Saaravita.lk|| සමනල්ලු වේදිකා නාට්‍යය හරහා තමයි කලාවට එකතු වුණේ

සමනල්ලු වේදිකා නාට්‍යය හරහා තමයි කලාවට එකතු වුණේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා නිර්මාණ කිහිපයක් ඔස්සේ ඔබ දැක ඇති උපුල් ප්‍රසාද් සඳරුවන් බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගත් නවක යොවුන් රංගන ශිල්පියෙකි. රංගනයට අමතරව මේ වනවිට හඬකැවිම් ශිල්පියෙක් ලෙසද කටයුතු කරන ප්‍රසාද්  වසර විස්සකට ආසන්න සිය කලා දිවිය ගැන අපට පැවසුවේ මේ ආකාරයෙනි.

කලා ක්ෂේත්‍රයට ඔබගේ පිවිසිම සිදුවන්නේ?

2003 වසරේදී මම ප්‍රවීණ රංගන ශිල්පි ජයසේකර අපොන්සු මහතාගේ ශිල්ප කලා ගුරු සෙවණ නම් රංග අභ්‍යාස පීඨයට සම්බන්ධ වෙනවා. මම එතකොට දහවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙක්. ගුරු සෙවණේ රංගනය ගැන හදාරමින් ඉන්න කාලයේදී මට අවස්ථාව ලැබෙනවා ජයසේකර අපොන්සු මහතා අධ්‍යක්ෂණය කළ සමනල්ලු කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න. ඒ හරහා තමා කලා ක්ෂේත්‍රයට මගේ පිවිසිම සිදුවන්නේ.

වසර විස්සකට ආසන්න කාලයක් තුළ ඔබ දායක වුණ නිර්මාණ මොනවද?

ටෙලි නාට්‍යය ගත්තොත් මේ කාලය තුළ විස්සකට වැඩිය රංගනයෙන් දායක වෙලා තියෙනවා. සිල්, පස්මල් පෙති, කිඳුරංගනා, පබළු, ශ්‍රී ලංකන් මිස්ටර් බීන්, හේලී, වැකේෂන්, දිවිතුරා කියන නාට්‍යයවලට මම දායක වුණා. දිවිතුරා ටෙලි නාට්‍යයේ නිලාන් කියන පුවත්පත් මාධ්‍යවේදියාගේ චරිතය බොහෝ ප්‍රේක්ෂකයෝ කතා කරපු චරිතයක් බවටත් පත් වුණා. ටෙලි නාට්‍යයවලට අමතරව කිං හන්තර්, සුහද කොකා, මාතා ඇතුළු චිත්‍රපට හයකට පමණ මම දායක වෙලා තියෙනවා. ඒ එක්කම ජාතික ලොතරැයි මණ්ඩලය නිරෝගා ලොතරැයිය වෙනුවෙන් කරපු වෙළෙඳ දැන්විමටත් මම සම්බන්ධ වුණා.

රඟපාන්න හීනයක් ප්‍රසාද්ට තිබුණේ කොයි කාලේද?

පෙර පාසල් අවදියේ ඉඳලාම තිබුණා. ඒ කාලේ පෙර පාසලේ තිබුණ හැම විවිධ ප්‍රසංගයකටම මම නර්තනයෙන් රංගනයෙන් දායක වුණා. පාසල් අවදියෙත් එහෙමයි. පාසලේ හැම කලා වැඩකටම ගායනයෙන්, රංගනයෙන්, නර්තනයෙන් මම ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම පාසල් තූර්ය වාදක කණ්ඩායමේ වගේම පාසල් නාට්‍යය කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් විදිහටත් මම කටයුතු කලා. මම හිතන්නේ පාසලෙන් ලැබුණ ඒ පන්නරය නිසා තමා අද මම රංගන ශිල්පියෙක් විදිහට මේ තරම් දුර ගමනක් ඇවිල්ලා තියෙන්නේ.

රංගනයට අමතරව දැන් ඔබ හඬකැවිම් ශිල්පියෙක් විදිහටත් වැඩ කරනවා?

ටෙලි නාට්‍යය රූපගත කිරිමකදි මට අශාන් චන්ද්‍රෙස්න කියන මල්ලිව මුණ ගැහෙනවා. ඔහු මට හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ දෝණි කියන ඉන්දීය නාට්‍ය යේ හඬකැවිම්වලට සම්බන්ධ කරගන්නවා. ඒ තමයි හඬකැවිම් ශිල්පියෙක් විදිහට මගේ මුල් ආරම්භය. දැනට මම ටෙලි නාට්‍යය, චිත්‍රපට, වෙළෙඳ දැන්විම් වගේම ගුවන් විදුලි නාට්‍යය ගණනාවකටත් හඬකැවිම් ශිල්පියෙක් විදිහට දායක වෙලා තියෙනවා.  අංජුල  මන්ම්පේරී  අයියා ශ්‍රී එෆ් එම් ගුවන්  විදුලි නාලිකාවේ දිගහැරෙන කනාමැදිරි රාත්‍රිය නාට්‍යයේ  හඩකැවීම් වලට සම්බන්ධ කරගන්නවා. රඟපානවට අමතරව දැන් මම  හඩකැවීම් ශිල්පීයෙක්  විදිහටත් වැඩ කරනවා. 

කලා ශිල්පියෙක් විදිහට ආපු ගමන ගැන ඔබ සතුටුද?

ඔව් සතුටු වෙනවා. මොකද, මේ ක්ෂේත්‍රය තුළ මම දැන් වසර විස්සකට වඩා වැඩි කාලයක් කටයුතු කරලා තියෙනවා. විවිධ නිර්මාණවල රඟපාලා තියෙනවා. ඒ වගේම හඬකැවිම් ශිල්පියෙක් විදිහට බොහෝ දෙනෙකුගේ ඇගයිමට ලක් වෙලා තියෙනවා. පෙර පාසල් අවදියේ ඉඳලා දැකපු හීනේ අද සැබැවෙලා තියෙනවා. හැබැයි මම රංගනයෙන් දායක වුණ කලා නිර්මාණ ගැන නම් තෘප්තිමත් මදි කියලා හිතෙනවා. මොකද ලැබුණ චරිත දිහා බැලුවාම ලොකු දෙයක් මට කරන්න තිබුණේ නැහැ. ගොඩක් ආසයි ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයින් අතරට යන්න. මම හිතනවා කවදා හරි ඒ ආසාව මගේ ඉටු වේවි කියලා.

මේ ගමන එන්න උදව් කරපු අය කවුද ප්‍රසාද්ට?

මගේ පවුලේ අයව මුලින්ම මතක් කරන්න ඕනා. මොකද, ඒ අයගේ උදව් නැත්නම් අද මම මේ වගේ ගමනක් එන්නේ නැහැ. ඊට අමතරව මා අධ්‍යාපනය ලැබු උක්සිරිපුර විදුහලේ ගුරු මණ්ඩලයේ සැම දෙනවාම. ඒ අතරින් හිටපු විදුහල්පතිනි ඥාණා පෙරේරා මහත්මිය, වියෝවූ ගුණතුංග ගුරු පියාණන්, චන්දිමා හා මල්ලිකා ගුරු මැණිවරුන් මතක් කරන්න අවශ්‍යයි. දැන් මම මුළු දිවයිනටම බලපාන විදිහට සාම විනිසුරු පදවියක් ලබලා තියෙනවා. ඒ අවස්ථාව මට ලබාදුන්න මොරටුව ලලිතා කලා පදනමේ සභාපති තිලක් ඩී සිල්වා මහතා වගේම උප සභාපති අජිත්  බණ්ඩාර මහතා. ඔවුන්වත් මතක් කරන්න ඕනා. විමලා ඇන්ටිත්, කාන්ති  ඇන්ටිත්, මාව හඬකැවිම් ශිල්පියෙක් කළ අශේන් චන්ද්‍රසේන මල්ලිවත්,  කලාවට එන්න ගුරුහරුකම් දිපු ජයසේකර අපොන්සු මහතාවත්, ස්වාධින රූපවාහිනියේ නිවේදක මධුෂංක මහමිතිව අයියාවත් හා  ශ්‍රී  එෆ් එම්  වැඩසටහන්  අධ්‍යක්ෂක  අංජුල මනම්පේරි අයියවත්, මාව නිර්මාණය වලට සම්බන්ධ කරගත්ත අධ්‍යක්ෂවරුන්, සහය අධ්‍යක්ෂකවරුන්ට මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න.