සංගීතය පැත්තෙන් ඉස්සරහින් හිටියත් රංගනය පැත්තෙන් කිසිම දේකට සම්බන්ධයක් තිබුණේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නොනිම්... සෝලෝ ටවුන් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණේ කොහොමද?

සෝලෝ ටවුන් බෑන්ඩ් එක චතුරංගන ද සිල්වා සහ උදිත කුරේ කියන අයියලා තමයි මුලින්ම හැදුවේ. ඒ මීට අවුරුදු දෙකහමාරකට පමණ පෙරයි. චතුරංගන අයියයි උදිත අයියයි සෝලෝ ටවුන් බෑන්ඩ් එකේ සාමාජිකයන් හතරදෙනා සම්මුඛ පරීක්ෂණයක් තියලා තෝරා ගත්තා. ඊට පස්සේ අපි හතරදෙනා බෑන්ඩ් එකක් විදියට සෝලෝ ටවුන් එකට සම්බන්ධ වුණා. මුල්ම දවසේ මේක මේ තරම් ලොකු ව්‍යාපෘතියක් කියලා දැනගෙන හිටියේ නැහැ. මුලින්ම සෝලෝ ටවුන් රූපවාහිනි නාට්‍ය මාලාවක් කරන අදහසක් තමයි තිබුණේ. ඒ හැමදේම නිසාම මුලින් පොඩි බයක් තිබුණා. ඊට පස්සේ අපි මේ වෙනුවෙන් ලොකු පුහුණුවීමක් කළා.

සෝලෝ ටවුන් එකට සම්බන්ධ වෙද්දිත් නොනිම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නේද?

ඔව්... මම ඉගෙන ගත්තෙ වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහලෙයි. උසස් පෙළට මම සංගීතය හැදෑරුවා. උසස් පෙළ සමත්වෙලා මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. දැන් මම විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබනවා. මේ නිර්මාණයට සම්බන්ධ වෙද්දිත් මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්.

ඔයාගේ පුංචි කාලේ හීනය වුණෙත් සංගීතයමද?

ඔව්... මගේ අම්මයි තාත්තයි දෙන්නම සේවය කරන්නෙ ගුවන් හමුදා සංගීත කණ්ඩායමෙයි. ඒ නිසාම පුංචි කාලේ ඉඳන්ම ගෙදරදිත් ඇහුණෙ සංගීතයයි. මට නංගි කෙනෙක් ඉන්නවා. එයත් සංගීතය කරනවා. පොඩි කාලේ ඉඳන්ම සංගීතය ඇහුණු නිසාත්, අම්මයි තාත්තයි දෙන්නම සංගීතය කනට දාපු නිසාත් සංගීතයට මම ආසා කළා. ටිකෙන් ටික මම ලොකු වෙද්දි මේ විෂය ගැන මට තිබුණු ඇල්ම වැඩි වුණා. ඊට පස්සෙ තමයි සංගීතය විෂයක් විදියට උසස් පෙළ දක්වාත් විශ්වවිද්‍යාලය දක්වාත් ඉගෙන ගත්තෙ. මට බටනලාව, ගිටාරය වාදනය කරන්න පුළුවන්. මේ වනවිට මම තාත්තා එක්ක එකතු වෙලා බටහිර සංගීතය ඉගැන්වීම් කටයුතුවල නිරත වෙනවා. මම කාලයක් රශ්මි සංගීතා ගුරුතුමිය යටතෙත් සංගීතය හැදෑරුවා.

විශ්වවිද්‍යාලයට යන අතරතුරේ සංගීත කණ්ඩායමකට සම්බන්ධ වීම ගැන දෙමව්පියන්ගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?

මුලින්ම අම්මයි තාත්තයි අකමැති වුණා. මගේ පැත්තෙන් මේ දේ මට සමබරව කරගෙන යන්න පුළුවන් බවත්, මේ දේ මට ඕනෑ බවත් මම දන්නවා. හැබැයි අම්මයි තාත්තයි “මුලින්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය කටයුතු කරලා අවසන් කරන්න”‍ කියලයි කිව්වෙ. කොහොම හරි මම ඒ දෙන්නට මේ ගැන තේරුම් කරලා දුන්නා. දැන් නම් මගේ අම්මයි තාත්තයි නංගියි මගේ මේ වැඩ කටයුතුවලට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

සංගීත කණ්ඩායමේ අනිත් සාමාජිකයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

සෝලෝ ටවුන් කණ්ඩායමේ බාලම සාමාජිකයා මමයි. අනිත් අයියලා තුන්දෙනාගෙන් ලැබෙන සහයෝගය මාරයි. යුලාන් අයියා තමයි කණ්ඩායමේ නර්තනයට ලොකු හැකියාවක් තියෙන කෙනා. අපි අනික් තුන්දෙනා නර්තනයට ආධුනිකයි. ඒ නිසා මුල් කාලේ ඉඳන්ම අපි  ගොඩක් නර්තනය පුහුණුවීම් කළා. ගොඩක් මහන්සි වුණා. ඒ වගේම සුපුන් අබේසිංහ අයියාවත් ආදරයෙන් මතක් කරනවා. අපි සංගීත කණ්ඩායම හදපු මුල් කාලේ ඉඳන්ම අපිට නර්තනය ගැන බොහෝ දේවල් සුපුන් අයියා කියලා දුන්නා. ඒ වගේම සංගීත කණ්ඩායමේ ඉන්න හේෂාන් අයියා, සංජාන අයියා සංගීත කණ්ඩායම වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. අද වෙද්දි අපි හතරදෙනා අතරේ මාර බැඳීමක් තියෙනවා. ඒ බැඳීම සංගීත කණ්ඩායම ඉස්සරහට අරගෙන යන්න හොඳ ශක්තියක් වේවි.

රංගනය නොනිම් ආධුනික ඇති. සෝලෝ ටවුන් රංගනයේදී ලබපු අත්දැකීම් කොහොමද?

ඇත්තම කිව්වොත් මේකෙ රඟපාන්න තියෙනවා කියද්දි මම මුලින්ම බය වුණා. මම පාසලේදිවත් රංගනයට සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසා රංගනය කියන්නෙ වෙනමම විෂයක් කියලා මම දැනගෙන හිටියා. අපිට රංගනය සම්බන්ධව වැඩමුළු පැවැත්වුවා. ඒ ප්‍රසන්න මහගමගේ සර් යටතෙයි. ඔහු රංගනය පිළිබඳව අපිට බොහෝ දේවල් කියලා දුන්නා. රංගනය කියන්නේ මොකක්ද... තමන් නිදහස් වෙලා රංගනයට දායක වෙන්නේ කොහොමද... කියලා අපිට බොහෝ දේවල් කියලා දුන්නා. ඒ වගේම රවීන් අයියා, මිෂෙල් අක්කා, දුලීකා අක්කා ඇතුළු හැමෝම ආධුනික අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. අපේ ආයතනය වන “Stage Adventures” ආයතනයේ මුල් පුරුක් වන උදිත කුරේ, සෙව්වන්දි වීරසිංහ, චතුරංගන ද සිල්වා සහ ලොරෙන්සා නලිශානි යන අයගේ මඟපෙන්වීම ඔස්සෙ අපි සීමාරහිත දුරක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සජීවී ප්‍රසංග කරන්න සොලෝ ටවුන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. අපි හතරදෙනා ආධුනිකයි කියලා කොයිම මොහොතකවත් ඒ අය අපිව පීඩනයට පත් කළේ නැහැ. කොච්චර වැරදුණත් “හරි අපි ආයේ ගමු”‍ කියලා කිසිම බලපෑමක්, තරහවක් නොගෙන ආයෙත් අපිට නිදහසේ ඒ කොටස් රඟපාන්න උදව් කළා.

පාසලේදී නොනිම් මොන වගේ චරිතයක්ද?

පාසලේදී මම ටිකක් නිහඬ චරිතයක්. අධ්‍යාපන කටයුතුවලට අමතරව සංගීතය පැත්තට සම්බන්ධ වෙලා හිටියා. සංගීත තරගවලට සහභාගි වුණා. ඒවායින් ජයග්‍රහණය ලැබුවා. පාසල් රැස්වීම්වලදී සින්දු කිව්වා. සංගීතය පැත්තෙන් ඉස්සරහින් හිටියත් රංගනය පැත්තෙන් කිසිම දේකට සම්බන්ධයක් තිබුණේ නැහැ.

මුලින්ම සෝලෝ ටවුන් සිනමා පටය නරඹද්දි මොකද හිතුණේ?

මුලින්ම දකිද්දි ඇත්තටම “මේ මමද?” කියලා හිතුණු වෙලාවල් තිබුණා. මට මම ගැනම අහිංසක, නිහතමානී සතුටක් තියෙනවා. රංගනය ගැන කිසිම දෙයක් නොකරපු මාව සිනමා පටයකට දායක කරවපු චතුරංගන අයියාට ගොඩක් ස්තූති කරනවා. අපි වසර දෙකහමාරක් තිස්සෙ මහන්සි වෙලා කරපු වැඩක් මෙහෙම දකිද්දි මාරම සතුටුයි.

සෝලෝ ටවුන් සංගීත කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු කොහොමද?

මම අධ්‍යාපන කටයුතුයි සංගීත කණ්ඩායමේ කටයුතුයි සමබරව කරගෙන යන්න ආසයි. අපි තාම සෝලෝ ටවුන් වෙනුවෙන් අපි හතර දෙනාගෙන් වෙන්න ඕනෑ දේ අපි තාම හොයනවා. ඒ හැමදේම එක්ක සෝලෝ ටවුන් සංගීත කණ්ඩායමත් එක්ක හොඳ ගමනක් යන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?

මට වෙනස්ම විදිහේ කලාකරුවෙක් වෙන්න ආසයි. මම ගීත රචනා කරනවා. ඒවාත් එක්ක මගේ ගායනය, ඉදිරිපත් කිරීම අතින් වෙනස් විදිහේ චරිතයක් වෙන්න ආසයි. ඒ වෙනුවෙන් මම මහන්සි වෙනවා.

• දිශානි ජයමාලි