සැප්තැම්බර් මාසයේ එළියට එන නවතම සිංහල චිත්‍රපටය ‘හිතුමතේ ජීවිතේ’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනෙත් ද සිල්වා ප්‍රධාන චරිත නිරූපණය කරන “හිතුමතේ ජීවිතේ” ලාංකීය චිත්‍රපටය නුදුරු දිනකදීම දිවයින පුරා සිනමා හල්වලට මුදා හැරීමට නියමිතයි. ක්‍රිෂාන්ත මනම්පේරි විසින් අධ්‍යක්ෂණය කළ මෙය, පසුගිය කාල වකවානුව පුරාම මෙරට සිනමා රසිකයින් බොහොම බලාපොරොත්තුවෙන් සිටි සිංහල සිනමා නිර්මාණයක්.
එළඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ප්‍රදර්ශනය ඇරඹීමට සූදානම් වන “හිතුමතේ ජීවිතේ” සිනමාපටය, EAP මණ්ඩලය ඇතුළු මෙරට සිනමා හල් 50කට ආසන්න ප්‍රමාණයකදී නැරඹීමට අවස්ථාව තිබෙනවා.

හිතුමතේ ජීවිතේ සිනමාපටය නිර්මාණය කර තිබෙන්නේ මෑතකාලීන ලාංකීය ඉතිහාසය තුළ සිදු වූවා යැයි සැලකෙන අභාග්‍යසම්පන්න සිදුවීමක් ආශ්‍රය කරගෙනයි. එම සත්‍ය සිදුවීම අනුසාරයෙන් උදේනි සමන් කුමාර විසින් රචිත “හිතුමතේ ජීවිතේ” නැමැති ග්‍රන්ථය පාදක කරගෙන මෙම සිනමාපටයේ තිර පිටපත රචනා කර තිබෙනවා.
සිනමාපටයේ කතා තේමාව ගොඩ නැඟී තිබෙන්නේ කළුතර ප්‍රදේශයේ ගම්මානයක ජීවත් වූ දුප්පත් තරුණියක දූෂණය කර – මරා දැමූ ඝාතකයින් පිරිසක් සහ ඔවුන් වටා හඹා යන එම තරුණියගේ සොහොයුරා අතර සිදු වන සිද්ධි දාමයක් මුල් කරගෙනයි. සිය සහෝදරියගේ දිවි අහිමි කළ ඝාතකයින්ගෙන් ඔහු පළි ගන්නා ආකාරය මෙම ‍“හිතුමතේ ජීවිතේ” සිනමා නිර්මාණයට පාදක වි තිබෙනවා.

2019 වර්ෂයේදී වැඩ නිම කළ හිතුමතේ ජීවිතේ සිනමාපටය මීට මාස කිහිපයකට පෙර තිරගත කරන්නට සැලසුම් කර තිබුනද, කෝවිඩ් වසංගතය සහ තවත් හේතු නිසා එහි ප්‍රදර්ශනය කල් ගියා. ඉන්පසුව නැවතත් අප්‍රියෙල් – මැයි කාල සීමාව තුළදී මෙය මුදා හරින්නට නියමිත තිබූ නමුත් යළිත් එය තාවකාලිකව කල් දමන්නටයි නිෂ්පාදකවරුන්ට සිදු වුනේ. එළඹෙන සැප්තැම්බරයේ සිට “හිතුමතේ ජීවිතේ” නැරඹීමට රසිකයින්ට අවස්ථාව හිමිව තිබෙන්නේ මෙවැනි ප්‍රමාදවීම් ගණනාවකින් පසුවයි.

(කවිනු වීරක්කොඩි)