ස්ටේජ් කිංග් එක්ක වැඩ කරන්න ලැබුණ එක සතුටක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කණ්ඩායම් සංගීතය හරහා සංගීත ක්ෂේත්‍රයට පැමිණි සඳුන් ලක්ෂාන් වර්තමානයේ අපි දකින දක්ෂ ඔක්ටපැඩ් වාදන ශිල්පින් ගෙන් කෙනෙකි. වාදන ශිල්පියෙකු ලෙස සංගීත ක්ෂේත්‍රය තුළ නිතරම අලුත් දෙයක් කරන්නට උත්සාහ දරණ තරුණයෙකුද වන සඳුන් සංගීතය ක්ෂේත්‍රය තුළ තමන් ආ ගමන ගැන අපට කිව්වේ මේ විදිහටයි.

වාදන ශිල්පියෙක් විදිහට වැඩ කරන්න ගත්තේ කොයි කාලේද ඔබ..

ඔක්ටපැඩ් වාදන කරන්න ගත්තේ නම් මම අ.පො.ස  උසස් පෙළ ලියන කාලේ ඉඳලා.  හැබැයි මගේ හැකියාවන් දියුණු වුණේ ගමේ තිබුණ සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණාට පස්සේ. ඒ අවස්ථාව මට ලබා දුන්නේ මගේ හිතවත් අයියා කෙනෙක්. ගමේ තිබුණ ඒ සංගීත කණ්ඩායමට පස්සේ මම තවත් සංගීත කණ්ඩායම් කිහිපයක වැඩ කළා.

දැන් ඔබ ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් සමග වැඩ කරනවා..

ගමේ සංගීත කණ්ඩායම්වලට සම්බන්ධ වුණාට පස්සේ මම කාලයක් වාදන කටයුතුවලින් ඉවත් වුණා පෞද්ගලික හේතුවක් මත. ඉවත් වෙලා ඉන්න අතරතුර තමා මට ස්ටේජ් කිංග් සංගීත කණ්ඩායම සමග එකතු වෙන්න අවස්ථාව ලැබුණේ. හැබැයි ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් සමග වැඩ කරන්න තරම් මට ලොකු සංගීත හැකියාවක් වගේම අත්දැකිමක් තිබුණේ නැහැ. මගේ තාත්තා මට අවශ්‍යය කරන ඒ වටපිටාව හදලා දුන්නා. ඔහුගේ අතදීම හරහා අද මම මේ වගේ ලොකු තැනකට ඇවිල්ලා තියෙනවා.

වාදන ශිල්පියෙක් විදිහට වැඩ කරන්න ඔබට හීනයක් තිබුණාද...

ඇත්තටම නැහැ. මොකද, මම ඔක්ටපැඩ් වාදන ශිල්පියෙක් වුණේ අහම්බෙන්. මගේ මිතුරෙක් ගමේ තිබුණ සංගීත කණ්ඩායමක් කළා. ඔහුව නිතරම මුණ ගැහෙන්න යන කොට ඔහු ඇතුළු පිරිස සංගීත පුහුණුවිම්වලට එකතු වෙලා ඉන්නවා දකිනවා. එතකොට තමා මටත් ආස හිතුණේ සංගීත කණ්ඩායමකට එකතු වෙන්න ඕනා කියලා. ඉතින් මම තෝර ගත්තේ ඔක්ටපැඩ් වාදනය කරන්න. කාලයක් පුහුණුවිම් කරන කොට මට හිතුණා ඒ වාදන හැකියාව මගේ ඇඟේ තියෙනවා කියලා.

ස්ටේජ් කිංග් එක්ක වැඩ කරන්න අරගෙන දැන් කොච්චර කල්ද..

මාස අටක් විතර වෙනවා. ඔවුන් සමග ගොඩක් ප්‍රසංගවලට මම සහභාගි වෙලා තියෙනවා. ස්ටේජ් කිංග් කියන්නේ දැන් ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක්. ඒ වගේම අත්දැකිම් ඇති වාදන ශිල්පියෝ රැසක් මේ කණ්ඩායමේ ඉන්නවා. ඉතින් ඔවුන් එක්ක මම වගේ නවකයෙක්ට වැඩ කරන්න ලැබීම ගොඩක් සතුටුයි.

කණ්ඩායම් සංගීතයත් එක්ක දිගටම වැඩ කරන්නද ඔබේ අදහස..

දැනට මම රැකියාවක් කරනවා. ඒ අතරතුර තමා වාදකයෙක් විදිහට ප්‍රසංගවලට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. තවමත් මම වාදන ශිල්පියෙක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙලා නැහැ. මොකද, ප්‍රසංග වේදිකාවට මම තවමත් අලුත් කෙනෙක් හින්දා. ඒ වගේම කෙටි කාලයක් තුළදී මම මේ ආපු ගමන ගැන ගොඩක්ම සතුටු වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ තාත්තාව. මම මේ ක්ෂේත්‍රය තුළ ගමනක් ආවා නම් ඒ ආවේ මගේ තාත්තාගේ උදව්වෙන් තමා. ඊට අමතරව මාව මුලින්ම සංගීත කණ්ඩායමකට සම්බන්ධ කරගත්තු මධුරංග අයියාවත් ස්ටේජ් කිංග් සංගීත කණ්ඩායම මෙහෙය වන දර්ශන සුගත් අයියවත් මතක් කරනවා.

බුද්ධික සේනාධීර