ශෂිකා නිසංසලාගේ ජනප්‍රියත්වයේ රහස පළමු වරට හෙළි කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පීපල්ස් එවෝඩ්ස් ජනතා සම්මාන උළෙල 16 වැනි වරටත් ඉකුත් දා පැවැත්විණි. එහිදී ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප හා ඉරිදා ලංකාදීප පුවත්පත්වලට ලැබිණි. ඒ අඛණ්ඩව 16 වැනි වරටය. මේ අතර ජනතාවගේ ගායිකාව මෙන්ම යෞවනයේ ජනප්‍රියතම ගායිකාව ලෙස ද සම්මානිත වූයේ ශෂිකා නිසංසලාය. ලංකාවේ ජනප්‍රියම ගායිකාව ජනප්‍රියම පුවත්පත හා සම්මුඛ වූ අවස්ථාවයි මේ.

මුලින්ම මගෙන් සුබ පැතුම් නංගී

බොහෝම ස්තුතියි ! සඳැල්ලෙන් හැමදාමත් මට උණුසුම් ම සුබ පැතුම් හමුවෙනවනෙ.

මේ ජනතාවගේ ගායිකාව එහෙම නැත්නම් ජනප්‍රියම ගායිකාව බවට පත් වෙන්නෙ කී වැනි වතාවට ද?

හයවැනි වතාව

පහුගිය වසරෙන් ජනප්‍රියත්වයේ සම්මානය හිමි වුණේ ඔබට ?

ඔව්! 2016 සිට ඒ සම්මානය දිගටම ලැබුණෙ මටයි

මේ අවුරුද්දෙ ඔබට සම්මාන දෙකක් ලැබුණා නේද?

ඔව්! මේ අවුරුද්දෙ තාරුණ්‍යයේ ගායිකාව නමින් අලුත් සම්මානයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ සම්මානයත් ලැබුණෙ මට.

ඔබට වගේම සමහරවිට ඔබටත් වඩා ඔබේ ආදරණීය රසිකයන්ට රසිකාවන්ට සතුටු ඇති ?

අනේ ඔව්. මගෙ ෆෑන් පේජ් එක ඒ සුබ පැතුම්වලින් පිරිලා.

මට කියන්න කොහොම ද ඔබ මේ ජනප්‍රියත්වය රැක ගන්නේ.

අනේ අයියේ, ජනප්‍රියත්වය රැකගන්න නම් මම මොකවත්ම කරන්නෙ නෑ. හැබැයි මම නිතරම වගේ අලුත් ගීත රසිකයන්ට දෙනවා. මං හිතන්නෙ මගෙ ජනප්‍රියත්වයේ රහස ඒක වෙන්නැති.

ඔබ ගිය වසරේ නිර්මාණය කළ චන්ද්‍රා පායන්න ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් වුණා නේද ?

මේ වෙනකොට මිලියන අටකට වැඩි පිරිසක් ඒ ගීතය නරඹලා රසවිඳලා තියෙනවා. මේ මමවත් නොහිතුව අන්දමේ ජනප්‍රියත්වයක්.

චන්ද්‍රා පායන්න ඔබ හැදුවෙ නව පරපුරට. නැත්නම් යෞවනයට. මං හරි ද?

ඔව්! චන්ද්‍රා පායන්න ගීතය නිර්මාණය කළේ, අලුත් ජනප්‍රිය රැල්ලට. ඒ ගීතය මගෙම නිෂ්පාදනයක්. මේ වගේ ගීත එකක් විතරයි. මම අවුරුද්දකට නිෂ්පාදනය කරන්නෙ.

ඊට අමතරව ඔබගෙන් සුභාවිත ගීත මහගොඩකුත් රසිකයන්ට ලැබෙනවා.

සුභාවිත විතරක් නෙවෙයි සරල ශාස්ත්‍රීය ගීතත් මම ගායනා කරනවා. මේ මෑතකදීත් මම ඒ වගේ ගීතයක් ගායනා කළා.

 

එහෙමනම් ඔබේ ජනප්‍රියත්වයේ රහස එක තැනකට කොටු නොවීම වෙන්න ඕනැ.

අපේ රසිකයන්ගෙ රසිකත්වය විවිධයි. ඔයා කැමැති සිංදුවට තව කෙනෙක් කැමැති නැහැ. නමුත් මං හැම විදිහකම ගීත ගායනා කරන නිසා ඔය හැම රසිකයෙක්ම මගෙ වටේ ඉන්නවා කියලා මං දන්නවා. ඒ නිසා ඔයා කියන කතාවෙ ඇත්තක් තියෙන්න පුළුවන්.

පහුගිය දවස්වල ශෂිකා නිසංසලා වොයිස් තරගාවලියෙ විනිසුරුවරියක් ලෙස කටයුතු කළා. ඒකෙනුත් ඔබේ ජනප්‍රියත්වය වැඩිවෙන්න ඇති !

වොයිස් වැඩ සටහන වෙනුවෙන් මං හුඟාක් මහන්සි වුණා. මගේ කණ්ඩායම ඉදිරියට යවන්න මගෙ දැනුම දුන්නා. මේ හරහා මම විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගත් සංගීත දැනුම ගැන රසිකයන් තේරුම් ගත්තා. ඒකත් මේ වැඩ සටහනෙන් ලැබුණු එක් දෙයක්. වොයිස් වැඩ සටහනෙන් මම පුදුමාකාර තෘප්තියක් ලබාගත් බවත් කියන්න ඕනෑ කාරණයක්.

පහුගිය දෙවසරක විතර කාලයේ ප්‍රසංග තිබුණෙ නැහැ. මං කල්පනා කරන්නෙ ගායකයෙකුට ගායිකාවකට ජනප්‍රියත්වය ලබා දෙන්න ප්‍රසංගත් බලපානවා.

ඒකත් එකක්! මොකද  ප්‍රසංගයක් කියන්නෙ. සජීවී අත්දැකීමක්නෙ. මම ගෘහස්ත ප්‍රසංගවල වගේම එළිමහන් වේදිකාවෙත් ගී ගයනවා. එනිසා මට බොහෝ රසික පිරිසක් මුණ ගැහෙනවා. මගෙ ජනප්‍රිත්වයට ප්‍රසංග හේතුවක් වෙන්නත් පුළුවනි.

ඔබ හැම විටම සංවරව අඳින ගායිකාවක්. ඒ විලාසිතාවලටත් ජනතාව ආදරේ කරනව ද?

සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. අපේ සංස්කෘතිය හැටියට ගැහැනියක් සංවරව අඳින්න පළඳින්න යොමුවුණු තරමට ඇයට ලැබෙන ගෞරවයත් වැඩියි.

එතකොට පවුල් ජීවිතය ?

යහපත් පවුල් ජීවිතයක් ගත කරන එක ගැහැණියකට ආඩම්බරයක්. ඒ අතින් මම වාසනාවන්තයි. මගේ මහත්තයා දරු දෙදෙනා අම්මා තාත්තා අපි ඔක්කොම හරි ලස්සනට ජීවත් වෙනවා.

ශෂිකා නිසංසලා බිහිවෙන්නෙ තුරුණු ශක්තියෙන්.

ඔව්! 1999 දී ඒ වෙනකොට මම උසස් පෙළ පංතියෙ.

ඔබේ ජනප්‍රියත්වය ඇතිවෙන්නෙ ඒ එක්කම.

මගෙ පළමුවෙනි කැසට් පටිය පාරමිතා. පාරමිතා නොපුරමු අපි දෙදෙනා ගීතය අතිශයින්ම ජනප්‍රිය වුණා. ඒ එක්කම ඒ කැසට් එකේ තිබ්බ තොල් පෙති විතරක්, සඳ රෑට රෑට කියන ගීතත් ජනප්‍රියත්වයට පත් වුණා.

ඔබ ප්‍රසංග වේදිකාවට පිවිසෙන්නෙත් ඒ කාලෙමයි ?

හොඳ වෙලාවට මගෙ පළමු කැසට් පටියෙ ජනප්‍රියම ගීත හතරක් තිබුණා. ඒ නිසා මට ප්‍රසංග වේදිකාවට ගිහින් මගෙම ගීත හතරක් කියන්න පුළුවන්කම ලැබුණා. ඒකත් මගෙ වාසනාවක්.

දැන් නම් ඔබට ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න තරම් ජනප්‍රියම ගී තියෙනවා.

මං හිතන්නෙ ගීත තිහක් විතර තියෙනවා. අතිශය ජනප්‍රිය වුණු.

ඔක්කොම ගීත දාහ පැනල ද?

අපොයි නෑ. ගීත තුන්සිය පනහක් ඇති ඕනෙ නම්.

එහෙමනම් ලබන අවුරුද්දෙත් ජනතාවගේ ගායිකාව වෙන්න ඔබටම හැකිවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

අනේ බොහෝම ස්තුතියි අයියා.

ශාන්ත කුමාර විතාන