සජීව මල්මාලආරච්චි කියන රස කතා
වේදිකාව ටෙලි නාට්‍ය සිනමාව යන මාධ්‍යයන් තුනම ජය ගැනීමට රංගන ශිල්පියෙකුට හැකි නම් ඔහු සැබෑම දක්ෂයකි. සජීව මල්මාලආරච්චි යනු එවැනි වාසනාවකට උරුමකම් කියූ නළුවෙකි. මේ සජීව මුහුණ දුන් කලා ලොවේ රස කතා කිහිපයකි.
පිංකැටේට පඬුරු දාලා බස් එකට සල්ලි නැහැ
මේ මට වෙච්ච අකරතැබ්බයක් 1996 දී මගේ මායා දොරටුව නාට්‍ය යෞවන සම්මාන උළෙලේ අවසාන වටයට තේරුණා. මහරගම ජාතික තරුණ සේවා සභාවේ තමයි නාට්‍ය පෙන්නන්න තිබුණේ. නාට්‍ය පෙන්නන දවසේ නාට්‍යයට අවශ්‍ය කරන අඩුම කුඩුම ටිකක් ගන්න තිබුණ නිසා මං නාට්‍ය කණ්ඩායම සෙට් එක එක්ක තරුණ සේවා සභාවට පත් කරලා මං නුගේගොඩට ගියා. නුගේගොඩට ගිහින් බඩු ටික අරගෙන ආපහු එන්න පිටත් වුණා විතරයි මගේ බයික් එක කැඩුණා. නාට්‍යය පෙන්නන්න වෙලාවට යන්න ඕන නිසා මං එතනම දමයන්ති ෆොන්සේකා කරපු කමිනිකේෂන් එකක් තිබුණා. එතන බයික් එක දාලා රුපියල් 2000කුත් අරගෙන තව බඩු ටිකක් අරගෙන 119 මහරගම බස් එකට නැග්ගේ 12.30 වෙන කොටත් නාට්‍ය පෙන්නන්න හෝල් එකට යා යුතු නිසා මං බස් එකේ නැගලා ටිකක් දුර එනකොට බෙල්ලන්විල පංසල ගාවදී මට මතක් වුණා නාට්‍යයේ අවසාන වටය නිසා පංසලට ගිහිල්ලා බාරයක් එහෙම වෙලා නාට්‍ය පෙන්නන්න කියලා මට එක පාරටම අම්මා කියපු ඒ කතාව මතක් වුණා. මං දඩි බිඩි ගාලා බස් එකෙන් බැහැලා පංසලට ගිහින් වන්දනාමාන කළා. ඊට පස්සේ එන්න ලෑස්ති වෙලා අහුවෙන අහුවෙන හැම පින් කැටේටම මං ළඟ තිබුණු සල්ලි පඬුරු විදියට දැම්මා. ඊළඟට මං ආයේම මහරගම බස් එකට නැග්ගේ නාට්‍ය පෙන්නන්න තිබුණේ පොඩි වෙලාවක් නිසා. මං බස් එකට නැගලා ටික වෙලාවකින් කොන්දොස්තර මගේ ළඟට ආවම තමයි මට තරු පෙනුණේ මං ළඟ තිබුණු සල්ලි ඔක්කොම පඬුරු විදියට පිං කැටේට දාලා මං සාක්කු හැම එකක්ම අතගාලා බැලුවත් සත පහක්වත් තිබුණේ නැහැ. මං දඩිබිඩි ගාලා නැගිටලා කොන්දොස්තරට මට වෙච්ච අකරතැබ්බය කනට කරලා කිවුවා. එහෙම කිවුවා විතරයි. කොන්දොස්තර බස් එකටම ඇහෙන්න කියපු දෙයින් මට පොළොව පළාගෙන යන්න හිතුනා.
මේ මහත්තයා කකුල් දෙකටම ඇදගෙන බොරුවට සල්ලි නැහැ කියන්න එපා. බස් එකට සල්ලි නැත්තං කරුණාකරලා පව් නොදී බහින්න.
ඒ කතාව ඇහුවා විතරයි මං දෙපාරක් නොහිතා බස් එකෙන් බැස්සා. නාට්‍ය ගැන මතක් වෙලා ඇහැට කඳුළුත් ඉනුවා. පස්සේ මම පයින්ම මහරගමට එන්න පිටත් වුණා. කොහොම හරි පස්සෙන් ආපු බයික් එකක නැගලා හෝල් එකට එනකොට කට්ටිය තබ්බීර් වෙලා බලන් ඉන්නවා මං නැතුව.
බස් එකේ ගෝලයා රැලියට අරගෙන
සිසිල් ගුණසේකරගේ රැළිය කියන්නේ ඒ කාලේ උපරිම ජනප්‍රසාදය දිනාගත් නාට්‍යයක් රැළිය නාට්‍යයේ දර්ශනයක් ගාල්ලේ එක පාරක් සංවිධානය වෙලා තිබුණා.
නාට්‍ය කණ්ඩායමේ හැමෝම උදේ 7.00ට පිටත් වෙන්න තමයි කතා බහ කරගෙන තිබුණේ. කොහොම හරි මමයි ගිහාන් ප්‍රනාන්දුයි අසේල ජයකොඩි අපි තුන්දෙනා සිසිල්ට දැනුම් දුන්නා අපට උදේ පොඩි වැඩ ටිකක් තියෙනවා ඒ ටික කරගෙන අපි නාට්‍ය දර්ශනය තියෙන වෙලාවට ගාල්ලට එන්නම් කියලා කොහොම හරි අපේ වැඩ ටිකත් කරගෙන දවල් 11.30 ට විතර අපි ගාල්ලට එන්න බස් එකකට නැග්ගා. දැන් සීනිගම හරියට එනකොට තමයි අපේ බඩ බොක්කවල් රත්වෙන්න ගත්තේ. සීනිගම දේවාලයේ පෙරහර නිසා පාරවල් හොඳටම බ්ලොක් වෙලා. දැන් බස් හරි ඉබි ගමනින් ඇවිල්ලා හවස 3.45 විතර වෙනකොට ඒකෙන් බැහැලා නාට්‍ය ශාලාවට දුවනවා. අපි දුවන ගමිනුත් කතා වෙනවා අද නම් අධ්‍යක්ෂවරයාගෙන් ලොකු බැනුමක් තමයි අහන්න වෙන්නේ කියලා. කොහොම හරි නාට්‍ය ශාලාවට ළඟා වෙන කොට අපට පේනවා. සිසිල් ගුණසේකරයි නාට්‍ය සංවිධායකයෝ කීප දෙනෙකුගේ මිදුලට වෙලා සතුටු සාමිච්චියේ යෙදෙනවා. දැන් අපට හරි පුදුමයි. අපි හිතුවේ අපි එනකන් ඒ අය නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා ඇති කියලා. අපි ගියා කියලත් සිසිල් අපිව එච්චර ගණන් ගත්තු බවක් පෙනුනේ නැහැ. ආ.... ඔයාලා ආවද? එහෙනම් තාම කාලත් නැතුව ඇතිනේ. දැන් එහෙනම් ඇතුළට ගිහින් කාලා පොඩ්ඩක් රෙස්ට් කරන්නකෝ කියලා අපිට කිවුවා.
දැන් සිද්ධ වෙලා තියෙන දේ ගැන අපට පුදුමෙනුත් පුදුමයි. අපට ඇහෙනවා නාට්‍ය ප්‍රේක්ෂකාගාරයත් හයියෙන් හිනා වෙනවා. ඒ කියන්නේ නාට්‍ය පටන් අරගෙන අපි තේ පානාගාරයට යන්න හැරෙනවත් එක්කම සිසිල්ගෙන් නාට්‍ය සංවිධායකවරයෙක් අහනවා. දැන් එතකොට මේ අය රඟපාන්නේ නැද්ද? කියලා ඒකට සිසිල් ඇඟට පතට නොදැනී මෙහෙම උත්තර දෙනවා 3.30 සාමාන්‍යයෙන් කරන්නේ මගේ B ටීම් එකේ අය තමයි දැන් ඔය ආවේ. ඒ අයට තව වෙලාව තියෙනවා කියලා. බලනකොට වෙලා තියෙන්නේ මේකයි. අපි පරක්කු නිසා බලාගෙන ඉන්න බැරිම තැන බස් එකේ ගෝලයයි. තව ෂෙට් එක හදන්න ඉදපු කීප දෙනෙකුයි නාට්‍යයට අරගෙන තමයි නාට්‍ය ගොඩදාගෙන තියෙන්නේ.
අමිල චින්තක ගමගේ