ශ්‍රියන්ත මෙන්ඩිස් කියන කලා ලොවේ රස කතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ වේදිකා රංගනයටම උපන් නළුවෙක් කියලා කිව්වොත් ඒක වැරැද්දක් නෙවෙයි. ශ්‍රියන්ත වේදිකාව හඳුන්වන්නේ සුන්දර දැව පලසක් විදියට. කලා ලෝකේ රසකතාවලින් අද කියන්නේ ශ්‍රියන්ත නාට්‍ය රඟපාන්න ගිහින් මුහුණ දුන් රසවත් සිදුවීම් කිහිපයක්.

උපතිස්සගේ ෂෝට් ලීව් එක

ජයන්ත චන්ද්‍රසිරිගේ අත් නාට්‍ය කියන්නේ හරිම වේගයෙන් ජනතාව අතරට ගිය නාට්‍යයක්. ගොරියා මිනිසෙක් වූ බල්ලා විදියට තමයි එය හැඳින්වූයේ. මට ඒ නාට්‍යයේ අධිපතියෙක් එක්ක සටන් කරන අවස්ථාවක් තිබෙනවා. ඒ චරිතය රඟපෑවේ අපි කවුරුත් දන්න ග්‍රැන්විල් රොද්‍රිගු. මව ජනතාව අතරින් බිහිවන වීරයෙක්. එක අවස්ථාවක් තියෙනවා නාට්‍යයේ, ජනතාව උස්සලා මම උඩ දානවා. ඒ දර්ශනයේ මාත් එක්ක රාජු කන්නංගර, උපතිස්ස බාලසූරිය, කුමාරි මුණසිංහ, අජිත් සිල්වා, ජැක්සන් ඇන්තනී වගේ අය තමයි රඟපෑවේ. ජැක්සන් තමයි එතනදී මාව ජව සම්පන්න කරන්නේ. ඒ වෙලාවෙදී හදිස්සියේ හරි බිම වැටුණොතින් කොන්ද කැඩෙනවා.

අත් නාට්‍යයේ දර්ශනයක් තිස්සමහාරාම, දෙබරවැව මහා විද්‍යාලයේ එක අවස්ථාවක පැවැත්වුණා. ඒ දර්ශනය වෙලාවේ මම කලින් පැවැසූ අවස්ථාව නිරූපණය කරද්දී මාව එක පැත්තකට ලිස්සලා ගියත් බිමට වැටුණේ නැහැ. මට තේරුණා වෙනදා ඒ දර්ශනයේ රඟපාන අයගෙන් කවුරු හරි අඩුයි කියලා. පස්සේ මම මගේ දර්ශනය අවසන් කරලා ජාලරය දිහා බලද්දී මට පේනවා උපතිස්ස බාලසූරිය ජාලරය අයිනට වෙලා තේ එකක් බොනවා. පස්සේ නාට්‍ය ඉවර වුණාට පස්සේ මම උපතිස්සගෙන් ඇහුවා ඇයි උඹ ආවේ නැත්තේ කියලා. පස්සේ මිනිහා මට කියනවා මං පොඩි ෂෝට් ලිව් එකක් ගත්තා කියලා. මං එදා තමයි දැන ගත්තේ නාට්‍යවලත් ෂෝට් ලිව් තියෙනවා කියලා.

හඬ පුහුණුවෙද්දී ළමයි මාරු

පාදඩ අසපුව කියන්නේ මම අධ්‍යක්ෂණය කරපු ජූඩ් ශ්‍රීමාල් නිෂ්පාදනය කරපු නාට්‍යයක්. ඒ නාට්‍ය එක මොහොතක ඇමරිකාවේ චිකාගෝ නගරයේ පෙන්නන්න ගියා. සාමාන්‍යයෙන් අපි විදේශ රටකට ගියාම නාට්‍ය පෙන්නන්න කලින් නාට්‍ය පෙන්නන ශාලාව බලන්න යනවා. එහෙම යන්නේ නාට්‍ය පෙන්නන කොට පහසුවක් වෙන්න.

එදා මමයි ජනක කුඹුකගේයි තමයි නාට්‍ය ශාලාව බලන්න ගියේ. අපි යනකොට වේදිකාව පහළ ගුරුවරියක් ළමයි ටිකකුත් එකතු කරගෙන බැලේ එකක් පුරුදු කරනවා. අපි වේදිකාව උඩට ගිය ගමන් ජනක කුඹුකගේ ඩිං ඩිං ඩිම් කිය කියා හඬ පුහුණුවීම් කරන්න ගත්තේ හරියට හඬ ප්‍රේක්ෂකාගාරයට සම්ප්‍රේෂණය වෙනවාද කියලා බලන්න. එක පාරටම ජනකගේ හඬ ඇහුණා විතරයි ගුරුවරිය බය වුණා වගේ අපට දනුණා. ළමයි දෙන්නෙක් විතර අඬන්න ගත්තා. අපි මේක හඬ පුහුණුවක් කියලා තේරුම් කරන්න කලින්ම ගුරුවරිය ළමයි ටිකත් අරගෙන එතනින් පිටවෙලා ගියා. ඒ අයටත් හිතාගන්න බැරි වෙන්න ඇති මේ මොන රටෙන් ආපු නාට්‍ය කණ්ඩායමක්ද කියලා.

නාට්‍ය බස් එකේ ඩීසල් ටැංකිය බිම

එක්තරා නාට්‍ය දර්ශනයකට අපි හම්බන්තොට යන්න පිටත් වුණා. නාට්‍ය බස් එක ගමන ආරම්භ කළා විතරයි අපිට ලොකු ශබ්දයක් ආවා. අපි හිතුවේ නාට්‍යයේ සෙට් එක බිමට වැටිලාද කියලා. බලනකොට එහෙම වෙලත් නැහැ. කොන්දොස්තරගෙන් ඇහුවාම මොකද වුණේ කියලා ඔහුත් කිව්වේ ප්‍රශ්නයක් නැහැ මුකුත් වෙලා නැහැ කියලා.

ඊට පස්සේ මීටර් 100ක් විතර ගියාට පස්සේ බස් එක එක පාරටම නතර වුණා. පස්සේ කට්ටිය බැහැලා බස් එක ස්ටාට් කර ගන්න හැදුවත් කාටවත් ඒක කරගන්න බැරි වුණා. පස්සේ බලනකොට තමයි කට්ටියට වැඩේ තේරුණේ. බස් එකේ ඩීසල් ටැංකිය බිම වැටුණු නිසා තමයි බස් එක නැවතිලා තියෙන්නේ. පස්සේ කොන්දොස්තර ගිහින් ඩීසල් ටැංකිය කර තියන් ඇවිත් ගරාජ් එකක් හොයාගෙන ගිහින් හයිකර ගත්තා. කොහොම හරි ඒ ඔක්කොම වැඩ ටික කරගෙන අපි හම්බන්තොට යද්දී 2.30 ෂෝ එක බලන්න ආපු මිනිස්සු ආපහු එනවා පේනවා. අපි ඒ අයට ආයේ නාට්‍ය ශාලාවට එන්න ආරාධනා කළත් ඒ අය ආවේ නැහැ. කොහොම හරි 6.30 දර්ශනය සාර්ථකව පවත්වන්න අපිට හැකියාව ලැබුණා.

ශ්‍රීනාත්ගේ හොඳටම කෙරිල්ල

අපි නාට්‍යයක දර්ශන කීපයක් පවත්වන්න කැනඩාවේ ටොරන්ටෝවලට ගියා. එහෙම ගියාම මුළු නාට්‍ය කණ්ඩායමම නවතින්නේ අපි දන්න කියන හිතවත් කෙනෙකුගේ ගෙදර. ඒ පාර අපි නැවතුනේ සිසිල් රොද්‍රිගු කියලා අපි හිතවත් මහත්තයෙකුගේ ගෙදර. නාට්‍ය කණ්ඩායමේ අපි හැමෝටම ඒ වගේ අවස්ථාවල හොඳ ආගන්තුක සත්කාර ලැබෙනවා. එදාත් අපිට ඒ වගේ සත්කාරයක් සුසිල් මහත්තයාගේ බිරින්දෑ සූදාම් කරමින් සිටියා.

එතනට ශ්‍රීනාත් මද්දුමගේ ඇවිත් කිව්වා ඔබතුමිය අයින් වෙන්න මම  මේක කරන්නම් කියලා. ඇය ඒ වෙනකොට මැෂින් එකකින් කළුකුන් මස් කපමින් සිටියේ. ඒක සාමාන්‍යයෙන් පුරුදු නැති කෙනෙකුට කරන්න අමාරුයි කියලා බැලූ බැල්මට පේනවා. ඒත් ශ්‍රීනාත් බලෙන්ම ඒක කරන්න ඉල්ලා ගත්තා. පස්සේ බලනකොට ශ්‍රීනාත්ගේ මස් කැපිල්ල කොහොමද කියනවනම් මස් ටික ඔක්කොම හතර වටේ බිත්තිවල වැදිලා. ශ්‍රීනාත් තමයි මස් කැපිල්ල හොඳටම කළේ කියලා අපි ඔහුට විහිළු කරන්න ගත්තා.