සමාජය කියන විදිහට විවාහ වෙන්න කැමති නැති මගේ යාලුවෝ මම දැකලා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පළබර වූ යනු  ෆැලන් යන නාමයෙහි තේරුම වන්නේය. ඇය මේ වන විට ඒ නාමයට අරුතක් ලබා දී ඇතැයි කිව හැකිය. ඇයගේ තුරුණු ජීවිතය පළබර වී ඇත්තේ මිහිරි ස්‍වරයෙන් ගී ගයන නිසාය. මෙරට රියැලිටි වේදිකාවෙන් මතුවූ ඉතාමත් දක්ෂ ශිල්පිනියක ලෙස ඇයව නම්කළ හැකියි. හඩ මෙන්ම නිහතමානී ගති පැවතුම් ඇති නිසා රසිකයින් මෙන්ම කලා ක්ෂේත්‍රයේ තරු වෙතින් ද  ආදරය ලබන ශිල්පිනියකි. අද දවසේ ඉතාම කාර්ය බහුල සංගීත ශිල්පිනියක වී සිටින ෆැලන් ළග එන නත්තල සමරන විදිය සහ ඇයගේ ජීවිතයේ අලුත් විස්තර ගැන සදැල්ල සමග කළ ආදරණිය පිළිසදරකි මේ.

සම්පූර්ණ නම?

ෆැලන්‍් ඇන්ඩ්‍රියා ජැන්සන් 

ඒ නමට අරුතක් දුන්නාය කියලා හිතනවද? 

තවම මේ සංගීත ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු තුනක් වගේ කෙටි කාලයක් විතරයි. යම් තාක් දුරකට පළබර කර ගත්තාය කියලා හිතනවා. තව බොහෝ දේ කරන්න තියෙන්නෙ ඉස්සරහට. ඉදිරියේදී මගේ නමට සාධාරණයක් කරන්න පුළුවන් වේවි.

ෆැලන් ඉගෙනීම් එහෙම කළේ මොන වගේ ඉලක්කයක් මුල් කර ගෙනද?

පාසැල් අධ්‍යාපනයේදී සංගීතය ගැනත් ඉගෙන ගත්තා. මොන විදිහකට හෝ අද මම කරන දේ ගැන අදහසක් මගේ මනසේ එදා ඉඳලම තිබුණා. පිරිසක් ඉදිරියේ, ප්‍රාසාංගික විදිහට යමක් කළ යුතුය කියන අදහස තිබුණෙ. අපේ පවුලෙ කවුරුවත් ගායනය නොකළ නිසා ඒක හීනයක් වේවිද කියලා හිතපු අවස්ථා පවා තිබුණා. පාසැල් කාලයේදීම වගේ නන්දා මාලිනි මහත්මිය යටතේ බොහොම කෙටි කාලයක් ඉගෙන ගත්තා. ප්‍රථම විශාරද විභාගය කළෙත් ඒ කාලයේදී.  

කොහොමද නන්දා මාලනී මහත්මිය යටතේ ඉගෙනගත් කාලයේ මතකයන්?

හරිම සුන්දර මතකයක් තියෙන්නෙ.මාව එතුමිය ළගට යොමු කළේ මගේ සංගීත ගුරුවරිය වන රවින්ද්‍රිනී රත්නායක මහත්මියයි. නන්දා මාලනී මහත්මිය මගේ හඩ ස්වරය සහ හඩ පරාසය හදුනාගෙන මට සංගීත විෂය ගැන කියා දුන්නා.  ඒ වුනත් උසස් පෙළින් පසුව තෝරා ගත්තේ වෙනත් අංශයක්. 

පාසැල් අධ්‍යාපනය ලැබුවේ?

බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. උසස් අධ්‍යාපනය ලැබුවෙ NIBM ආයතනයෙන්. උසස් අධ්‍යාපනයට කළේ මානව සම්පත් කළමණාකරණය.

ගම කළුතර නේද? එතකොට පාසැල් අධ්‍යාපනයට වගේම අනෙකුත් වැඩ වෙනුවෙන් කළුතර ඉදලද ආවේ?

ඔව් එදා ඉඳලම කළුතර ඉඳලම තමයි ආවෙ. අදටත් එහෙමයි. 

කළුතරට ඇයි එච්චර ආස?

මොන දේ කරලා ගෙදර ගියත් ඒ දැනෙන සැහැල්ලුව වෙන තැනකදී දැනෙන්නෙ නැහැ. කොච්චර දුරක ගියත් පොඩි කාලයේ ඉඳලම ඒ තිබුණ පුරුද්ද අදටත් එහෙමයි. නමුත් අද තියෙන මේ කාර්ය බහුලකම එක්ක කාලය මහ මගට ගෙවෙන නිසා කෙළඹ ආසන්නයට එන්න ඕනෑය කියන අදහසකුත් තියෙනවා.

පවුලේ විස්තර කොහොමද?

අම්මයි, තාත්තයි, මමයි මගේ නංගිලා දෙන්නයි. එක්කෙනෙක් නීති අංශයෙන් ඉදිරියට යනවා. අනිත් නංගි ලොජිස්ටික් මැනේජ්මන්ට් අංශයෙන් පුද්ගලික සමාගමක සේවය කරනවා. අම්මා සේවය කළේ රජයේ ගුරුවරියක ලෙස. තාත්තා දැන් රැකියාව කරන්නෙ පුද්ගලික අංශයේ ආයතනයක.

මොනවිදියෙ පරිසරයක් ද ගෙදර තියෙන්නෙ?

සාමාන්‍යයෙන් ගැහැණු ළමයකුට ගෙදරින් බොහෝ දේ කරන්න අවසර ලැබෙන්නෙ නැහැ. නමුත් ඒ අතින් අපට ඉන්නෙ අපි කරන දේ වටහාගෙන අපට උදවු කරන අම්මෙකුයි තාත්තා කෙනෙකුයි. විශේෂයෙන්ම මම තෝරා ගත්ත දේට කැමැත්ත නොදෙන මව්පියන් සිටින සමාජයක අපේ අම්මයි තාත්තයි  මගේ ගමනට ලබා දෙන සහයෝගය ඉහළයි. මාව විශ්වාස කරමින් මගේ හැම වැඩකටම ඇවිත් අම්මා මට ලබා දෙන ශක්තිය ඉහළයි. අපේ පවුල හරිම ආදරණීය පවුලක්.

නංගිලා දෙන්නටත් සිංදු කියන්න පුළුවන් ද?

ඇත්තම කිව්වොත් අපේ පවුලේ ඔක්කෝටම වගේ පිච් එකට  සිංදු කියන්න පුළුවනි. නංගිලා දෙන්නා පාසලේ ගායන කණ්ඩායමේ හිටියා. මම තමයි ඒ පවුලෙන් ගායිකාවක ලෙස කරළියට ආවෙ.

ගෙදරින් ලැබෙන ආදරයට-රැකවරණයට අමතරව ෆැලන්ට පෙම්වතකුගෙන් ආදරයකුත් ලැබෙනවා ඇති?

ලැබෙනවා වගේ කිව්වොත් හරි.

පෙම්වතියක කියන තැනදී ෆැලන් මොන විදියෙ චරිතයක් ද?

ආදරයේදී අනෙක් කෙනාව තේරුම් ගැනීම තමයි ලොකුම දේ. දෙන්නා අතරම ඒ තේරුම් ගැනීම තිබුණොත් ඒක සුන්දර ආදරයක් වේවි.

විවාහයට නිසි වයසක් තිබෙන්න ඕනෑය කියලා හිතනවද?

මම එහෙම හිතන්නෙ නැහැ. සමාජය කියන විදිහට විවාහ වෙන්න කැමති නැති මගේ යාලුවෝ මම දැකලා තියෙනවා. මම වුණත් පුද්ගලිකව හිතන්නෙ විවාහයට යා යුත්තේ තමුන් ඊට සූදානම් කියලා හිතෙනවා නම් විතරයි. එහෙම නැතුව මගේ වයස දැන් හරි කියලා තමුන්ම මතයක් හදාගෙන විවාහ වීම සාර්ථක දෙයක් නෙවෙයි.

ෆැලන්ගෙ අහංකාර කොල්ලො සිංදුවට අමතරව අලුතින් කළ ගීත මොනවද?

ෆ්‍රීස් බෑන්ඩ් එක එක්ක  මල් අක්කර නමින් ගීතයක් කළා. මගේ අහංකාර කොල්ලො වගේම ඒ ගීතයත් එකම ශානරයක, එකම රිද්මයක ගීත. දෙකටම හොද ප්‍රතිචාර තියෙන්නෙ.

එතකොට අහංකාර කෙල්ලොද? නැත්නම් කොල්ලොද?

දෙගොල්ල අතරම ඉන්නවා

ෆැලන් අහංකාර කෙල්ලෙක් ද?

අහංකාර වෙන්න ඕනැ අයට අහංකාරයි.. රෙස්පෙක්ට් එක දෙන්න දන්නෙ නැති අයට අහංකාරයි. සාමාන්‍යයෙන් ගත්තොත් මම අහංකාර නැහැ.

ෆැලන් කියන්නෙ ඕනෑ දේකට ඔට්ටු කෙල්ලෙක් ද? උයන්න පිහන්න රෙදි හෝදන්න  ඒ ඔක්කෝටම ඔට්ටුද ?

අනිවාර්යයෙන්ම ඒ ඔක්කොම පුළුවනි. ගෙදර උයන්නෙ මම. දෙවැනි නංගිට කේක් ජාති වගේ බේක් කරන කෑම හදන්න පුළුවනි. මගේ චිකන් කරිය පරිප්පු කරිය කන්න ගෙදර ඔක්කෝමලා හරිම ආසයි. චූටි නංගිට ගෙදර අස්පස් කරන වැඩ හොඳට කරන්න පුළුවනි.

බොහෝ දෙනෙක් කියන්නෙ රියැලිටි වේදිකාවෙන් ආ චරිත අතරින් ෆැලන් බොහොම නිහතමානී චරිතයක් කියලයි. ​ෆැලන් කොහොමද ෆැලන්ව දකින්නෙ?

මම මමම තමයි. කෙනාගෙන් කෙනාට වෙනස් විදියට සිටින කෙනෙක් නෙවෙයි. මම නිහතමානීයි කියලා කවුරුහරි කියනවා නම් ඒක ලොකු සතුටක් මට. බාහිරවත්- ඇතුලාන්තයෙනුත් එකම විදියයි.

ෆැලන්ට ජීවිතේ දැනෙන්නෙ කොහොමද?

උස්- පහත් තැන් තියෙන හැල හැප්පීම් - සතුට- දුක සියල්ල තියෙන ලොකු ගමනාන්තයක්. ඒ ජීවිතය ඒකාකාරී නොවී ගත කරන්නට පුළුවන් වුනොත් ජීවිතය දැනේවි. සතුටු තැන් වලදී එය අපමණ ලෙස ජීවිතයට නොගෙන සම සිතින් සමබරව බාර ගැනීම ඉතා හොඳ බව මගේ හැගීමයි.

සඳුන් ගමගේ