සුදු අඳින කළු චරිත වගේම කළු අඳින්න සුදු චරිතත් ඉන්න පුළුවන්.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔබ බොහොම ආදරය කරන ජනප්‍රිය සොඳුරු රංගන ශිල්පිනියක්නිවේදිකාවක් ලෙස මෙන්ම අද වන විට   ඇගේ ම පුංචි ව්‍යාපාරයක නිරත වන නිසා  ව්‍යාපාරික කාන්තාවක් ලෙසත් ඇයව  හඳුන්වා දිය හැක. දක්ෂතා රැසකින් පරිපූර්ණ ඇයට අපි මෙවර ෆැෂන් පිටුව සරසන්නට ආරාධනා කළෙමු.

විවාහයෙන් පස්සේ එන්න එන්නම ලස්සන වෙනව මොකක්ද රහස ?

හැමෝම ඔය කතාව කියනවා .මට හිතෙන්නේ  ඒකට හේතුව ස්වාමියා ගෙන් ලැබෙන අසීමිත ආදරයයි, රැකවරණයයි එක්ක බොහොම සතුටින් ඉන්න තරම් මම වාසනාවන්ත වීම .

ඔබ කරන විලාසිතා නිරතුරු ව ම අන් අයගේ ආකර්ෂණයට ලක් වෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද ?

මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව මම සැම විටම විලාසිතා කරන්නේ හොඳින් තෝරා බේරා ගෙන. මට ගැළපෙනම දේ විතරයි මම කරන්නෙ. විවාහයෙන් පස්සේ මා කරන බොහෝ විලාසිතාවන් තෝරා දෙනු ලබන්නේ මගේ ආදරණීය ස්වාමියා. ඔහුට ඇත්තටම මට වඩා ෆැෂන්  පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා .....

විලාසිතා කියන විෂය ඔබ දකින්නේ කොහොම ද ?

මට හිතෙන්නේ නම් විලාසිතා කියන්නේ තමන්ට ගැළපෙනම දේ නිවැරදිව තෝරා ගෙන අලු‍ත් යමක් කිරීම. විශේෂයෙන්ම අප කරන සෑම  විලාසිතාවක්ම අපට වටිනාකමක් එකතු විය  යුතුයි  කියා මම විශ්වාස කරනවා .එසේ නොගැළපිම් බොහෝමයකින්   ගැළපිම කර ගැනිම ට  උත්සාහ දැරීමෙන් විලාසිතාව අන් අයගේ හිනාවට ලක් වෙන්නත් පුළුවන් .

පොදුවේ ඔබ ඔබට විලාසිතා තෝරා ගැනීමේ දී කුමන කරුණු කෙරෙහි ද සැලකිලිමත් වෙන්නේ ?

මූලිකවම මගේ ඇඟේ හැඩය, සමේ පාට ,සහභාගි වන තැන වගේම සහභාගි ​ෙවන වෙලාව ගැනත් සැලකිලිමත් වෙනවා .මොන විදිහට විලාසිතා තෝරා ගත්තත් මාව විකෘති වෙලා නොපෙනෙන විලාසිතා තමයි නිරතුරුවම  මං තෝරා ගන්නේ.

විලාසිතාවක් කිරීමේ දී ගැළපීම ගැන ගොඩක් හිතන කෙනෙක් ද ඔබ ?

අම්මෝ ඔව් .මොන තරම් ලස්සන , වටින විලාසිතාවක් වුණත් මට ගැළපෙන්නේ  නැත්නම් මම එවැනි විලාසිතාවන් තෝරා ගන්නේ නැහැ. රඟපෑමක දී පවා තෝරා බේරාගෙන ,පිටපත වගේ ම ඇඳුම් විලාසිතාව නුත් මට ගැළපෙනවා නම් පමණයි මම  චරිත පවා බාර ගන්නේ .රංගන ජීවිතයේදී වගේම සාමාන්‍ය ජීවිතයේදිත් එම කරුණු කෙරෙහි මම වඩාත්ම සැලකිලිමත් වෙනවා.

ගැළපෙන විදිහට විලාසිතාවක් කලහම හිතට මොන වගේ සතුටක් ද දැනෙන්නෙ ?

ගැළපෙන විලාසිතාවකින් සැරසිලා කණ්නාඩියක් ඉස්සරහට ගියාම මාව ම දකින මට අප්‍රමාණ සතුටක් ලැබෙනවා. ඇත්තටම ඒ තුළින් හිතට පුංචි අභිමානයකුත්  ආත්ම තෘප්තියකුත් ලැබෙන ගමන්ම යන ගමනක් සතුටින් යන්නත් පුළුවන් .

කරන විලාසිතාවන් අනුව කෙනෙක් ව මනින්න පුළුවන් කියා ඔබ විශ්වාස කරනවාද ?

මම හිතන්නේ බැහැ .අපි කෙනෙකු මැනිය යුත්තේ ගතිගුණ වලින්. මොකද සුදු අඳින කළු චරිත වගේම  කළු අඳින්න සුදු චරිතත්  ඉන්න පුළුවන්. ඒ නිසා අපි කරන විලාසිතාවන්ගෙන් කෙනෙකු මනින්න බැරි බවයි මගේ නිගමනය.ඇත්තට ම අපි එහෙම කළ යුතුත් නැහැ .

කරන විලාසිතාවට ගැළපීම සිදු කරන්නේ කොහොමද ?

විලාසිතාවක් කිරීමේ දී ගැලපීම ගැන ගොඩක් හිතන කෙනෙක් මම මම පෞද්ගලිකව හිතෙනවා විලාසිතාවක් කියන්නේ ඇඳුම පමණක් නොවේ හිස පීරන විදිහේ ඉඳලා පාදයට දාන සෙරෙප්පු සපත්තු දක්වාම ගැලපීම කියන දේ තිබිය යුතුයි එවිටයි පැක් එකක් විදිහට අපිට වටිනාකමක් එකතු වෙන්නේ. සාමාන්‍යයෙන් මම කරන සෑම විලාසිතාවකදී ම  සෙරෙප්පු ,සපත්තු, හෑන්ඞ් බෑග් ගළපන්න පුරුදු වෙලා ඉන්නවා .

ඔබ  ආභරණ පලදින්න  කැමති කෙනෙක් ද ?

චාම් විලාසිතා වලින් යුතු ආභරණ පලඳින්න කැමතියි. නමුත් මම ආසම ලොකු ලොකු මුදු පළඳින්න ...

සාමාන්‍යයෙන් විලාසිතා කිරීමේදී විශාල මුදලක් එය වෙනුවෙන් වියදම් කරන්න කැමති කෙනෙක් ද ඔබ ?

ඉහළම මිල ගණන් යටතේ තියෙන විලාසිතා කළ යුතුයි, බ්‍රෑන්ඩඞ්  ඇඳුම් ඇඳිය යුතුයි කියන මතය නම් මම නැහැ.  මට ගැළපෙනවා නම් , මිල ගැන මම ලොකුවට හිතන්නේ නෑ. නමුත් මගේ ආදරණීය සැමියා නම් මට අරන් දෙන බොහෝ  විලාසිතාවන් මුදලින් වැඩි දේවල්.

විලාසිතාවකින් ඔබට වටිනාකමක් ලැබෙනවා කියලා විශ්වාස කරනවාද ?

මම පෞද්ගලිකව හිතනවා ඕනෑම විලාසිතාවකට   වටිනාකමක් දෙන්න අපේ ගොඩනගා ගත් ආදරණීය චරිතයකට පුළුවන් කියලා. ඒ හැරෙන්න නම් විලාසිතා  කළ  පමණින්  අනන්‍යතාවක් ගොඩනගා ගැනීම ගැනනම් මම දන්නෙ නැහැ .

ඔබ කරන විලාසිතා අන් අයගේ ආකර්ෂණයට නිරතුරුවම භාජනය වෙනවා නෙද ?

ඔව් නිරතුරුවම මොන ඇඳුම ඇන්දත් කොහෙන්ද ගත්තෙ ගාන කීයද කියන දේ නම් නිතරම අහනවා ඒ නිසාම මම මේ වන විට මගෙම නමින් මම කරන විලාසිතා කැමති කෙනෙකුට ගන්න පුළුවන් විදියට පුංචි ව්‍යාපාරයකුත් කරගෙන යනවා .විනූගේ වෙඩින් සාරිය,විනුගෙ   උපන්දින ගවුම කියලා  මම අදින ඇදුම් වලට ම බොහෝ දෙනෙකු ගෙන්  ලොකු ඉල්ලු‍මක් තියෙනවා .

ජීවිත​ෙය් ලස්සනටම සැරසුණු දවස ?

අදටත් හරිම ආදරණීය මතකයක් විදිහට තියෙන්නේ මගේ විවාහ වුණු දවස .එදා මා සැරසුණු සාරි විලාසිතාව, හැඩගන්වා තිබුණු විදියට අදටත් දුරකථන ඇමතුම් එනවා .ඒ තරම් ඒ මතකය හරිම ආකර්ශණීයයි, ආදරණීයයි.

ඔබ විලාසිතාවක් කිරීමේ දී යම් කෙනෙකු අනුගමනය කරනවා ද ?

ලෝකයේ බොහෝ රටවල කාලයේ තාලෙට වෙනස්වන විලාසිතා ගැන නිරතුරුවම අවදියෙන් ඉන්න කෙනෙක් මම .නමුත් කවදාවත් ඒ කිසිම විලාසිතාවක් සියට සීයක්ම මම අනුකරණය කරලා නැහැ .බොහෝ විලාසිතාවන් කිහිපයක්  බලල මම මට  ගැළපෙන විලාසිතාවන් කර ගන්න වෙලාවල් තියෙනවා.

පුංචි කාලෙදි විලාසිතා කරපු විදිය මතකයේ තියෙන්නෙ කොයි විදිහට ද ?

අදටත් හරිම ආදරණීය මතකයක් තියෙන්නේ පෙර පාසල්  අවධිය ....අම්මත් ඒ අවධියේදී පෙර පාසල් ගුරුවරියක්....දිනක් මාව පෙර පාසලේ උත්සවයකට ජපන් දැරිවියක් විදියට කිමෝනාවක් අන්දලා හැඩ කළා ලස්සනම ලස්සන ට එදා මම හිටිය... හැමෝම මට එදා ”‍ ජපන් බෝනික්කියක් ”‍ කියලා කියන්න ගත්තා ....

විලාසිතා කරන්න ගිහින් පුංචි පුංචි අකරතැබ්බ හෙම වෙලා නැද්ද?

කටු ගැලවෙන  ඒවා, සපත්තු අඩි ගැලවෙන  ඒවා නං ඉඳහිට වෙලා තියෙනවා.  යන බොහෝ උත්සව අවස්ථාවලදී නිතරම වගෙ කාන්තාවන් ගේ සපත්තු අඩි ගැල වෙනවා දැකලා තියෙන නිසාම මම විශේෂ අවස්ථාවකට හයි හීල්ස් දාන හැම වෙලාවකදිම වාගේ මගේ ලස්සන හෑන්ඞ් බෑග් එක ඇතුළේ සුපර් ග්ලූ එකක් දාගෙන යන්න අමතක කරන්නේ නැහැ.... දවසක් එහෙම අරගෙන ගිහිල්ලා මගේ ළගම හිතවතියකට සපත්තු අඩිය ගැලවිච්ච වෙලාවේ උපකාර කරන්න ලැබුණා . එයා ඒ වෙලාවේ කීයටවත් හිතාගෙන ඉඳලා නෑ මගේ ගාව එයාගෙ සපත්තුව අලවා ගන්න ගම් එකක් තියෙයි කියලා.

අසුන්තා එදිරිසූරිය