ශරීරයේ හැඩය පොඩි නිසා ඕනෑම විලාසිතාවක් ඇඟට ගැලපෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෙනදා වගේම අදත් ෆැෂන් පිටු සරසන්න බොහොම ආදරණීය කෙනෙක් සොයාගෙන අපි ගියා. ඇය නමින් අශිකා මතසිංහ. නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් ලෙසට ඔබේ ආදරය නොඅඩුව ලබන ඇය දකින බොහෝ දෙනෙක් අසන්නේ ” වයසට යන්නේ නැද්ද”කියාය. තරුණ වෙවි  හැමදාම ලස්සනට අඳින ඇය සමග අපි ෆැෂන්  ගැන බොහෝ දේ කතා කළෙමු.

ඔබ විලාසිතා කරන්න බොහොම කැමැති කෙනෙක් ?

අපොයි ඔව්....මම හරිම ආසයි ලස්සනට අඳින්න. විලාසිතා වෙනුවෙන් කියලා ලොකුවට වියදම් නොකළාට  , මගේ වයසට, මගේ ඇඟේ  හැඩයට ගැලපෙන විදියට හරිම ආසාවෙන් මං විලාසිතා කරනවා. හැමදාම ලස්සනට ඉන්න  විලාසිතා වලින් ලැබෙන්නේ ලොකු පිටුවහලක්.

විලාසිතා තෝරා ගැනීමේදී ඔබ මොන වගේ දේවල් ගැන ද හිතන්නේ ?

පොදුවේ ගත්තොත් අපි විලාසිතාවක් කරන  එකේ මූලිකම පරමාර්ථය විලි වසාගන්න එක විතරක් ම නොවෙයි. අපි ඉන්නවට වඩා ලස්සනට පේන්නයි අපි විලාසිතා කරන්නේ .ඒ නිසා මම හිතෙනවා එහෙම කරන විලාසිතාව අපට වඩාත්ම පහසු විය යුතුයි . අපිට වටිනාකමක් ගෙන දෙන දෙයක් විය යුතු යි .මොන  තරම් වටිනා ඇඳුමක් උනත් අපි ඇඳගෙ ඉන්නේ  අපහසුවෙන් නම්, එවැනි ඇඳුමක් ඇඳීමෙන් අපි වෙනත් කෙනෙකුගේ සිනහවට ලක් වෙනවා නම් ,එවැනි විලාසිතා කිරිමෙන් වැඩක් වෙන්නේ නැහැ. සැබෑවටම විලාසිතා කියන්නේ අවබෝධයකින් කළ යුතු දෙයක් විදියට මම නම් දකින්නේ .

ඔබ ශරීරය නිරාවරණය වන විදියට විලාසිතා කරන්න කැමති නැති කෙනෙක් විදිහටයි අපි දකින්නේ ?

ඔව් පුංචි කාලේ ඉඳලම බෞද්ධ පරිසරයක හැදී වැඩුණු මම බොහෝවිට අනුකරණය කළේ මගේ අම්මා ව , ආච්චිව. ඒ අය බොහොම ලස්සනට පිළිවෙලට , පිරිසිදුව ඇඳපු අය. විනීත බව සරල බව චාම් බව ඔවුන් කරන විලාසිතාවල තිබුණා . මට ලැබී තියෙන්නේ ත් ඔවුන්ගේ ආභාශය .මා නියැලෙන  වෘත්තීය , මා ගොඩනඟාගෙන ඇති ප්‍රතිරූපය ,ආදරණීය බිරිඳක්, සෙනෙහෙබර මවක් කියන දේ මම කවදාවත් අමතක කරන්නේ නෑ විලාසිතා කරනකොට ..එම නිසා ,කුමන විලාසිතාවක් තෝරා ගත්තත් මට වටිනාකමක් එන විදිහටයි මම තෝරා ගන්නේ .. ..

ඔබේ ශරීරයට වඩාත් ගැලපෙන විලාසිතාව කුමක්ද?

ශරීරයේ හැඩය පොඩි නිසා ඕනෑම විලාසිතාවක් ඇඟට ගැලපෙනවා.  නමුත් මම හරිම ආසයි සාරි අඳින්න. ඊට අමතරව  දිග ගවුම්,ටයිට් ස්කර්ට් වලටත් ආසයි.

විලාසිතාවල දී  තොරාගන්නා  කැමතිම පාට ?

මගේ සමේ පාට ට තවත් එළියක් දෙන පාට තමයි මම ගොඩක්ම කැමැත්තෙන් තෝරා ගන්නේ . කහ පාට ,තැඹිලි පාට මම ආසම පාට.

ඔබ ජීවිතේ ලස්සනටම සැරසුණු දවස ?

මගේ ජීවිතයේ අමතක නොවන ලස්සනම දවසත්, මම ලස්සනට සැරසුණු දවසක් මම විවාහ  වුණු දවස . ඊට පෙර නිරූපණ කටයුතු වෙනුවෙන් ,ෆොටෝ ශුට් වෙනුවෙන් වාර ගණනාවක් මනාලියක් විදිහට හැඩ ගැන් වී  තිබුණත් එදා සැරසුණු විදිහ හරිම ආදරණීයයි. මතකයක් විදිහට  ඒ දවස අදටත් ආදරණීය ව තියෙනවා.

ගැලපෙන විදිහට විලාසිතාවක් කල  විට මොන වගේ දෙයක් දී හිතට දැනෙන්නේ ?

හිතේ හැටියට විලාසිතාවක් කරන්න ලැබුණොත් ඒක හිතට ලොකු සතුටක්. කොහේ හරි යනකොට මම හිතපු විදියට යන්න බැරි වුනොත් ඒක හිතට මදිකමක් අඩුපාඩුවක් විදියට යි දැනෙන්නෙ...  ....ඒ නිසා කලින් සැලසුම් කරලා වෙලාව අරන් තැනකට යනකොට ලස්සනටම යන්න මම නිතරම උත්සාහ කරනවා......එයට  ස්වාමියාගෙනුත් ලොකු උදව්වක් ලැබෙනවා.

විලාසිතා කිරීමේදී ඔබ යම් කෙනෙකු අනුකරණය කරනවද ?

නැහැ. තව කෙනෙක් කරන විලාසිතා දිහා මම හරිම සතුටින් බලනවා. ලෝකයේ කාලයේ තාලයට වෙනස්වන  විලාසිතා ගැන අවබෝධයෙන් ඉන්නවා.ෆැෂන් ෂෝ  බලනවා.ඒ හැමදේම බලලා අවබෝධයක් ගන්නවා ...ඒ හැරෙන්න  කවදාවත් කාවත් අනුකරණය කරලා නැහැ ..ඇඳුමක් ඇඳලා කවුරු වගේ වත්  වෙන්න උත්සාහ කරලත් නෑ .මම බොහෝ විට විලාසිතා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මම මමම වෙන්න. ඒ නිසා සතුටින්, නිදහසේ  විලාසිතා කරන්න මට හැමදාම හැකි වෙලා තියෙනවා.

ඔබ කරන විලාසිතා අන් අය අනුකරණය කරනවාද?

ඔව් ...ඔව් ..මොන ඇඳුම ඇන්දත් හැමෝම හරිම ලස්සනයි කියලා කියනවා. සමහර අය ළඟට ඇවිත් අහනව කොහෙන්ද ඇඳුම්  ගන්නෙ කියලා.මීට වසර ගණනාවකට පෙර  සබන් වෙළෙඳ දැන්වීමට පෙනී සිටින්නට ඇඳපු චීත්ත ගවුම ඒ දවස් වල බොහෝ තරුණියන් අතර ජනප්‍රිය වෙලා තිබුණා.   අම්මා මහලා දුන්නා  ඒ ලස්සන ගවුම අදටත් මා ළඟ සුරක්ෂිතව තියෙනවා ...තව ටික දවසකින් මගේ දුවට ඒ ගවුම් අන්දලා හැඩ බලන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

පුංචි කාලේ ඉඳලාම ලස්සනට අඳින්න කැමති කෙනෙක් ද ?

ඔව්... ලස්සනට අඳින්න මම හරිම ආසයි. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. අම්මා ඇඳුම් මහන කොට අපි තුන් දෙනාටම එකම වගේ ඇඳුම් මහන්නේ. එකම විදිහට ඇන්දහම හරිම ලස්සනක් තියෙනවා .ඒ පුරුද්ද මටත් ඇවිත් අදටත් මම විශේෂ අවස්ථාවකට ඇඳුමක් අඳින කොට ඊට ගැලපෙන විදිහටයි ස්වාමියාටයි දරුවො තුන්දෙනා ටයි අන්දන්නේ ....විලාසිතා ගැලපීම තුළ නොසිතන ආකර්ෂණයක් ලැබෙනවා කියලා මම නිතරම හිතනවා .

පුංචි කාලෙදි කරපු විලාසිතා වලින් අමතක නොවෙන දෙයක් තියෙනවද ?

ති​ෙයනවා... ති​ෙයනවා.... දවසක්  අම්මා ගෙදර දොර රෙද්දකට  දාලා තිබුණු ලස්සන මල් වැටුණු රෙද්දමකින්  අපි තුන්දෙනාට ,එක වගේ ලස්සන ගවුම් තුනක් මහලා ,පින්තූරයක් ගත්තා .....ඒ පින්තූරෙ තාමත් අම්මා ගාව තියෙනවා ....තට්ටු තට්ටු  රැලි දාලා මහපු එ  ගවුමනම්  අදටත් අමතක වෙන්නේ නැහැ .

හැමදාම ලස්සනට අඳින්න ඕනේ කියලා ඔබ හිතනවද?

ඔව් .මැරෙනකම්ම ලස්සනට පිරිසිදුව  අඳින්න ඕනේ. ජීවිතේ කියන්නේ හරිම සතුටින් ගත කරන්න ඕන දෙයක් .ඒ සතුට රඳවා  ගන්න ඇඳුම් වලින්  ලැබෙන්නේ ලොකු පිටුවහලක්.

ලොකු  වියදමක් කරලා විලාසිතා කරන කෙනෙක්ද ඔබ ?

නැහැ .. 

ඉහළම මිල ගණන් යටතේ තියෙන ඇඳුම් පැළඳුම් අඳින්න ඕනේ ඇඳුම් අඳින්න ඕනෙ කියන මානසික මට්ටමක් කවදාවත් මා ළඟ නැහැ ඇඳුමක් වුණත් .ගන්න ඇඳුමක්  කීප වාරයක්ම මම අඳිනවා . එ හෙම අදින එක මට මදිපුංචි කමක්   වන්නෙත් නැහැ.. ඇඳුමක් ඇඳලා අපිට අපේ තත්වෙ පෙන්නන්න අවශ්‍ය නැහැ... අපි කුමන ඇඳුමක් වුණත් පිලිවෙලට, පිරිසිදුව  ගැලපෙන විදිහට  අඳිනවා  නම්  අපිට අපේ තත්ත්වය ඉබේම ලැබෙනවා.

අසුන්තා එදිරිසූරිය