“ සාකුන්තලය” නාට්‍යයේ ශිල්පීන්ගේ නාට්‍ය ඇඳුම්-භාණ්ඩ උස්සලා - තොරතුරක් වෙතොත් දන්වන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හි දී ඊයේ (16) දින රඟ දැක්වීමට සූදානම් කර තිබූ 'සාකුන්තලය' වේදිකා නාට්‍යයේ රංග වස්ත්‍ර හා රංග භාණ්ඩ සොරාගෙන තිබෙනවා. මෙම සොරකම පෙරේදා (15) පස්වරු 3.30ට පමණ සිදු ව ඇත්තේ බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියේටර් පරිශ්‍රයේ දියි.

පෙරේදා (15) දිනයේ දී 'ඊඩිපස්' නාට්‍ය පුංචි තියටර් රඟහලේ දී රඟ දැක්වෙන අතරතුරදියි මෙම සොරකම සිදුව ඇත්තේ.

සාකුන්තලයේ රංග වස්ත්‍ර හා රංග භාණ්ඩ අසුරා තිබූ සූට්කේසය අදාළ පුද්ගලයා විසින් රැගෙන යන අයුරු ද අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන් ව තිබුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙම පුද්ගලයා අදාළ බෑගය ද රැගෙන බොරැල්ල ෆෙයාර්ෆීල් උද්‍යානය පාරෙන් සහස්පුර මහල් නිවාස සංකීර්ණය දෙසට ඇතුළු වන ආකාරයයි අදාළ කැමරා දර්ශනවල සටහන් ව ඇත්තේ.

මෙම සිදුවීම හේතුවෙන් සාකුන්තලයේ නිෂ්පාදක මණ්ඩලය දැනුම්දී ඇත්තේ, අදාළ වේදිකා නාට්‍යය රඟ දැක්වීම් කටයුතු අද දිනයේ දී සිදු නොකෙරෙන බවත්, දින නියමයකින් තොරව එය කල් දැමූ බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයෙන්ට ඔවුන් සිය කනගාටුව පළ කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් හෝ අදාළ සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ඒ පිළිබඳ නාමෙල් මාලිනි පුංචි තියෙටර් වෙත දැනුම්දෙන ලෙසත් සාකුන්තලය නාට්‍යයේ නිෂ්පාදක මණ්ඩලය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.