සෙක්ස් නිසා ලව් කරන අය තමයි බහුතරයක් ඉන්නේ - Kanchana Kaan
ආදරේ කියන දේ ඔයාට දැනෙන විදිය කියන්න. ආදරේට නිර්වචනයක් දෙන්න.?
ආදරය කියන්නේ උත්තරීතර හැඟීමක්. එය අපි එකිනෙකට දැනෙන විදිහ සාපේක්ෂයි. ඉතිං ආදරය දෙම්ව්පියන්ගෙන් ලබන්නත් පුළුවන්. ප්‍රේමවන්තයාගෙන් ලබන්නත් පුළුවන්. ඒ වගේම සමාජයෙන් ලබන්නත් පුළුවන්. නමුත් ආදරයට වඩා ප්‍රේමය ලබන්න පුළුවන් පෙම්වතා හෝ පෙම්වතියගෙන් පමණයි... ඒ නිසා ආදරණීය හැඟීම උත්තරීතර සීමාවෙන් එහාට ගියාම සැබෑ ප්‍රේමයක් හමුවෙනවා කියලා තමයි මට හැඟෙන්නේ.
ආදරය නිසා ජීවිතයට ලැබුණු ජයග්‍රහණ සහ වටිනාම දේවල් මොනවාද...?
ඇත්තටම අපි ආදරය නිසා තමයි ජීවිතය ජීවත් කරවන්නේ. අපිට උපතින්ම ආදරය උරුමයි. ඒ ආදරය නිසා අපිට ජීවිතය ලැබුණා වගේම ජීවිතය අවසන් වෙන තෙක්ම ආදරය අපට අත්‍යවශ්‍යයි. ඒ නිසා මට ආදරය නිසා ලැබුණු වටිනාම දේවල් බොහෝමයක් තියෙනවා. පාසලෙන් ලැබුණු ආදරය නිසා ඉගෙනීම සතුටින් කළා. රංගනයෙන් ලැබෙන ප්‍රේක්ෂක ආදරය නිසා ඒ රංගන කටයුතුවලත් සතුටින් නියැලෙනවා. ඒ වගේම ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන ආදරය නිසා මම හැමදාම අලුත් දේ ඉගෙන ගෙන හරි ගමනක් හෙමින් යනවා.
ආදර නිසා ජීවිතයට ලැබුණු රිදුම් අහිමිවීම් ඇති...?
ආදරය නිසා ලැබෙන රිදුම් අහිමිවීම් මතක් කරද්දී පවා ගොඩාක් හිතට දුක දැනෙනවා. අපි කවුරුත් කැමැති නැහැ අපිට ළඟින් ආදරය කරන කෙනෙක් අපෙන් ඈත් වෙනවට. අන්න ඒ වගේ අමිහිරි සිදුවීමක් මට කුඩා කාලයේම අත්විදින්න සිද්ධ වුණා. ඒ මගේ පියාගේ හදිස්සි වියෝව... අදටත් මට හිතෙනවා අනේ තාත්තා හිටියා නම් කියලා... ඒ ආදරය නොලැබීම හරිම වේදනාවක්.
ආදරය නිසා රිදෙන තැන් දරාගන්න හොඳම විදිය මොකක්ද...?
හොඳම විදිය කියලා එකක් නම් නැහැ. නමුත් තාවකාලිකව අමතක කිරීමක් කරන්න හිත හදා ගන්න දේවල් තමයි තියෙන්නේ. ඒ වෙලාවට පන්සලකට යන එක, පිං දහම් කරන එක තමයි මම නම් කරන්නේ.
සෙක්ස් හා ලව් අතර වෙනස ඔයා දකින්නේ කොහොමද..?
සෙක්ස් කියන්නේම මානවයාට උපතින්ම උරුම දෙයක්. අද සමාජයේ සෙක්ස් නිසා ලව් කරන අය තමයි බහුතරයක් ඉන්නේ. නමුත් එතන ලව් කියන බැඳීම මයාවක්. ඒ නිසා ලව් කියන්නේම උත්තරීතර හැඟීමක්. ඒ තුළින් සෙක්ස් කියන එක ලැබෙන තැන ජීවිතය සතුටින් ජීවත් කරවන්න පුළුවන්.
නිළියක් විදියට ලැබෙන ප්‍රේක්ෂක ආදරයේදී හුඟාක් සංවේදි හෝ දැනුණු තැන් එහෙමත් ඇති...?
ඔව් එහෙම සිදුවීම් තියෙනවා. අපේ රංගනය රූපවාහිනියෙන් දැකලා සමහර දුර පලාත්වල රසිකයෝ අපිට හිතින් ආදරය කරනවා. අන්න එහෙම සිදුවීමක් මට මතකයි. අහිංසක තරුණයෙක් මගේ දුරකථන අංකය හොයාගෙන මට නිතරම කතා කළා. නමුත් ඔහු මගේ රසිකයෙක් නිසා මමත් ඔහු දුරකථන ඇමතුමක් දුන්නොත් වැඩක් නැතිනම් ඒකට උත්තර දෙන්න කතා කරනවා. ඉතින් ඒ තරුණයා මට ප්‍රේක්ෂකයෙක් පමණයි. නමුත් දවසක් ඔහු මට ආදරය ප්‍රකාශ කළා. සමහරවිට ඔහු හිතන්න ඇති මම හොඳින් කතා කරන කොට ඔහුට ආදරය නිසා කතා කරනවා කියලා. අන්න එහෙම වැරදි වැටහීම් ඇති වෙන අවස්ථා නැතුවාම නෙවෙයි.....
ආයෙත් බලන්නට ආසා හිතුණු ආදරණීය චිත්‍රපටයක් තියෙනවද....?
මම චිත්‍රපට ගොඩාක් බලනවා. ලංකාවේ චිත්‍රපට වලින් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති චිත්‍රපට දෙකක් තියෙනවා. ඒ කොළඹ සන්නිය හා සිකුරු හතේ. ඒ චිත්‍රපට ආයේ ආයේ බැලුවත් බලන්න අාසයි.
ආයෙ ආයෙත් අහන නිතරම අහන්න කැමති ආදරණීය ගීතය...?
ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර හා ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රලේකා පෙරේරා ගායනා කරන දැල් වූ පහන් දැල් වී තියේවා ගීතයට මම ගොඩාක් කැමතියි.
කාංචනාට විරුද්ධ පාර්ශ්වයකට මුලින්ම ආදරයක් ඇතිවෙද්දී වයස කීයද...? ඒ ආදරේ මොන වගේ හැඟීමක්ද...?
ගොඩාක් අයගේ මුල් ප්‍රේමය පාසල් ප්‍රේමයක් වීමේ සම්භාවිතාවය වැඩියි. නමුත් මම පාසල් අවසන් වෙලා තමයි මුල්ම ප්‍රේම සම්බන්ධයට මුල පිරුවේ. ඇත්තටම හැමෝටම මුල්ම ප්‍රේමය ජීවිතයේ සදාකල් මතකයේ රැඳෙනවා. ඒ හැඟීම ඒ මතකය මටත් එහෙමමයි.
අදටත් තිබුණා නම් හොඳයි කියලා හිතෙන අහිමි වුණු ආදරයක් තියෙනවද.?
නැහැ මේ ජීවිතය තුළ පසුතැවීම් නැහැ. පුළුවන් තරම් සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගතකරනවා.
ජීවිතයට වැඩියෙන්ම ආදරය දැනෙන තැන්වලදී ඔයා ඒකට දක්වන ප්‍රතිචාර....?
ඒකට කෙලින්ම උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. ඒ ඒ ප්‍රතිචාර නැගෙන්නේ ඒ ආදරය දැනෙන මොහොතේ සිතට නැගෙන නිරායාසයෙන් එන හැඟීම් සමඟයි.
මඟ තොටකදී හෝ යම් තැනකදි ඔයා දැක්ක ආදරණීයම සිදුවීම මොකක්ද...?
ඔව් එහෙම සිදුවීම් ගොඩාක් තියෙනවා. ඒ අතරින් එකක් මතක් වෙනවා. දවසක් මම බත් පාර්සල් ටිකක් බෙදන්න හිතිලා බත් පාර්සල් බෙදාගෙන යන කොට පාරේ හිටපු මැදිවියේ කාන්තාවක් ඇවිත් මගෙන් බත් පාර්සලයක් ඉල්ලගෙන ගියා. කොහොම නමුත් මම බත් පාර්සල් බෙදලා ඉවර වෙලා යද්දී තමයි දැක්කේ අර කාන්තාව ප්‍රධාන මාර්ගයේ තිබෙන බැංකුවක් අසල මුල්ලකට වෙලා මගෙන් ඉල්ලා ගත්ත බත් පැකට් එක දරුවෝ දෙන්නෙක්ට කවනවා... ඒ වෙලාවේ මට සතුටක් වගේම ගොඩාක් දුකක් ඇති වුණා. “අනේ ඒ අම්මා එක කෑම එකයි ඉල්ලන් ගියේ මගෙන් තව එකක් ඉල්ලුවනම් මම දෙනවානේ” කියලා.... මම එතනට ගිහින් කෑම ගන්න මුදල් දීලා තමයි එතනින් ආවේ.
ආදරයේදී ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද...?
ඒක තමයි මට දෙමව්පියන් අතපය හතර සමඟ හොඳ ගුණදම් සපිරි මනුස්සකම තියෙන ජීවිතයක් ලබාදීම..... ඒ තෑග්ග මිල කරන්න බැහැ. ඒකට හැමදාමත් මම ණය ගතියි.
ජීවිතයේ ඒකපාර්ශවීය ආදරයක් විඳලා තියෙනවද....?
අනේ නැහැ. ඒක පාර්ශවීය ආදරය කියන්නේ දුකක් වේදනාවක්. ඒ නිසා මම නිතරම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න කැමති කෙනෙක් නිසා දුක වේදනාව ළඟා කරගන්න කැමති නැහැ.
ආදරය ඕනෑ කියලා වැඩියෙන්ම දැනුණු තැනක් තියෙනවද...?
ඔව් ඒ තාත්තා අහිමි වෙච්චි දවස. අදටත් ඒ ආදරය මම හොයනවා. තාත්තාගේ ආදරය තරම් ආදරයක් දුවෙකුට මේ ලෝකේ වෙන පිරිමියෙකුගෙන් ලබාගන්න බැහැ.
ආදරය නිසා හිත්රිදවන අයට වෛර නොකර ඉන්න කෙනෙකුට පුරුදු කරගන්න හොඳම විදිය මොකක්ද...?
අපිට වෛර නොකර පාඩුවේ ඉන්න පුළුවන්නම්, මේ හැමදේම තාවකාලික බව තේරුම් ගන්න උත්සාහ කරනවා නම්, ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන්. අපිව අතහැරලා ගිය කෙනෙකුට නැවතත් අපි දිහා බලලා දුක හිතෙන විදිහට ඒ අයට පේන්න හොඳින් සතුටින් ඉන්න එක තමයි කරන්න ඕනෑ.
ආදරයේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවාද...?
මම හිතනවා මේ ජීවන ගමනම සංසාර බැදීමක් තුළින් ගොඩ නැගුණු දෙයක් කියලා. හැම හමුවීමක්ම සංසාරගත බැඳීමක් තමයි. ඒ නිසා මම සංසාර බැඳීම් විශ්වාස කරනවා. සමහර බැදීම් ආදර බැඳීම්. සමහර බැඳීම් හතුරු වේශයෙන් එන සංසාර බැදීම්. ඉතිං අපි ජීවත් වෙනකොට අවබෝධ කරගත යුතුයි, තෝරා බේරාගෙන නොගැලපෙන බැඳීම් වලින් ඈත් වෙන්න. ඒතකොට තමයි අපේ දියුණුව තියෙන්නේ.
• දිශානි ජයමාලි