සිතාරය, වයලීනය හුරු මට හැගීම් ගයන්න කියා දුන්නේ මාමා
මීට දශකයකට හමාරකට කලින් මුලින්ම ඇසුණු මේ මියුරු ගීතයට භාවකම්පිත හඬක් මුසු කර තිබුණේ, ගායන ශිල්පි කරුණාරත්න දිවුල්ගනේ ය. ප්‍රචීණ ගීත රචිකා යමුනා මාලිනී පෙරේරා ලියූ මේ ගීතය එදා රසිකයෝ අප්‍රමාණ ආදරයෙන් වැළඳ ගත්තෝය. ‘නිල් දියවර’ ඒක පුද්ගල ගී ප්‍රසංගයේදී පමණක් නොව වෙනත් අවශේෂ ප්‍රසංගයකදී වුවත් දිවුල්ගනේ ‘රෝස තොල්’ සිඹින්නේමය. එකී රෝස තොල් අද ඇහෙන්නේ ලයාන්විත ගැහැනු කටහඬකිනි. වෙනස්ම ශෛලියක සුමියුරු වාදනයක් ද සමග ගැයෙන මේ නව නිර්මාණය ගයන්නී, අයේෂා දිසානායක නමැති තරුණ ශිල්පිනියයි.
රෝස තොල් සිඹිම්
තොල් මත කඳුළු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත්
ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට
ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ සිත
පාරවයි රිදෙයි...
ස්වතන්ත්‍ර ගී කිහිපයකට ද හිමිකම් කියන ඇය, ඇගේ තොරතුරුත් රැගෙන සඳැල්ලට ගොඩ වූවාය.
“මම කිරිබත්ගොඩ විහාර මහා දේවි විද්‍යාලයේ ටීචර් කෙනෙක්. සංගීතයයි ඉංග්‍රීසියි විෂයයන් දෙකම උගන්වන්නේ මම.”
ඇය තමන් හඳුන්වා දුන්නේ එසේය.
‘එතකොට ඉගෙන ගත්තෙ? සංගීතයට ඇල්මක් ඇති වුණේ පාසලේදීම ද?’
මම ඇගෙන් ප්‍රශ්න දෙකක්ම විමසුවෙමි. හැබැයි, ඒ ප්‍රශ්න දෙකම එකම ප්‍රශ්නයක කොටස් දෙකක් වැන්න.
“මගේ ගම කුරුණෑගල දිවුල්ගනේ. ඉතින් මම මුලින්ම ගියේ දිවුල්ගනේ ගමට කිට්ටුවෙන්ම තියෙන මාකේගමුව ශ්‍රී සුමංගල මහා විද්‍යාලයට. පස්සේ උසස් පෙළ ඉගෙන ගන්න ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකට ගියා. ඇත්තටම ඒ කාලෙම තමා ගායනා තරගවලට ඉදිරිපත් වුණේ. එක් ගායන තරගයකින් මම සමස්ත ලංකා මට්ටමත් ජය ගත්තා.”
එකල රජරට සේවයට සම්බන්ධ වීමට ද අයේෂාට අවස්ථාව උදා විණි. ඒ ඔස්සේ ගයන්නටත්, ගායන හැකියාව ඔපමට්ටම් කරගැනීමටත් ඇයට වාසනාව ලැබිණි.
“එක දවසක් මම ජාතික රූපවාහිනියේ සංගීත වැඩසටහනකට සහභාගි වුණා. ඊට පස්සේ මට හිතුණා ගුවන්විදුලියේ කටහඬ පරීක්ෂණයට සහභාගි වෙලා ගායිකාවක විදිහට ශ්‍රේණිගත වෙන්න ඕනෑ කියලා. ඉතින් මම ඉල්ලුම් කළාම මට ඔඩිෂන් එකට දවසයි වෙලාවයි ලැබුණා. ඉතින් මම කලින් දවසෙ මාමලාගේ ගෙදර ගිහින් නතර වුණා. එදා මාමා ඇහුවා මොකටද කොළඹ ආවේ කියලා. මම කිව්වා ගුවන්විදුලියේ ඔඩිෂන් එකට කියලා. මාමා බොහොම සන්තෝෂෙන් හිනා වෙලා සර්පිනාව ගෙනත් මගේ ඉස්සරහින් තිබ්බා, ‘ඔයා ඔඩිෂන් ගිහින් කියන ගීතය ගායනා කරන්න මටත් බලන්න කියලා’ මාමා කිව්වා.
මම කියන්න හිතාගෙන හිටියේ සුජාතා අත්තනායක මහත්මිය ගයපු ගීතයක්. ඉතින් මම ඒ ගීතය ගායනා කළා. මාමාගේ කට ඇද වුණා. ‘ඔහොම නෙවෙයි අපි ගායනා කරන්න ඕනෑ දුවේ හැඟීම්. ඔයා හැඟීම් ගායනා කරන්නේ නෑ’ කියලා මාමා මට හැඟීම් ගායනා කරන හැටි කියා දුන්නා. පහුවෙනිදා ඔඩිෂන් ගියාම මට ලැබුණෙ ‘ඒ’ ශ්‍රේණිය. මම එදා ‘ඒ’ත් අරගෙන ගෙදර ගියේ බොහොම සතුටින්.” අයේෂා මේ පැවැසුවේ, 2020 වසරේ සිදුවීමකි.
‘මාමා සතුටු වුණා ද ඉතින් ඔයා ‘ඒ’ ශ්‍රේණියේ ගායිකාවක වුණා කියලා?’ මම ඇසීමි.
“නැහැ. මම මාමාට ඒ විස්තර මුකුත් කියන්න ගියේ නෑ. එදා මට ඒ ශ්‍රේණිය ලැබුණේ කියලා මාමා දැනගත්තෙ මෑතක. හැබැයි එදා මාමා බොහොම සතුටු වුණා. මාමා තමා මට කිව්වෙ මගේම ගීතයක් දෙකක් ගායනා කරන්න කියලා. පස්සෙ මාමා ළඟ තිබුණු, ඒත් මාමා නොකියපු ගීතයක් මට දුන්නා. ඒ, දළදා හාමුදුරුවො ගැන ලියැවුණු ගීතයක්.”
තුන් හෙලේ පින් පුරා
පින් කෙතට සම වන්
රන් බිමෙහි රන් කිරුළ
හැමදාම රැක දුන්
සංසාර ගිම් නිවන
දිවමාන මුනිඳුන්
වන්දාමි ශ්‍රී දන්ත දා සමිඳු
බැතියෙන්....
“ඉන් පස්සේ මාමා මට තවත් ගීතයක් දුන්නා.”
නිල් සලරුවේ රඟන
මායම් කුමරිය මම
නාඩගම් පොළේ
ගමේ රඟ බිමේ
වැරදී එදා දුන්න
මට ඒ කඩුව දෙන්න
වැදි රජතුමනි නාටකේ...
“මේ ගීත දෙකටම මට හොඳ ප්‍රතිචාර ලැබුණා.”
අයේෂා දිසානායක සරසවියේදී ඉගෙන ගත්තේ ගායනය නොවේ, වාදනයයි. සිතාරය මෙන්ම වයලීනය ද ඇගේ ඇඟිලි තුඩුවලට හොඳින් හුරුය.
“මම 2021 අවුරුද්දේ සිහිනයකි රෑ වැඩසටහනට ගීත ගායනා කළා. එදා ගී තේරුවේ මහින්ද චන්ද්‍රසේකර මාමා. මම එදා ගීත ගායනා කළත් ඒ ගීත ගායනය ගැන මගේ මාමා තෘප්තිමත් වුණේ නැහැ. මාමා කිව්වා ගීත ගායනා කරද්දී හැඟීම් මතු වෙන්න ඕනෑයි කියලා. පස්සෙ මාමා මට හැඟීම් ගායනා කරන හැටි කියා දුන්නා.”
අයේෂා ‘රෝස තොල් සිඹිම්’ සහ ‘ගජමන් නෝනා’ කවර්ස් ගයන්නේ ඉන් පසුවය. එහෙමත් නැත්නම් හැඟීම් ගයන්නට ඉගෙනගත් පසුවය.
එම ගීත දෙකේම සංගීත නිර්මාණවල වෙනස්ම හැඩයක් තිබේ. හැබැයි ඒ කවර්ස් මුල් නිර්මාණවලට වඩා හොඳ යැයි කියන්නට මම ඉක්මන් නොවෙමි. මන්දයත්, මුල් නිර්මාණය වෙනස් හැඩයක් ද කවර්ස් වෙනස් හැඩයක් ද ගන්නා නිසාය. කෙසේ වෙතත් මේ කවර්ස් ගීත දෙක අයේෂාගේ නිර්මාණ ජීවිතයට ආලෝකයක් සපයන බව මගේ අදහසයි.
ඔබ ආයමෙත් ඇවිදින් ගියා
මා නෙතු වසා කඳුළක් තියා
ගිම්හානයේ පරවුණු කුසුම්
මා ළඟ තවත් මතකේ තියා
ඔබ ආයෙමත් ඇවිදින් ගියා...
කවර්ස් කළත් ඇය ස්වතන්ත්‍ර නිර්මාණ ද අලුතින් කරන්නට අමතක නොකරයි.
“තාම මගේම සිංදු තියෙන්නේ හයයි. ඉදිරියේදී තවත් හොඳ ලස්සන ගීත ටිකක් ගයන්නයි හිතාගෙන ඉන්නේ.” අයේෂා සමුගන්නට කලියෙන් කීවාය.
‘කවුද ඔයාගෙ මාමා කියලත් කියලම යන්න.’ මම ඇයට කීමි.
“කරුණාරත්න දිවුල්ගනේ. ඒ මගේ අම්මගෙ අයියා.”
ශාන්ත කුමාර විතාන