සිනමාවේ අනාගතය ගැන දුකයි. තරුණ සිනමාකරුවෝ බහුතරයක් හදන්නේ නිදිමත හැදෙන සිනමා නිර්මාණයන්
ලාංකීය සිනමා ක්ෂේත්‍රය තුළ සහාය අධ්‍යක්ෂවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් නමක් දිනාගෙන සිටින චරිතයක් ලෙස ඩොනල්ඩ් ජයන්ත හැදින්විය හැකියි. මේ වන විට ඔහුගේ සිනමා දිවියට වසර 37 ක් සම්පූර්ණ වී තිබේ. මේ දිනවල තිරගත වන රිදී සීනු සහ සිහිනයකි ආදරේ සිනමා නිර්මාණයන් තුළත් සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙසත් කටයුතු කරන ඔහු සමඟයි මේ කතාබහ.
සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස සිනමාවට සම්බන්ධ වීම ගැන මුලින්ම කතා කළොත්?
ප්‍රවීණ මාධ්‍යවේදී චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි ගමගේ මහතාගේ ‘පූජා’ චිත්‍රපටයට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට ඉතින් මේ වෙද්දී චිත්‍රපට 63 ක සහය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරලා තියෙනවා. එතකොට මම සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස එකතු වුණු අලුත් නිර්මාන තමයි මන්දාරා, ආදර හිනය, මායා ජාල, සිහින අභිෂේක. සූරිය සුළඟ, ගිනි අවි සහ ගිනිකෙළි, සාජන් පුංචිසෝම යන චිත්‍රපට, ඒවා ඉදිරියේදී තිරගත වීමට නියමිතව තියෙනවා.
ඩොනල්ඩ් වැඩිපුර සහය අධ්‍යක්ෂණය වෙනුවෙන් එකතු වුණු අධ්‍යක්ෂවරු ගැන කිව්වොත්?
මම වැඩිපුරම සම්බන්ධ වෙලා තියෙන්නෙ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂවරයා සමඟින්. ඔහු ඇත්තටම සිනමාවේ හැම අංශයෙන්ම මනා දැනුමක් ඇති දක්ෂ සිනමාකාරුවෙක්. ඒ වගේම ඔහුට සිනමාවේ කාර්මිකරණය පිළිබඳව දැක්මක් තියෙනවා. දර්ශන තලයේදීත් ඉතා නිහතමානීව තම කාර්යය ඉටුකරන කෙනෙක්. මම ඔහු සමඟ ඔහුගේ සිනමා නිර්මාණ 24 ක සහ ටෙලි නිර්මාණ 5ක සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරලා තියෙනවා. ඇත්තටම ඔහු එක්ක වැඩ කරන්න හරිම ලේසියි. මම හරිම කැමැත්තෙන් තමයි ඒ නිර්මාණවලට ඔහු සමඟ සම්බන්ධ වෙන්නේ.
සහාය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් බොහෝ නිර්මාණවලට ඔබ සම්බන්ධ වෙලා තියෙනවනේ මේ වෙද්දි. ඉතින් ඒ භූමිකා තුළ වැඩ සිද්ධ වෙන්නෙ කොහොමද කියලාත් කියමු?
සලරුවක තිර රචනයෙන් පසු අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයට සෑම අතින්ම සහාය වන පුද්ගලයා තමයි සහාය අධ්‍යක්ෂවරයා. නළු නිළියන්ගේ දින ලබා ගැනීම, කාලසටහන් සැකසීම, සංස්කරණයේ මූලික කටයුතු, දෙබස් කැවීම් ආදී සියලුම කටයුතුවලදී අධ්‍යක්ෂවරයාට වඩා වැඩි කොටසක් කරන්නෙ සහාය අධ්‍යක්ෂවරයා. නිර්මාණකරණයේදී කාර්මික අංශය පිළිබඳව සැලකිලිමත් වීම සහාය අධ්‍යක්ෂවරයාගේ වගකීමක්.
සිංහල සිනමාවේ අනාගතය ගැන ඔබට යම් අදහසක් තිබෙනවාද?
සිනමාවේ අනාගතය ගැන දුකයි. තරුණ සිනමාකරුවෝ බහුතරයක් හදන්නේ නිදිමත හැදෙන සිනමා නිර්මාණයන්. සිනමා ශාලාවල පුටුවලට, එහෙම චිත්‍රපට හදලා වැඩක් නැහැ. අපි චිත්‍රපට හදන්න ඕනේ ප්‍රේක්ෂකයාගේ රසවින්දනය සඳහා. විකල්ප දාරා චිත්‍රපට හදන්නේ ගොඩාක් නවක අධ්‍යක්ෂවරු සම්මාන ලබා ගැනීම සඳහායි. මේ ප්‍රශ්න ගැටලු අස්සේ උදයකාන්ත වර්ණසූරිය. සෝමරත්න දිසානායක. ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රියන්ත කොළඹගේ, ගිරිරාජ් කෞශල්‍ය, මහාචාර්ය සුනිල් ආරියරත්න වගේ තරගකාරී සිනමා නිර්මාණ හදපු නිර්මාණකරුවෝ බිහිවුනා. නමුත් මේ මොහොතේ ප්‍රධාන වශයෙන් අද චිත්‍රපට බැලීමට වඩා එදිනෙදා ජීවත්වීමේ අරගලයට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. ආර්ථික ප්‍රශ්න නිසා ඔවුන්ට අද චිත්‍රපට බැලීමට තරම් මානසික තත්වයක් හා මුදලක් නැහැ. ප්‍රේක්ෂකයන් ගැටලු රාශියක් මැද්දේ ඉන්නේ. විනෝද වෙනවාට වඩා එක වේලක් හරි කාලා ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්නේ. නමුත් මීට වසර හතකට පෙර සිරි පැරකුම්, ධර්මයුද්ධය, මායා ප්‍රවේගය යන චිත්‍රපට ප්‍රේක්ෂකයින් 10% - 12% අතර නැරඹුවා. නමුත් අද නරඹන්නේ ප්‍රේක්ෂකයන් 1% ක් පමණයි. ඇයි අපට බැරි විදේශ රටවල සිටින අපේ තානාපතිවරුන්ට සිංහල චිත්‍රපට ඒ රටවල ප්‍රදර්ශනය කිරීමට වෙනත් භාෂාවලින් උපසිරැසි සමග හා වෙනත් දෙබස් පටිගත කර වෙළඳපොළට යවන්න. අපේ රටට ඒවායින් ඩොලර් එන්නේ නැද්ද? සෑම නගරයකම සිනමා කර්මාන්තය පිළිබඳ තරුණ තරුණයින්ට සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට රුකුලක් වශයෙන් සිනමා වැඩමුලු තිබිය යුතුයි. එය රාජ්‍ය අනුග්‍රහයෙන් කළ යුතු දෙයක් අතර ප්‍රවීන කලා ශිල්පීන් සම්බන්ධ කරගෙන රංගනය, අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය, සහාය අධ්‍යක්ෂණය, අංග රචනය, ආලෝකකරණය යන සෑම අංශයක් දැනුමක් වීම සඳහා මෙය සිදුකළ යුතුයි කියලා මම හිතන්නේ.
නැවත ලාංකික සිනමාව ප්‍රේක්ෂකයාගෙන් පිරී ඉතිරී යන්නේ නම් ඔබ දෙන අදහස මොනවාද?
සමහරු මොනවා කිව්වත් ප්‍රධාන හේතුව සිනමා ශාලාවලින් ප්‍රේක්ෂකයින් බැහර හරින්නේ රූපවාහිනී නාලිකා තුළින්. සිංහල, හින්දි, දමිල, තෙලිගු, ඉංග්‍රීසි මාසෙකට චිත්‍රපට 300 ක් පමණ පෙන්වනවා. මොකද ඒක අත්දැකීමෙන්ම දන්නේ බොහෝ දුරට රූපගත කිරීම්වලට දුර පළාත් වලට යන විට නිවෙස්වලට ගොස් ඔවුන්ගෙන් අසනවා සිනමා ශාලාවලට ගොස් චිත්‍රපට බලනවාද කියා. ඔවුන් අපට පවසන්නේ රූපවාහිනී වලින් පැය 24 පුරාම චිත්‍රපට පෙන්වන විට අපි මොකටද මුදල් දීලා චිත්‍රපට බලන්නේ කියලා. පවුල් 100 කින් ඇහුවොත් පවුල් 99 ක් කියන්නේ ඔය දේම තමයි. මම යෝජනා කරන්නේ රූපවාහිනී නාලිකා වලින් පෙන්වන චිත්‍රපට රාත්‍රී 10 න් පසු විකාශනය කිරීම සුදුසුයි කියා. අනිත් එක ප්‍රශ්නයක් තමයි 60-70 දශකයේ සිනමා ශාලා 406 ක් පමණ තිබුණා. නමුත් දැන් තියෙන්නේ සිංහල චිත්‍රපට පෙන්වීම සඳහා සිනමා ශාලා 80 ක් පමණයි. උදාහරණයක් වශයෙන් රාජ්‍ය නායකයන් මැති ඇමැතිවරුන් සිටි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිනමා ශාලා ගණනාවක් වැහිලා ගිහින්. මම යෝජනා කරන්නේ රාජ්‍ය මැදිහත් වීමෙන් පළාත් සභා නගර සභා, ප්‍රාදේශීය සභා තුළින් අංගසම්පූර්ණ මිනි සිනමාශාලා 200 ක් පමණ ඉදිකළ යුතුයි. රජයේ ඉඩම් සඳහා නව සිනමා ශාලා ඉදිකිරීම සඳහා ව්‍යාපාරිකයන්ට බදු ක්‍රමය තුළින් ඉඩම් ලබාදිය යුතුයි. අනිත් කාරණාව තමයි ලාංකීය සිනමාව කර්මාන්තයක් ලෙස ස්ථාපනය කළ යුතුයි. මෙය හරියට කළ යුතු නම් කලාවට ලැදි කලාකරුවන්ට ආදරය කරන කලාකාරුවන්ගේ දුක හදුනන රාජ්‍ය නායකයෙක් බිහිවිය යුතුයි කියන දේ.
ඔබේ සිනමා දිවියේ වසර 37 ක් තුළ මේ මොහොත දක්වා එදා රංගන ශිල්පීන් හා නවක රංගන ශිල්පීන් ගැන ඔබ කොහොමද අර්ථ දක්වන්නේ?
ඇත්තටම එදා රංගන ශිල්පීන්ට අපි අදත් ආදරෙයි. ඔවුන් ළඟ තිබුණු දැනුම විශ්ව කෝෂයක් බඳුයි. ඒ වගේම ආදරය සහෝදරත්වය අපි කෙරෙහි තිබුණා. පොතපතේ දැනුම තිබුණා. ඔවුන්ගෙන් අපි දැනුම ලබාගත්තා. ඔවුන් අපිට ගරු කරා මෙන්ම අපිත් ඔවුන්ට ගෞරව කළා. උදාහරණයක් වශයෙන් ජෝ අබේවික්‍රම කලාකරුවා ගතහොත් අපි රූපගත කිරීමට විනාඩි පහක් තියාගෙන සරල පුද්ගලයෙක් විදිහට සරමක් ඇදගෙන වාහනයට නැග දර්ශනයට අපි එක්කගෙන එනවා. ඔහු දර්ශනයට අවතීර්ණ වූ පසු දර්ශනයට අවශ්‍ය ඇදුම ඇදගෙන ඉතා විශිෂ්ඨ අන්දමින් රංගනයේ යෙදිලා ආපසු සරල මිනිහෙක් විදිහට පිටව යනවා. අද නවක සමහර රංගන ශිල්පීන් ඔවුන්ගේ නිවසට රූපගත කිරීම සඳහා ඔවුන් රැගෙන ඒමට වාහනයෙන් ගොස් පැයක් පමණ ඔවුන් පමා වෙනවා ඒ එන්නෙත් ටෙලිපෝන් කනේ ගහගෙන දර්ශන තලයට ඇවිත් පිටපතක් උඩින් පල්ලෙන් බලාගෙන දර්ශනයට අවශ්‍ය ඇඳුම් ඇදගෙන නැවතත් පුදුම නෑමක් නාගෙන එතැන ඉන්න අයට බායි කියාගෙන දුරකථනය කනේ තියාගෙන පිටවී යන්නෙත්.
පාසල් යන අවධියේ සිට මේ දක්වා රිදී තිරයේ ඔබ ආදරය කළ රංගන ශිල්පී ශිල්පිනියන් සමඟ වැඩ කරලා තියෙනවද?
ඔව් මගේ සිංහල සිනමාවේ විරයන් බවට පත්වූ 70 දශකයේ මා ආදරය කළ ගාමිණී, මාලිනී, විජය, කලංසූරිය. රවින්ද්‍ර, ගීතා, සිරිල් වික්‍රමගේ, ජෝ අබේවික්‍රම, ටෝනි, සොමී රත්නායක, අනෝජා වීරසිංහ, ශ්‍රියානි අමරසේන, වීනා ජයකොඩි, අනුලා කරුණාතිලක, සුවිනීතා වීරසිංහ වැනි ප්‍රවීන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් සමඟ වැඩ කරන්න මට අවස්ථාව උදාවෙලා තියෙනවා. මා ආදරය කල රංග ශිල්පින් පසු කලක මාගේ මිතුරන් බවට පත්වුවා. ඒක මා ලද ලොකු භාග්‍යයක්. මා හිතන්නේ ඒ වගේම 80 දශකයේ සිට වර්තමාන සිනමාව දක්වා රංගන ශිල්පීන් සමගත් මට වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ජැක්සන් ඇත්නනී, සබීතා පෙරේරා, කමල් අද්දරආරච්චි, ජීවන් කුමාරතුංග, මහේන්ද්‍ර පෙරේරා, සංගීතා වීරරත්න. ශ්‍රියන්ත මෙන්ඩිස්, හේමාල් රණසිංහ, පුබුදු චතුරංග, උද්දික ප්‍රේමරත්න, උදාරි වර්ණකුලසූරිය, චුලක්ෂි රණතුංග, ටීනා ශනෙල් සමඟ වැඩකරන්න ලැබීම හරිම සතුටුයි.
මේ ක්ෂේත්‍රයට ඩොනල්ඩ් ජයන්තගේ අවතීරණය සිද්ධ වෙන්නෙ කොහොමද?
මම පුංචි කාලේ ඉදන්ම කලාවට ගොඩක් ලැදි කෙනෙක්. මුලින්ම සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ආශාව ඇති වුණේ නම් ගාමිණී මාලිනීගේ චිත්‍රපට රංගනයන් දැකලා. නමුත් මමත් පාසල් යන කාලෙ ඉඳන්ම වගේ රංගනයට සම්බන්ධ වෙලා හිටියා. පාසල් වේදිකාවේ නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. පෙර සඳහන් කළා වගේ ගාමිණී - මාලනී දෙපළට තියෙන කැමැත්ත නිසාම පාසලෙන් කට්ටි පැනලා ගිහින් යාළුවොත් එක්ක ඒ චිත්‍රපට නැරඹුවේ. ඒ කාලෙ සතියට චිත්‍රපට දෙක තුනක් නැරඹුවා මතකයි. මුලින්ම චිත්‍රපටයක් බැලුවෙ 1975 ලෙනින් මොරායස් මහතා අධ්‍යක්ෂණය කළ ගාමිණී - මාලනී රංගනයෙන් දායක වුණු ආවා සොයා ආදරේ චිත්‍රපටය. එදා මම සීයා එක්ක ගිහින් ඒ චිත්‍රපටය බැලුවෙ. එදා තමයි මම තීරණය කළේ සිනමා ක්ෂේත්‍රයට කවදා හෝ අවතීර්ණ වෙනවා කියලා. ඒ කැමැත්ත එක්ක කොහොම හරි ඉතින් කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන් මතක් කරන්න ඕනැ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහතාව. ඔහු මට හදුනාගන්නට ලැබුණා මගේ අම්මාගේ මාර්ගයෙන්. එතැන් පටන් පියවරෙන් පියවර එතුමාගේ මඟ පෙන්වීම යටතේ අද මට මේ ඉන්න තැන හදාගන්න අවස්ථාව උදාවුණා. ඒ මඟපෙන්වීම යටතේ මට ටෙලිනාට්‍ය කිහිපයකටත් රංගනයෙන් දායකවෙන්න අවස්ථාව ලැබුණා. ‘එක මවකගේ දරුවෝ’, ‘යශෝරාවය’ ඒ අතරින් කතාබහට ලක්වුණා. ඒ විදියට ආපු ගමනක් තමයි අද දක්වා තියෙන්නෙ.
ධනු විජේරත්න