සෑම දවසක්ම අලුත් දවසක්. අලුත් මිනිස්සු හමුවන්නෙ
මේ දිනවල විකාශය කෙරෙන නාට්‍ය අතරින් වඩාත් ජනප්‍රිය වී තිබෙන පාරදිගේ නාට්‍යයේ රඟපාන පොලිස් මහත්තයා තමයි මේ. එහි එස්.අයි. මහත්තයා කියලා තමයි මෙයා ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ. කඩවසම් පෙනුමැති ඔහුගෙ සැබෑ නම දුමේෂ් අචිර බණ්ඩාරයි. බොහෝ දෙනා ඔහු අමතන්නේ දුමේෂ් බණ්ඩාර නමින්. ‘අචිර’ භාවිතා වෙන්නෙ නැති තරම්. කවුද මේ දුමේෂ් බණ්ඩාර නොහොත් පාරදිගේ එස්.අයි. මහත්තයා?
අපි කොහොමද ඔබට කථා කරන්න ඕනෑ?
දුමේෂ් බණ්ඩාර කියන්න.
හැඳින්වීමක් කරන්නකෝ ඔබ ගැන?
මම ගුවන් සේවයේ රැකියාවක් කරන්නෙ. ඒ අතරවාරයේදී මේ දිනවල විකාශය කෙරෙන පාරදිගේ නාට්‍යයේ චරිතයක් රඟපානවා.
පාරදිගේ පළමු රඟපෑමද ඔබගේ?
ඊට පෙර අග්නිපියාපත් සහ පාර වසා ඇත, නාට්‍යයට දායක වුණා. ඒ විදියට ලැබෙන වෙලාව කළමනාකරණය කරගෙන රංගනයට දායක වෙනවා. මිනිස්සු මාව දැනට හඳුනන්නෙ පාරදිගේ පොලිස්කාරයා කියලයි. ඒකෙ නමත් දුමේෂ්.
පාරදිගේ පෙලිස්කාරයා හෙවත් එස්.අයි. මහත්තයා වෙච්ච, දුමේෂ්ගෙ ගම?
පන්නිපිටිය.
ගුවන් සේවයේ නිරත වන දුමේෂ් රඟපාන්න ආවේ කොහොමද?
සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාගේ ආරාධනයෙන් තමයි මුලින්ම මට රඟපෑමට අවස්ථාව ලැබුණෙ. මගේ රැකියාවට බාධා නොවන පරිදි නිවාඩු දිනවදි පමණක් දායකවීමට අවස්ථාව ලබා දුන්නා.
දුමේෂ් ඉගෙන ගත්තේ?
ජාත්‍යන්තර පාසලක
අරමුණක් තිබුණද?
ගණකාධිකාරිවරයෙක් වීමේ අරමුණ තිබුණා. ඒ අංශයෙන් තමයි ඉගෙන ගත්තෙත්. ඒ වගේම රංගනය ගැන ආසාවකුත් තිබුණා. ගුවන් සේවයට යාමේ අරමුණ ඇතිවුණේ පොඩි කාලයේ ඉඳලමයි.
පවුලේ කවුරු කවුරුද ඉන්නෙ
අම්මයි - තාත්තයි - අයියයි - මමයි.
ගුවන් සේවයේ රැකියාව දැනෙන්නෙ කොහොමද?
සෑම දවසක්ම අලුත් දවසක්. අලුත් මිනිස්සු හමුවන්නෙ. ගුවන් සේවයේ රැකියාව කියන්නේ එහි සේවය කරන සියලු දෙනා තමුන්ගේ රට වෙනුවෙන් පෙනී සිටින්නෙ. රටේ ගෞරවය රැකගෙන කරන ඒ සේවය හරිම තෘප්තිමත්. රැකියාවකට වඩා, කරන දේ එක්ක සතුටු වෙන්න පුළුවන් සේවයක්.
ගුවනේදි දුටු විශේෂිත අවස්ථා තියෙනවාද?
ගුවන්යානය ලෑන්ඩ් කරද්දී බොහෝ අවස්ථාවලදී ලස්සන භූමි දර්ශන දැක ගන්න පුළුවනි. ඒ වගේම හිරු නැග ඒම, බැස යාම වගේ දර්ශන හරිම ලස්සයි මට නම්.
පාරදිගේ පොලිස් මහත්තයා වෙච්ච දුමේෂ් ට ඇත්තටම ඒ වෘත්තියට යාමේ අරමුණක් තිබිලා නැද්ද?
පොලිස් වෘත්තිය කියන්නෙ බොහොම ගරු - අභිමානවත් වෘත්තියක්. ඒත් සමාජයේ සමහර අය ඒ වෘත්තියට ගරු කරන්නෙ නැහැ. නමුත් මම දකින විදියට ඉතා හොඳ වෘත්තියක්. පාරදිගේ මගේ චරිතය ගත්තොත්, ඒ පොලිස් චරිතයේ හැටියට එයාට ඔක්කෝම දේවල් කරන්න පුළුවනි. සිංදු කියන්න, නටන්න, සමාජයට උදව් කරන්න, ඒ වගේ බොහෝ දේ පුළුවනි. ඒ වගේ නිලධාරීන් පොලිසියේ ඉන්නවා.
කොහොමද එස්.අයි. මහත්තයාට ලැබෙන ප්‍රතිචාර?
හරිම හොඳයි, හරිම සතුටුයි, මාර විදිහේ හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ. මේ වගේ පොලිස්කාරයෝ ලංකාවේ ඉන්නවා නම් කොච්චර හොඳද කියලා සමහරු සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කරලා තියෙන හැටි පවා මම දැක්කා. ෂූටිං ඉවර වෙලා ඇඳුම් මාරු කර ගන්න යද්දී සමහර අය හිතන්නෙ මම ඇත්තටම පොලිස් නිලධාරියෙක් කියලයි. හොඳ ගරුත්වයක් ඒ නිල ඇඳුමට දක්වන්නෙ.
ඔබගේ රඟපෑම්වලට ඔබ එක්ක සේවය කරන සහෝදර ගුවන් සේවිකාවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ප්‍රතිචාර හොඳයි. එයාලා නාට්‍ය නරඹන බව පෙනෙනවා.
එතකොට පෙම්වතියගෙන් ලැබෙන ප්‍රතිචාර.
කළින් මට ප්‍රේමයක් තිබුණා. ඒත් දැන් නම් නැහැ. ප්‍රේම විරාමයක ඉන්නෙ.
දුමේෂ් ෆිල්ම්ස්වල රඟපාන්න කැමැති නැද්ද?
ෆිල්ම්වලට ආරාධනා ලැබුණා. ඒත් තවම ඒකට උත්තරයක් දෙන්න බැරි වුණේ මගේ කාලය පිළිබඳ ගැටලුවක් තියෙන නිසයි. ප්‍රධාන දේ ගුවන් සේවයේ වෘත්තියනෙ. ඉතින් නිවාඩු ලැබෙන විදියට තමයි කාලසටහන හදාගන්න ඕනෑ.
දුමේෂ් ආදරය කියන්නෙ මොකක්ද?
මම කැමැති කෙනා මට කැමති නොවෙන්න පුළුවන්. ඒ වගේම මම අකමැති කෙනා මට කැමති වෙන්න පුළුවන්. කොයි හැටි වෙතත් තමන් ආදරය කරන කෙනාට තමයි තමුන් ආදරය කරන්න ඕනෑ. ආදරේ සැබෑ ආදරයක් වෙන්නෙ එතකොටයි.
ආදරයේදී ඔබ අවංකයෙක්ද?
සියයට සීයක්ම
දුමේෂ්ට දුමේෂ්ව දැනෙන විදිහ?
මිත්‍රශීලී කෙනෙක්. ඉගෙන ගන්න කැමැතියි. දන්නෙ නැති දෙයක් තව කෙනෙක්ගෙන් දැන ගන්න කැමැතියි. අවශ්‍ය කරන අයට උදව් කරන්න කැමැතියි.
රංගනය හැර කලා අංශයේ වෙන දක්ෂතා මොනවද?
ගිටාර් එක වයන්න පුළුවනි. සංචාරයට කැමැතියි. ඒ වගේම මේ දිනවල මම තවදුරටත් උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙනවා. කළමනාකරණ අංශයෙන් හදාරන්නෙ.
ලෝකය වටේ සංචාරය කරන ‘දුමේෂ්’ දුටු ලස්සනම භූමි දර්ශනය ඇති රට?
කතා දෙකක් නැහැ. ලංකාව තමයි.
ලංකාව හැර කැමැතිම රට?
ජපානයට හරිම ආසයි. ඒ මිනිස්සු හරිම මිත්‍රශීලී මිනිසුන්ට ගරු කරන මිනිස්සු. ඒ වගේම ඒ පරිසරයටත් මම ආසයි. ඒත් බොහොම සමාජශීලී මිනිස්සු ඉන්නේ යුරෝපයේ.
දුමේෂ්ගේ ජීවිතයේ ඉදිරිය සැළසුම් කරලා තියෙන්නෙ මොන විදියටද?
රැකියාවට අමතරව රංගන කටයුතු සහ උසස් අධ්‍යාපනය ගැන තවදුරටත් අවධානය. ඒ අතරේ රංගන කටයුතු කරගෙන යනවා.
ජීවිතයේදී නමුත් තව කෙනෙක් එක්ක සසඳලා ජීවත් වෙන්න ගියොත් ජීවිතය විඳින්න ලැබෙන්නෙ නැහැ. නමුත් නිතරම තමුන්ට ඇති හැකි දේට අනුගත වෙලා ජීවත්වීම වැදගත්. තමුන්ට වඩා සියලු දේ වෙතින් පොහොසක්, කෙනෙක් හා සසඳළා ජීවිතය ගත කරන්න ගියොත් ඇතිවන්නෙ දුකක්. අපට ඇතිදේ එක්ක සන්තෝෂවීම වැදගත්. එවිට ජීවිතයට – දැනෙන දුක අවම වෙනවා.
නිදහස්, විවේකයේදී දුමේෂ් වඩා කැමැති?
යාළුවො එක්ක ඇවිදින්න යනවා, මහ මග සිටින දුප්පත් දරුවන්ට කෑම බීම අරන් දීලා මම ලබන්නේ ලොකු සතුටක්.
අපි ආයෙත් ආදරය ගැන කතා කළොත්, දුමේෂ් කැමැති මොන වගේ ගතිගුණ තියෙන ගැහැණු ළමයකුටද?
විශේෂයක් නැහැ. අදහස් තේරුම් ගැනීම වැදගත්. ඒ වගේම එයාගෙ වෘත්තියට බාධා කරන්නෙ නැත්නම් හොඳයි. දෙපාර්ශවයෙන්ම එය සිදුවෙන්න ඕනැ.
ලෝකයේ විවිධ කාන්තා චරිත සිටිනවානෙ. ඔබව මවිතයට පත්කළ තරුණ කාන්තාව කවුද?
බටහිර ගායිකා සෙලිනා ගෝමස්. එයා ඒ දිනවල පෙම් කළේ ජස්ටින් බිබර්ට. ඉතින් බිබර්ට අවශ්‍ය විදියට තමුන්ගේ සිරුරේ හැඩය පවා සෙලීනා වෙනස් කර ගන්නවා. ඒ වගේ කැපකිරීම් කරන අය අඩුයිනෙ. සෙලිනා ගෝමස් ප්‍රායෝගිකව තමා මොනවගේද කියලා එදා ඔප්පු කර පෙන්වූ තරුවක්.
අද ප්‍රේක්ෂකයන්ට එස්.අයි. මහත්තයා වෙච්ච, දුමේෂ් බණ්ඩාරට ගෙදර අම්මා තාත්තා කතා කරන්නෙ?
පොඩි පුතා කියලා
අම්මා නම් කියන්නෙ කිසිම කරදරයක් නැති පුතෙක් කියලයි? ඇත්තද?
මෙහෙමයි. මම වැඩ ඇරිලා ආවාම අම්මා මොනවද හදලා ඕනෑ කියලා අහනවා. ඒත් මම කිසිම දවසක කරදර කරන්නේ නැහැ. අම්මට කරදර නොකර මම හරි හදාගන්නවා. හදලා තියෙන දේ කනවා.
ඉල්ලීම් නැහැ.
ෆැමිලි එකක් විදියට විවේකය ගත කරන්නෙ?
අම්මයි - තාත්තයි අපි ඔක්කෝම එළියට යනවා. එක්කෝ අපි හතර දෙනාම විදේශ සංචාරයක් යනවා. අම්මා පංසල් යන්න කැමැතියි. ඉතින් එයාව පූජනීය ස්ථානවලට ඇරලවන්න යනවා. එක්කො අපි කෑමකට එළියට යනවා. ඒ වගේ තමයි.
සඳුන් ගමගේ