සතුට නැතුව මොනවත් කරන්න බැහැ - තාම හොල්මනක් දැක්කෙ නැහැ
සිරස Stein Films (ස්ටයන් ෆිල්ම්ස්) වෙනුවෙන් අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ Happy Birthday (හැපි බර්ත්ඩේ) චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. මෙහි අම්මා ගේ චරිතයට දායක වූ ප්‍රවීණ රංග ශිල්පිනී දිල්හානි අශෝකමාලා සමග අපි පිළිසඳරකට එක්වෙමු.
හැපි කියන වචනය මේ මොහොතේ ලංකාවේ අපි හැමෝටම නැති වුණත් හැපි බර්ත්ඩේ කියන දේ කාට කාටත් සමරන්නට බැරි මොහොතක අපි දිල් ගෙන් මේ හැපි බර්ත්ඩේ ෆිල්ම් එක ගැන දැන ගන්න කැමතියි.
ඔව්, ඇත්තටම හැපි කියන්නෙ මේ වෙලාවේ කාගෙන්වත් අහන්න පුළුවන් තරම් වචනයක් නෙවෙයි. ඒක තහනම්. ඒ නිසා අපි මේ චිත්‍රපටය ගැන කතා කරමු. මේ චිත්‍රපටය කළේ මීට අවුරුදු දෙකකට විතර පෙරදියි. කෝවිඩ් ආරම්භ වෙලා දෙවැනි රැල්ල තිබියදී වගේ රූ ගත කෙරුණා. ඉතාම සීමිත දින ගණනකදී එනම් සති දෙකකට වඩා අඩු කාලයකදී රූගත කිරීම් නිම කළ චිත්‍රපටයක්. එක් රැයක කතාන්දරයක්. අම්මෙක් සහ දුවලා දෙන්නෙක් මුහුණ දෙන සිදුවීමක් වටා ත්‍රාසය තේමා කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක්. සමහර විට මේ නිර්මාණය සිරස කරන්න ඇත්තේ යම්කිසි අත්හදා බැලීමකට වෙන්න ඇති. ඒ මොහොතේ පැවැති සියලුම බාධක ජයගෙන නිර්මාණය කළ චිත්‍රපටයක්. චිත්‍රපටයේ රූගත කිරීම්වලට දායක වෙලා මම ගෙදර ආවා. අනෙක් අය ලොක් ඩවුන් එකට අහුවුණා. ඒ වගේ ඉතාම දුෂ්කර කාලයක නිර්මාණය කළ චිත්‍රපටයක්. මෙය දැන් තිරගත වෙනවා. එහි සමාරම්භක දර්ශනය නැරඹීමටත් මම ගියා. එතැනින් පස්සේ නම් අපේ සිනමාව ගැන හොයන්න මට බැරි වුණා. මොකද දැන් අපි ඔක්කොම සිටින්නේ මුළු රටම පීඩාවකට පත්වූ මොහොතක නෙ. මේ මොහොතෙ මගේ ඔළුවෙ තියෙන්නේ සිනමාව නෙවෙයි.
හැපි බර්ත්ඩේ කතාව ගැන තව ටිකක් විස්තර කළොත්?
සල්ලි යහමින් තියෙන පවුලක දේපළ උරුමයක් ගැන තේමා කරගෙන ගලා යන කතාවක්. එක් රැයකදි තමයි සියලු සිදුවීම්වලට මුහුණ දෙන්නෙ. අම්මයි දියණියන් දෙදෙනෙකුයි කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව එයින් බේරෙන්න උත්සාහ ගන්න ප්රයත්නයක් අන්තිමට මේ මව සහ වීර දියණියන් දෙදෙනා හට ඒ අභියෝගය ජයගතහැකිද කියා හැපි බර්ත්ඩේ නරඹා ඔබට දැනගන්න පුළුවනි. මේක භීතිය, ත්‍රාසය සහ කුතුහලය මුසුවූ චිත්‍රපටයක්. මේකේ මගේ චරිතය සුපුරුදු වීර මවක්.
මේ චිත්‍රපටය නරඹන අයගෙන් දිල්ට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
මේ කාලය මම හිතන්නෙ ඒකට ඉඩ දීලා නැහැ. මේ පවතින වාතාවරණය එක්ක.
හැපි බර්ත්ඩේ රූගත කරද්දි මුහුණ දුන් විශේෂ සිදුවීම් ගැන මතකය කොහොමද?
විශේෂ සිදුවීම් නම් නැහැ. කෝවිඩ් උත්සන්නව තිබූ සමයේ දී රූගත කිරීම් කළ නිසා ඒ දුෂ්කරතාවයේ මතකය තමයි තියෙන්නේ. විශේෂත්වයක් ලෙස කිව්වොත් මේ චිත්‍රපටයෙ රූගත කිරීම් කළේ රාත්‍රී කාලයේදී විතරයි. ඒ නිසා අපි හැමදාම ෂූටිං ගියේ හවසට. හවසට දර්ශන තලයට (ලොකේෂන්) ගිහින් චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වෙලා පහුවදා උදේට තමයි ගෙවල්වලට ගියේ. උදේට නිදාගෙන ආපහු හවසට ෂූටිංවලට ගියා. ඒක අපි හැමෝටම තවත් අලුත් අත්දැකීමක් වුණේ රූගත කිරීම් සිදුකළ මුළු කාලයේදීම නයිට් ෂූටිං කළ නිසයි. රෑට වැඩ කරලා උදේට නිදා ගන්න පුරුදු වෙන්න සිදුවුණා.
මේ චිත්‍රපටය ත්‍රාසය සහ භීතිය මෙන්ම හොල්මන් වගේ තේමාවක් රැගත් චිත්‍රපටයක්. සැබෑ ජීවිතයේ දී අවතාර හොල්මන්වලට දිල් මුහුණදීලා තියෙනවද?
මම හරියට උත්සාහ කරනවා හොල්මන් දකින්න. ඒත් තවම දැක්කේ නැහැ. ජීවිතය ගැන හරි අවබෝධයක් තියෙන අයට හොල්මන් අවතාර කියන්නෙ ප්‍රශ්න නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. පෙරේතයෝ, කුම්භාණ්ඩයින් ගැන බෞද්ධ දර්ශනය පවා කියලා තියෙනවා. ඒත් අපට ඒවා පේන්නෙ නැහැ. ඒවා පෙනෙන්නෙ මනස දුර්වල අයට සහ පව්කාරයින්ට විතරක් වෙන්න ඇති.
දිල් මේ දිනවල ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබෙන්නෙ මේ චරිතයෙන් විතරද?
විකාශය වන කළම්බු නාට්‍යයෙත් රඟපානවා. තව ඉදිරියේ දී වැඩ කීපයකින් මාව දැකගන්න පුළුවන් වේවි. කළම්බු නාට්‍යයේ රඟපාන්නෙ පාතාලයකුගෙ බිරිඳක ලෙසයි.
කොහොමද මේ දිනවල දිල්ගෙ ජීවිතය?
මගේ ජීවිතය නම් මේ දිනවල ගෙවෙන්නෙ රට වෙනුවෙන්.
ඒ ගැන තව ටිකක් පැහැදිලි කළොත්?
මම හිතන්නෙ මගේ ජීවිතය කියලා කිව්වාම, මම විතරක් නෙවෙයි අපි ඔක්කොම එකතුවෙලා රට ආරක්ෂා කර ගන්න ඕනෑ. ඔක්කොටම වඩා අපට අපේ රට සහ රටේ අනාගතය ගැන හිතන්න වෙනවා. මගේ ජීවිතයේ පළවැනි වතාවට තමයි මේ අවුරුද්දේ කිරි ඉතිරෙව්වෙ නැති අලුත් ඇඳුම් ඇන්දෙ නැති අවුරුද්ද. බොහෝ දෙනෙක් එහෙම තමයි ගෙව්වේ. ඇයි අපි එහෙම කළේ? කරන්නේ නැහැ කියනවාට වඩා රටේ තත්ත්වය එක්ක ඒවා කෙරුණෙ නැහැ. මොන දේ කරන්නත් මිනිසුන්ට සතුට තියෙන්න එපායැ. සතුට නැතිව මොනවත් කරන්න බැහැ.
අපේ රටේ සමහර කලාකරුවන් රට හැර ගිහින්. මේ වන විටත්. දිල්ට එහෙම හිතුණේ නැද්ද?
කවදාවත්ම මට එහෙම හිතිලා නැහැ. කලාකරුවද නැත්නම් වෙන කෙනෙක්ද කියන ප්රශ්නය නෙවෙයි. තමන්ගෙ රටට ආදරය කරන මිනිස්සු අවශ්‍යයි. තමන් ගැන අමතක කරලා රටට ආදරය කරන තත්ත්වයට අපි පත්විය යුතුය කියලයි මම හිතන්නේ. බෙල්ල ගහල ගියත් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින පාලකයන් රටට අවශ්‍යයයි.
හැපි නැති අවස්ථාවක් වුණත් ආයෙත් අපි හැපි බර්ත්ඩේ ෆිල්ම් එක ගැන කතා කරමු. මේ විදියට හැබි බර්ත්ඩේ ෆිල්ම් එකේ රඟපාන දිල්හානිගෙ ගෙවී ගිය ජීවිතයේ විශේෂ වූ බර්ත්ඩේ එකක් තියෙනවද?
විශේෂයෙන් කියලා මම උපන් දිනය සමරලා නැහැ. ඔය බොහොම සාමාන්‍ය විදියට ගෙදර අය එක්ක කෑමක් හදාගෙන කාපු අවස්ථා තමයි තියෙන්නේ.
ලොකු වියදමක් දරලා කෙනෙක් උපන් දිනයක් සැමරීම ඔබ දකින්නේ මොන විදියටද?
බර්ත්ඩේ එකකට හෝ එවැනි ඕනෑම දෙයකට මුදල් යෙදවීම අනවශ්‍ය දෙයක් හැටියටයි මම පුද්ගලිකව දකින්නෙ. ‘තමන්ට තියෙන විදියට ජීවත් වෙන්න. ණය වෙන්න බය වෙන්න’ මගේ තේමාව එයයි. ජීවිතේ අපි ජීවත් වෙන්නට ඕනෑ තමන්ට තියෙන විදියටයි. එතකොට අපට හරි ලෙහෙසියි. ඒ වගේම පරිසරය ගැන අවධානයෙන් සිටීම වැදගත්. පායන කාලයට සතෙකුට වතුර ටිකක් දීමට පුළුවන් නම් ඒකත් ලොකු පිනක්. ඒ විදියට සෑම තත්පරයක්ම හරි විදියට ජීවත්වන මිනිසකුට උපන්දින, ඇනිවසරි දින, ආදර දින, ළමා දින, ෆාදර්ස් ඩේ, මදර්ස් ඩේ කියලා විශේෂ දින අවශ්‍ය නැහැ. හරි විදියට ජීවත් වෙන්න පුරුදු වුණාම අපට ගෙවන සෑම දිනයක්ම විශේෂ දිනයක් වේවි.
සඳුන් ගමගේ