රපටයක්. තිරගත වන දාට ලංකාවේ වාර්තාවක් තබාවි.
ජැක්සන් අයියා පොඩි දර්ශනයකට පවා අවශ්‍ය ලොකේෂන් එක තෝරාගෙන ගියා. දේවි සම්බුලා වගේ නිර්මාණයක ඒ වගේ පරිනත අධ්යක්ෂවරයකු යටතේ වැඩ කිරීමට ලැබීමත් වාසනාවක්. මොකද මේ වෙලාවෙ ජැක්සන් අයියා ගැන කතා කළේ ඒ වගේ විශිෂ්ටයෙක් ඉක්මනට සුව වෙන්න ඕනැයි කියන ආශීර්වාදයක් රටට කියන්න අවශ්‍යම නිසයි. මෑත කාලයේ දී සුරංග ද අල්විස්ගෙ අපූරු සිනමාවයි. ජැක්සන් අයියගෙ විශ්මිත බවයි එක්ක ගත කරන්න ලැබීමම මට ලැබූ ලොකු අත්දැකීමක්.
වසන්ත කුමාරවිල සිනමා රංගනයේ දී අනුගමනය කරන්නෙ මොන වගේ විදියක් ද?
මෙහෙමයි, සිනමාවට හෝ ටෙලි හෝ මොනම වැඩක දී මම බාර ගන්නෙ මගේ මුදල – වැටුප් ගැන අහලා නෙවෙයි. බාර ගන්නා වැඩේට උපරිම සාධාරණයක් කිරීම සහ ගන්නා මුදලට වඩා දස ගුණයකින් උපරීමය කිරීමට තමයි මම උත්සාහ ගන්නෙ. ඒත් අපේ රට නිතරම ආපස්සට යන්නෙ ගන්න මුදලට සේවයක් නොකරන නිසයි. එක්කෝ නිකම්ම පඩි ගැනීමයි. වැඩියෙන් වැඩ කරලා ලැබෙන මුදලින් සතුටු වන පිරිසක් බිහිවූදාට මේ රට දියුණු වේවි.
කොහොමද වසන්තගේ ගෙදර ජීවිතය ?
මේ දිනවල නම් ගෙදරම වගේ තමයි. මගේ ලොකු දුව එංගලන්තයේ සිටින්නෙ. එයා එහේ අධ්‍යාපනය ලබනවා. පොඩි දුව සා/පෙළ කරලා ප්‍රතිඵල බලා පොරොත්තුව ඉන්නෙ. එයාටත් හොඳට ඉගැන්වීම තමයි, මගෙයි බිරිඳගෙයි අරමුණ. හැමෝටම තියෙන ප්‍රශ්න අපටත් තියෙනවා. රට හදන්න ලෝකය හදන්නට පෙර මම නම් කියන්නේ අපි ගෙදර හදාගෙන ඉන්නට ඕනෑ. ලස්සනට පවුල හදාගෙන ඉන්නකොට සමාජය ඔබව පිළිගනීවි. ඊට පස්සෙ රට ලෝකය හදන්න පුළුවනි. ගෙදර අවුල් කරගෙන රට ලෝකය හදන්න යාම නිසා එතැනත් වෙන්නෙ එතකොට අවුල්. ඒ නිසා ගෙදරින් සමාජයට ලස්සන පණිවුඩයක් ගෙන යන්න උත්සාහ කිරීම අපේ වගකීමක්.
සඳුන් ගමගේ