සෑම කෙනෙකුටම යා හැකි දුරක් තියෙනවා. දුවන්න පුළුවන් වේගයක් තියෙනවා
ඔහු අපේ ආදරණීය රවී අයියාය. ඔබගේ ආදරණීය රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයාය. හැමදාටම අපේ සිනමාවට ආලෝකයක් වූ රංග පෞරෂයෙන් පොහොසත්, ප්රතාපවත් ඒ රංග ශිල්පියා දායක වූ තවත් සිනමා නිර්මාණයක් මේ දිනවල අපට නැරඹිය හැකිය. සම්මානනීය සිනමාවේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ගාඩි’ ඒ චිත්‍රපටයයි. එහි ඇහැලේපොළ අදිකාරම් ලෙස ‘රවි’ යෙදෙන රංගනය සැබැවින්ම භාවම්්ය ප්රකාශනයකි. ඊට සාපේක්ෂව අපි රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රවීණයා සමග පිළිසඳරකට එක්වෙමු.
කැමතියි දැනගන්න ජීවිතේ කොහොම ද කියලා?
ජීවිතයේ එක්තරා විදියක විවේක සුවයකින් ගත කරන්නේ. මම හිතන විදියට සිනමාවේ බොහෝ දුරක් ආවා. ඒ ආ දුර ප්‍රමාණවත් කියලා හිතෙනවා. අවුරුදු 52ක් සිනමාවෙම නිරත වෙලා හිටියා. ඒ ගෙවී ගිය කාලයේ දී ජීවිතය තිබුණෙ එතැන විතරයි. ඒ කාලයේ දී බොහොම කාර්ය බහුල ජීවිතයම වගේ කැප කළ ස්වභාවයක් තිබුණෙ. ඉතින් දැන් මම ආසයි ‘රවීන්ද්‍ර රන්දෙනිය’ එක්ක ටිකක් ඉඳලා බලන්න.
සිනමාවට සම්බන්ධව ඒ ගෙවී ගිය දශක පහකට එහා කාලය ගැන ඔබ හිතන්නෙ කොහොම ද?
බොහොම කෙටියෙන්ම කිව්වොත් මම තෘප්තිමත්. සෑම කෙනෙකුටම යා හැකි දුරක් තියෙනවා. දුවන්න පුළුවන් වේගයක් තියෙනවා. එතකොට මගේ හැකියාව අනුව යා හැකි දුර තමයි මම ගියේ. සමහරු කියාවි එහි උස මදි, දුර මදි, ප්‍රමාණය මදි කියලා. නමුත් මම අතරමග අත් නොහැර දිගු ගමනක් ගියා. ඒ නිසා මම තෘප්තිමත්. මම කළ දේ සියයට සියයක්ම පරිසමාප්තයි කියලා කියන්නෙත් නැහැ. නමුත් මම කළ හැකි දේ අල්ලන්න පුළුවන් උස මට හැකි පරිදි ඇල්ලුවා.
ඒ විදියට සිනමාවට ගහට – පොත්ත වගේ මෙන් බැඳී දිගු ගමනක් ගියත් ඔබගේ පෙනුම නම් එදා වගේම අදත් ආකර්ශනියයි. නොවෙනස් වූ පෙනුමේ රහස මොකක්ද?
ඒක ඉතින් මම දන්නෙ නැහැ. විශේෂයෙන් රූපලාවන්‍ය ගැන හිතන කෙනෙක් නෙවෙයි. හැබැයි රංගනයේ දී රූපය සහ හඬ කියන දේ ප්‍රධානයි. ඒ විදිය සුදුසු පරිදි පවත්වාගෙන යාමට මහන්සි වුණා. මොකද චරිතයකට අවශ්‍යය විදියට සිරුර පවත්වා ගැනීම කළ යුතු වෙනවනෙ. ඒ කාලයේ ඉඳලා එහෙම කළාම මම කිව්වනෙ දැන් මම රවීන්ද්‍ර රන්දෙනිය කියලා. ඉතින් ඒ ජීවිතයේ දී අද එහෙම විශේෂිත දෙයක් කරන්නෙ නැහැ. ස්වභාවයෙන්ම ජීවිතය ගලා යනවා. අවුරුදු 77ක් සපිරෙන්න ඔන්න මෙන්න ඉන්නේ. ඒ නිසා තවත් විශේෂිත වූ දේ කළ යුතුත් නැහැනේ. නිල නොලත් විදියට විශ්‍රාමිකව ඉන්නෙ.
කොහොමද ඒ නිල නොලත් විශ්‍රාමික දිවිය ගෙවන්නෙ?
හරි සැහැල්ලුවෙන් ගෙවන්නෙ. පරිසරය මට සම්බන්ධයි. ඒවාට සමගාමීව ගමන් සංචාර යාම සිදු වෙනවා. ජීවිතය විඳින්න පුළුවන් ඉතාම හිතවත් මිත්‍ර සමාගමක් මට ඉන්නවා. ඒ අය එක්ක සතියකට දවසක් දෙකක්වත් අපි හමුවී කතා කරලා කාලය ගෙවනවා. අනෙක් එක තමයි මම බොහොම ප්‍රිය කරන සංගීතය. රස විඳිනවා. ඒ වගේම මගේ ජීවිතය එක්ක බැඳී ආ කියැවීමේ පුරුද්ද දිගටම සිදු වෙනවා. ඒ වගේම ලෝක දේශපාලනය ගැන හදාරන්න, ඒ ඒ රටවල ප්රවනතා ගැන බල අරගල ගැන දැනුවත් වෙනවා. අපේ රටේ දේශපාලනයේ හදාරන්න දෙයක් නැහැනෙ. මට හිතෙන විදියට ලෝක දේශපාලනයේ කාලීන දේ ගැන යම්තාක් දුරකට මම දන්නවා කියලා.
ගෙවී ගිය ඔබගෙ ජීවිතයේ, ඔබ නොකළේ නම් හොඳයි කියලා අද ඔබ හිතන්නෙ මොකක් ගැන ද? නැත්නම් ඔබ කළ සියලු දේ?
ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවෙ. ඔබ නොකළා නම් හොඳම දේ මොකක්ද ඇහුවොත්, ඒ තමයි දේශපාලනය. දේශපාලනයට ගෑවිච්ච එක තමයි මම ජීවිතයේ ගත්ත අමන තීරණය කියලා හිතනවා. මොකද ඒකෙන් මට ලබා ගන්න දෙයක් තිබුණෙ නැහැ. ඒත් ඒකට මම තල්ලු වෙලා ගියා. නමුත් එහි යථා තත්ත්වය තේරුම් ගත් පසුව මා විසින්ම සදහටම එයින් ඉවත් වුණා. හැබැයි ඒ කාලයේ දී මා ලබා ගත්ත දැනුම නම් බොහෝමයි. පාර්ලිමේන්තු පුස්තකාලය, වාද විවාද සම්මන්ත්රණ ආදි දේ නිසා ඒ දැනුම මට ලැබුණා. පාර්ලිමේන්තු දේශපාලනයේ දී මා කතා කළේ අනුන් ගැරහීම නෙවෙයි. හරි පැත්තයි ගෙවී ගිය ජීවිතයේ දී මම ගත්ත නරකම තීරණය වගේම හොඳම දේත් ගත්තෙ දේශපාලනය නිසයි.
හරි අපි කතා කරමු ඔබගෙ අඹු දරුවන් සහ ඒ ගෙදර ස්වභාවය ගැන. ඔබගේ බිරිඳ ප්‍රීති රන්දෙණිය හොඳ කවිකාරියක්? ඉතින් ඒ පවුලේ ස්වභාවය ඔබට දැනෙන විදිය ?
ප්‍රීති එයාගේ කවිකාරකම් බොහෝම ස්වාධීනව කරගෙන යනවා. ඇය හොඳ කවි, ගීත ලියා පිළිගැනීමක් ඇති කරගෙන තිබෙනවා. එයාගේ නිදහසේ එය කරගෙන යනවා. දරුවන් තිදෙනාත් එයාලගෙ ගමන ගියේ ස්වාධීනව. ලොකු පුතා එංගලන්තයට ගිහින් උසස් අධ්‍යාපනය ලැබුවා. සමීර පුතා ඕස්ට්‍රේලියාවට ගිහින් එයාගේ උසස් අධ්‍යාපනය කළා. දියණියත් එයාගේ MBG එක කළේ ඔස්ට්‍රේලියාවේ. එයාලා එයාලගෙ ජීවිතේ හොයාගෙන යනවා. කොයි හැටි වේවා අපි පස්දෙනා ජීවිත හදාගෙන එක ලෝකයට කූඩු වුණාම මම හිතුවෙ ඔන්න දැන් ජීවිතය සම්පූර්ණයි කියලයි. ඒ පටන් අරන් අවුරුදු දෙකක් යනකොට ලොකු පුතා රට ගියා. ඊළඟට අනෙක් දෙන්නත් තව වසර දෙක තුනක් ඇතුළත දී රට ගියා. ඉන් පස්සේ අපි දෙන්නා විතරයි ගෙදර. දැන් පුතේ උඹලා ගියාම අම්මයි තාත්තයි තනි වෙනවා කියලා කිව්වේ නැහැ. එයාලගෙ ගමනට දෙන්න පුළුවන් උදවු සියල්ල කළා. දැන් ලොකු පුතා එයාගෙ කැමැත්ත පරිදි පදිංචිය ඔස්ට්‍රේලියාවේ. සමීර පුතා පදිංචි වෙලා ඉන්නේ ස්වීඩනයෙ. දියණිය නම් තවම අපි එක්ක. දරුවො අපි සමීපයේ නැහැ කියලා මට දැනෙන්නෙ නැහැ. අපි අපිට දුරස්ථ නැහැ. හැබැයි මට දුක එයාලගෙ දරුවන්. ඒ සුරතලුන් මා ළඟ නැති එක ගැනයි. මොකද දැන් මම මගේ දෙවැනි ළමාවියට එළැඹිලා ඉවරනෙ. ඉතින් ඒ සුරතලුන් එක්ක ඉන්න තිබුණේ නම් හොඳයි.
එහෙම නම් අපි දැන් කතා කරමු ගාඩි ෆිල්ම් එකේ ඇහැලේපොළ අදිකාරම් ලෙස ඔබ රඟපාන චරිතය ගැන කොහොමද මේ චරිතයට ඔබට ඇරියුම් ලැබුණෙ? මොකද ප්‍රසන්න විතානගේ මේ ෆිල්ම් එකට ලැහැස්ති වුණේ වසර 20ක ඉඳලයි.
සියලු දේ හරියටම කරන්න හදන ඉතා ඉවසිලිවන්ත අධ්යක්ෂවරයෙක්නෙ ප්‍රසන්න. ‘ගාඩි’ සම්බන්ධයෙනුත් ඔහු කටයුතු කළේ ඒ විදියටයි. සියල්ලම සූදානම් වූ පසුව ඔහු ඒ වැඩේට බහින්නට ඇති. ඇහැළේපොළ චරිතයට වෙන කා ගැනවත් නොසිතා ඔහු මට මුලින්ම කතා කළා. ‘රවි අය්යා මේක කරන්න ඕනෑය කියලා කිව්වා. ඔහුගේ ෆිල්ම් එකකට සම්බන්ධ වීමට පෙර කතා බහ කරන්නට අවස්ථා ගණනාවක දී අපි හමුවෙනවා. ‘අනන්ත රාත්රියේදී පවා එහෙමයි. එය කරන්නට පෙර අපි රාත්‍රී 10ක් විතර හමුවී සාකච්ඡා කරන්නට ඇති. හැබැයි පුදුමය නම් ෆිල්ම් එකේ ෂූටිංවලට ගියාම චරිතය ගැන කිසිවක් කතා වෙලා නැහැ. ඊට පෙර අපි කතා කළ දේ ඉබේම එදා ජවනිකාව ඔස්සේ සූක්ෂම ඔහු උකහා ගන්න දක්ෂයි. ඇහැලේපොළ ගැනත් ඔහුගේ අදහස ඒ විදියයි.
චරිතය ගැන කතා කළොත් එදා උඩරට මේ මහා පාවාදීම වෙනකොට නිලමේවරු රජතුමා පන්නන්න කැරැල්ලක් ගහලනෙ තිබුණෙ. ඒත් ඒක සාර්ථක වෙන්නෙ නැහැ. ඒකට එදා ජෝන් ඩොයිලි තමයි මුල් වුණේ. මම ජෝන් ඩොයිලිගෙ වත්මන් චරිතය ලෙස දකින්නෙ එරික් සෝල්හයිම්. හරි අපි ඒක පැත්තක තියමුකොට රදළවරුන්ට රජු පන්නන්න වුවමනාව තියෙනවා. ඔවුනට ඉංග්‍රීසීන්ට රට පාවා දෙන්න අදහසකුත් නැහැ. ඒත් එදා රදළයන්ගෙ මානසිකත්වය තමයි ඩොයිලි එදා ප්‍රයෝජනයට ගත්තෙ. ඇහැලේපොළ අදිකාරම් නිලමේ ගත්තොත්, රජුට තියෙන කැරැල්ල නිසා ඉංග්‍රීසින් සමග සාකච්ඡාවට ගියත්, ඔහුට නිතරම තිබුණෙ ඉංග්‍රීසින් ගැන සැකයක්. අභ්‍යන්තරයේ ඔහුට ගැටුමක් තිබුණෙ. ඒ සියල්ලට සමාන්තරව ඒ රදළ සමාජයේ විදිය කුල ක්‍රමය, වැඩවසම් විදිය, ප්‍රසන්න ඉතාම සූක්ෂම කතාවක් ලෙස අපට ඉදිරිපත් කරලා තියෙනවා. කුල ක්රමයේ තිබූ සහාසිකත්වය වගේම ඊට එහා ගිය මානුෂීය බව අවසානයේ දී මතු වෙනවා. ඒ කුල ක්‍රමයට ප්‍රසන්න ගහලා තියෙන්නෙ රිදෙන්න, හැබැයි නොදැනෙන්න. මට පුද්ගලිකව මගේ චරිතය වැදගත්. මා ආ ගමනේ අත්දැකීම්, චරිතයක් ඇතුළාන්ත ස්වභාවය ඉදිරිපත් කරන්න. දෙගිඩියාව දෙගිඩියාවක් බව නොපෙන්වා තමන් තුළ තියෙන බව දැනෙන්න ඉරියව් වලින් ප්‍රකාශ කරවීමට තිබුණා. දෙබස්වලින් තොරව එය ඒ ඉරියව් වලින් කළ යුතුව තිබුණෙ.
ඉතින් මේ චරිතය ගැන විචාරකයන් මගේ රඟපෑම ගැන ප්‍රසංසා කර තිබුණා. ඒ වගේම මනිරත්නම් අධ්යක්ෂවරයා පවා ප්‍රසන්නට ඒ ගැන කියූ බව මට ප්‍රසන්න කීවා. ඉරියව් ප්‍රදර්ශනය කිරීමට දැක් වූ කාලය ඉතා විශිෂ්ටයි කියලා කීම ඇත්තෙන්ම මට සතුටක්.
සඳුන් ගමගේ