සුකිරි බටිල්ලෝ කියන්නේ හොඳ පොලිටිකල් කොමඩියක්
රංගන ශිල්පියෙකු ලෙස මුළු රටම හඳුනන සුජීව ප්‍රියාල් අධ්‍යක්ෂණය කරන 'සුකිරි බටිල්ලෝ' වේදිකා නාට්‍යය තවත් නොබෝ දිනකින් යළිත් වේදිකාගත වීමට නියමිතව ඇත. ඒ මැයි 14 වැනි ඉරිදා බොරැල්ලේ පිහිටි නාමෙල් මාලිනි පුංචි තියටර් හිදීයි. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් සාර්ථකව රටපුරා වේදිකා ගත වෙන සිය නවතම වේදිකා නාට්‍යය ගැන සුජිව අපිට පැවසුවේ මෙවැන්නකි.
මා විසින් අධ්‍යක්ෂණය කරන ලද තුන්වැනි වේදිකා නාට්‍යය මේක. 1974 වර්ෂයේ දාරියෝ ෆෝ විසින් නිර්මාණය කරපු කාන්වේ වෝන්පේ නාට්‍යයේ අනුවර්තනයක් විදිහට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ නාට්‍යයේ විශේෂත්වය වන්නේ මගේ අනෙක් නාට්‍ය දෙකටම වඩා වර්තමානයට ගැළපෙන කාලීන තේමාවක් අන්තර්ගත කොට මෙය නිර්මාණය කිරිම. ඊට හේතුව තමයි මේ රටේ අද පවතින උද්ධමනය ආර්ථික ගැටුම්කාරී බව. සමාජ දේශපාලන වශයෙන් තියන ව්‍යාකූලත්වය පිළිබඳ දේශපාලන ප්‍රහසනයක් විදිහට තමයි මම මේ වේදිකා නාට්‍යය නිර්මාණය කළේ.
'සුකිරි බටිල්ලෝ' අධ්‍යක්ෂණය කරමින් සුජිව ප්‍රියාල්ද මෙහි රංගනයෙන් දායක වෙන අතර, දුලීකා මාරපන, ජයන්ත මුතුතන්ත්රි, සරත් කරුණාරත්න හා ලසදුනි ජයවර්ධන යන දක්ෂ රංගන ශිල්පින් පිරිසක්ද ඔහු සමගින් ඊට එක්ව සිටියි. එමෙන්ම වේදිකා පරිපාලනයෙන් චානක මධුසංඛ, දිලාන් එන්. ගුණහේරත්, හිරුශාන් හෙට්ටිආරච්චි, දර්ශන උබේසේකර සහය වන අතර, පසුතල නිර්මාණයෙන් රංග කාරියවසම්, ආලෝක නිර්මාණයෙන් සුරේෂ් පෙරේරා හා සංගීතයෙන් ලහිරු මාඩිවිලද සිය දායකත්වය මීට ලබා දෙයි.
අපි පළමු වතාවට 'සුකිරි බටිල්ලෝ' වේදිකා ගත කළේ මේ වසරේ ජනවාරි 27 වැනිදා. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදි. පළමු දර්ශනයම නරඹන්න විශාල පිරිසක් එකතු වෙලා හිටියා. 'සුකිරි බටිල්ලෝ' සාර්ථක වෙන්න ඒක හොඳ අත්තිවාරමක් වුණා. අද වන විට මේ වේදිකා නාට්‍යය දර්ශන වාර කිහිපයක්ම අපිට පෙන්වන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැනට මමත් 'සුකිරි බටිල්ලෝ' නාට්‍යය කණ්ඩායමත් මේ වසරේදී රටපුරා මේක වේදිකාගත කරන්න සැළසුම් කරමින් ඉන්නවා. 'ලෝරන්ස්ගේ මනමාලි' වේදිකා නාට්‍යය දර්ශන වාර පන්සියකක් වේදිකා ගත කළා. ලංකාවේ විතරක්ම නෙවෙයි ඒක විදෙස් රටවල පවා අපි අරගෙන ගියා. මගේ අදහසක් තියෙනවා 'සුකිරි බටිල්ලෝ' වේදිකා නාට්‍යයත් විදෙස් රටවල් කිහිපයකම වගේ වේදිකාගත කරන්න.
'සුකිරි බටිල්ලෝ' කතාවේ ආරම්භය සිදුවන්නේ සුපිරි වෙළෙඳ සැළකදී මුණ ගැහෙන විවිධ තරාතිරමේ කාන්තාවන් සිවුදෙනෙකු වටා. වර්තමානයේ රට පවතින ආර්ථික අවපාතය, උද්දමනය නිසාවෙන් ඔවුන් මුහුණ දෙන අර්බුදකාරි තත්ත්වයන් හමුවේ තිරණය කරනවා මෙම වෙළෙඳ සැළ ඉදිරිපිට උද්ඝෝෂණයක පවත්වන්න. කතාව දිග හැරෙන්නේ ඒ වටා සිදුවෙන කාරණයන් හේතුකොට ගෙන.
මේ මොහොතේ තියන මානසික ආතතිය පීඩනය නැති කරගන්න මේක හොඳ අවස්ථාවක් විදිහට මම දකිනවා. මැයි 14 වැනිදා නාමෙල් මාලිනි පුංචි තියටර් එකට ඇවිල්ලා 'සුකිරි බටිල්ලෝ' බලල හිනාවෙලා සතුටුවෙලා ඔළුවට යමක් අරගෙන යන්න පුළුවන් කියන පණිවිඩේ මම ප්රේක්සකයින්ට දෙන්න කැමතියි. යම් කිසි විදිහකට මේක නරඹලා මානසික සුවයක් ගන්න. සැහැල්ලු වෙන්න හිනාවෙන්න ඕනෙ නම් ඒකටත් මේක තුළ ඉඩ කඩ තියෙනවා. මේක හොඳ හාස්‍යමය වේදිකා නාට්‍යයක්. කොටින්ම කියනවා නම් පොලිටිකල් කොමඩියක්. ඒ පොලිටිකල් කතන්දරය තුළ ඔබේ ඔලුවට ගන්න යමකුත් තියනවා කියලා මම මතක් කරනවා.
බුද්ධික සේනාධීර