සුනිල් අංකල් වගේ ප්‍රවීණයෙක් එක්ක, එකම වේදිකාවක ගීත ගායනා කරන්න තරම් මම වාසනාවන්තද කියලත් මට හිතුනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘නිසංසල සඳක් 
පැතුම් මල් ගොඩක් 
සුපෙම්බර හදක් ළඟ හිත නැවතෙනා හැඩක් පැතුම් මල් ගොඩකින් හිත පුරවාගෙන ‘‘ගී අඹරට’’ නැගුණු ඒ නිසංසල සඳට තවත් නමක් ඇත. ඒ ශෂිකා නිසංසලාය. ගී අඹරේ සඳක් ලෙස නොව ඉරක් ලෙස දිලෙන ඇය, බොහෝ සම්මාන උළෙලවලදී හොඳම ගායිකාව, ජනප්‍රියම ගායිකාව ආදී වශයෙන් සම්මානයටද පාත්‍ර වන්නීය. ඒ නිසංසල සඳ සමඟ මම සඳැල්ලේ සිට පිළිසඳරක යෙදෙමි. 

මේ දවස්වල ඔයා කාර්යබහුලයි..?

ඇත්තටම ආයෙත් කාර්ය බහුල කාලයක් ඇවිත් තියෙන්නෙ. එක්කෝ ප්‍රසංගයක්. නැත්නම් අලුත් ගීතයක පටිගත කිරීමක්. මේ දැනුත් ඉන්නේ ස්ටුඩියෝ එකේ. අලුත් ගීතයක් පටිගත කරල ඉවර කළා විතරයි. ඒ වගේම තමයි රට පුරාම ප්‍රසංග. සමහර ප්‍රසංග කොවිඩ් කාලෙ තියන්න තිබිලා කල් ගිය ඒවා. තවත් ඒවා අරගල කාලෙ කල්ගිය ඒවා. කොහොම වුණත් මේ දවස්වල හරියට ප්‍රසංග. එළිමහන් ප්‍රසංග වගේම ගෘහස්ථ ප්‍රසංග. 

පසුගිය දවස්වල පිටරටවලින් ප්‍රසංග තිබ්බා නේද? 

ඔව්. ඇමරිකා එක්සත් ජනපදයෙ ප්‍රසංග මාලාවක්ම තිබ්බා. ඒකට ලංකාවෙන් ගියේ මමයි, උරේෂයි, පවන් මල්ලවආරච්චි ඕස්ට්‍රේලියාවෙ ඉඳල ආවා. 
ඊට කලින් ඕස්ට්‍රේලියාවෙ ප්‍රසංග මාලාවක්ම තිබ්බා. ඒවට ගියේ සුනිල් එදිරිසිංහ අංකලුයි මමයි. 

කොහොමද ඒ ප්‍රසංගවලට ලැබුණු ප්‍රතිචාර?

කියන්නත් සතුටුයි. ටිකට් ඔක්කොම කලින්ම විකිණිලා තිබුණා. මෙල්බර්න් නුවර ප්‍රසංගයට ප්‍රසංගවාර දෙකක්ම පවත්වන්නත් වුණා.

ඒ රටවල ඉන්න අපේ අය මොනවද කිව්වෙ?

හැමෝම කාර්ය බහුල අය. රැයක් දවාලක් නැතුව වෙහෙසවෙන අය. එයාලා කිව්වෙ, එයාලගෙ අසීමිත වෙහෙස නිවාගන්නෙ ගීතයක් දෙකක් අහලා කියලයි. ඒ අය මගේ ගීවලට වගේම සුනිල් අංකල්ගෙ ගීතවලටත් එකසේ ප්‍රියකරන අය. ඉතින් ඒ අය ඇවිත් ආදරෙන් කතා කරනකොට මට දැනුණෙ කියන්න බැරිතරම් සතුටක්. 

පහුගිය දවස්වල නෙළුම් පොකුණේ ඔබෙයි සුනිල් එදිරිසිංහගෙයි ප්‍රසංගයක් තිබුණා. මේ එන අප්‍රේල් පළමුවෙනිදත් රත්නපුරේ

පුස්තකාල ශ්‍රවනාගාරයේදී ඔබත් සුනිල් එදිරිසිංහත් ගී ගයන ‘‘‘යුග මන්ත්‍ර’’ නම් ප්‍රසංගයක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. මට හිතෙනවා මේ සුනිල් - ශෂිකා සුසංයෝගයක ගමනක්ද කියලා. 
සුනිල් අංකලුයි මායි ගී ගයපු ප්‍රසංග ගණනාවක් පහුගිය දවස්වල තිබුණා. ඉදිරියටත් තියෙනවා නම් තමා... ඒ වගේම සමහර ප්‍රසංගවලට සුනිල් අංකලුයි, මටයි අමතරව, අමරසිරි පීරිස් අංකල්, ටී.එම්. ජයරත්න අංකල්, කරුණාරත්න දිවුල්ගනේ අයියා වගේම කසුන් කල්හාරත් සහභාගී වුණා. 

සුනිල් එදිරිසිංහ – ශෂිකා නිසංසලා ගී ගයන ප්‍රසංගවදී, ඔබ දෙදෙනාම ගයන යුග ගී තියෙනවද?

‘‘හරිමි රජ සැපා...’’ කියන නූර්ති ගීතය තියෙනවා. හැබැයි මෙල්බර්න්වලදී හරි අපූරු දෙයක් වුණා. මම ගී ගයලා නික්ම යන්න හදද්දී සුනිල් අංකල් වේදිකාවට එන්න ඕනෑ. ඒත් එදා සුනිල් අංකල් වේදිකාවට එන්න චුට්ටක් ප්‍රමාද වුණා. නිවේදකයා මට කිව්වා සුනිල් අංකල් එනතුරු එයාගෙ ගීතයක කොටසක් ගයන්න කියලා. මට මතක් වුණේ ‘‘වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්...’’ ගීතය. මම ඒ ගීතය පටන් ගත්තා. ටිකකින් සුනිල් අංකල් ඇවිත් මාත් එක්කම ඒ ගීය ගායනා කළා. ඒ අසිරිමත් මොහොත රසිකයන් පිළිගත්තෙ ශාලාව දෙවනත් වුණ තරමේ අත්පොලසන් ප්‍රසාදයකින්. 

ඒ හැර ඔබත් සුනිල් එදිරිසිංහත් යුග ගීයක් ගයා නැද්ද? 

නැහැ. නමුත් ළඟදීම අපි දෙන්නා යුග ගීයක් ගායනා කරන්න සූදානමින් ඉන්නෙ. 

ඔයාට මතකද ඉස්සෙල්ලාම සුනිලුන් හමුවූ දවස? 

අයි.ටී.එන්. නාලිකාවෙ වැඩසටහනකදී. එදා මගෙ ගී ගායනය ගැන එතුමා කතා කළේ පුදුම ප්‍රසාදයකින්. මම ලයිව් සිංග් කරත්දීත්, මගේ ඔරිජිනල් ගීතයෙ විදිහටම සිංග් කරනවා, ඒක හැමෝටම කරන්න බැහැ කියලා එතුමා ඉතාම නිර්ලෝභීව මාව අගය කළා. එදා මට පුදුම හිතුණා. සුනිල් අංකල්ගෙ නිහතමානිකම ගැන. 

ඔයා ගායිකාවක් වෙන්න කලිනුත් සුනිල් එදිරිසිංහගේ ගීවලට ප්‍රිය කරන්න ඇති?

අපෝයි ඔව්. මං ඒ කාලෙ හුඟක් කැමති ‘‘මගෙ අමල්බිසෝ...’’ ගීතයට. එතුමා ඒ ගීතය ගයද්දී මගෙ හිතේ චිත්ත රූපයක් ඇඳුණා අමල්බිසෝ ගැන. 
ඒ වගේම ‘‘ලෙංචිනා මගෙ නංගියේ...’’ සහ ‘‘වියෝ වූ පසුවයි දැනෙන්නේ...’’ කියන ගීවලටත් මගෙ පුංචි කාලෙදි මම ගොඩක් ප්‍රිය කළා.

ඉස්සෙල්ලම සුනිලුන් සමඟ ප්‍රසංග ගොඩවුණු දවස මතකද? 

ම්ම්ම්... මං හිතන්නෙ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලෙදි වෙන්න ඕනෑ. 
තව ඉබ්බාගමුවෙ තිබ්බ ප්‍රසංගයක් ගැනත් මතක තියෙනවා. හැබැයි හරියටම මට මතක නැහැ පළමු ප්‍රසංගය මොකක්ද කියලා නම්. 

ඒ ප්‍රසංගයෙදි ඔයාට, ඔයා ගැන හිතුනෙ මොනවගේ දෙයක්ද?

මට මගෙ ගැන පුදුම හිතුණා. සුනිල් අංකල් වගේ ප්‍රවීණයෙක් එක්ක, එකම වේදිකාවක ගීත ගායනා කරන්න තරම් මම වාසනාවන්තද කියලත් මට හිතුනා.

ප්‍රසංග වේදිකාවෙදි සුනිලුන්ම ගායනා කරන්න අපූරු ගීතයක් තියනවා. ‘‘දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...’’ කියලා. ඔබටත් තියෙනවා නේද පියගුණ ගීතයක්. 

‘මම තරු කැකුළ අහසේ 
ඔබ පුරහඳව දිලිසේ 
එළියදී රැකවරණදී 
සෙනෙහසින් ළඟ ගැවසේ
 පියානනී, ලය නිවී සැනසේ.

අපි මෙච්චර වෙලාම කතා කළේ සුනිල් - ශෂිකා සුසංයෝගය ගැන. අපි දැන් ශෂිකා ගැන විතරක් චුට්ටක් කතා කරමු. තාමත් ඔබ නේද ජනතාවගේ ගායිකාව. 

ඔයා කතා කරන්නෙ පීපල්ස් එවෝර්ඩ් සම්මාන උළෙල ගැන නේද? පහුගිය සම්මාන උළෙල හතේදීම ජනතාවගේ ගායිකාව සම්මානය ලැබුණෙ මට. තව ගිය අවුරුද්දේ තාරුණ්‍යයේ ජනතා ගායිකාව කියන සම්මානයත් මට ලැබුණා. ඊට අමතරව හොඳම ගායිකාවට හිමි සම්මානයත් මට නිතරම වගේ ලැබෙනවා. 

මේ අවුරුද්දෙ පීපල්ස් එවෝර්ඩ් සම්මාන උළෙලෙදිත් ඔබ යළිත් ජනතාවගේ ගායිකාව සම්මානයට හිමිකම් කියයිද? 

ඒකනම් මම දන්නෙ නෑ. මගෙ රසිකයන්ගෙ කැමැත්ත සහ තීරණය උඩ තමා ඒ සම්මානය රැඳී තියෙන්නෙ.

සටහන - ශකුවි

ඡායාරූප - සජීව ලක්ෂාන්