විශ්වාස කරන්න කරාබු දාන්නවත් අකමැති කෙනෙක් මම. සරලව ඉන්න කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සර්කස්කාරයෝ නාට්‍යයේ රඟපාන චරිතයේ හැටියට ඇය ටිකක් කටකාර, වගකීමක් දරන්න බැරි තරුණියක වගෙයි පෙනෙන්නෙ. සමාජ මාධ්‍යයට බොහෝ සෙයින් ළැදි, නිතරම ජංගම දුරකථනයට ඇබ්බැහි වූ තරුණියකි. ‘සල්ලි පොකුරු’ නාට්‍යයේ ඇය රඟපාන්නේ ඊට හාත්පස වෙනස් චරිතයකි. මෙලෙසින් ටෙලි තිරයෙන් හමුවන ඇය සැබෑ ජීවිතයේ දී නම් වෙනස්ම තරුණියකි. සැබෑ ජීවිතයේ ඇයගේ නාමය වන්නේ, දිව්‍යශාරිකා බ්‍රිජට් බ්‍රෙන්ඩන් ය. මේ කතා බහ ඇය සමගයි. 

දිව්‍යශාරිකා බ්‍රිජට් බෙන්ඩන්, අපි මොන නමින්ද ඔබට කතා කරන්න ඕනෑ. 

‘දිව්‍යා’ කියලා කියන්න. 

කවුද මේ ‘දිව්‍යා? 

දිව්‍යා කියන්නේ බොහොම සරල, නිතරම විහිළුවෙන් සිනහවෙන් ඉන්න කැමති කෙනෙක්. අපේ ෆැමිලි එක ගැන කතා කළොත් අම්මයි, මමයි, නංගිලා දෙන්නයි. මේ වනවිට මම විවාහකයි. 

ගම එහෙම කොහෙද? 

ගම නුවර. දැන් පදිංචිය කොල්ලුපිටියෙ. 

මේ දිනවල ඔබ දැකගත හැකි නිර්මාණ ගැන කිව්වොත්? 

සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන, සද්ධාමංගල සූරියබණ්ඩාර  රචනය කරන සල්ලි පොකුරු සහ සර්කස්කාරයෝ නාට්‍ය දෙකේ රඟපානවා. ඊට අමතරව මෑතකදී ජාතික රූපවාහිනියේ නුග සෙවණ නිවේදන කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. 

සල්ලි පොකුරු නාට්‍යයේ චරිතය? 

අනුරාධා.

සර්කස්කාරයෝ? 

නෙත්මි. 

‘දිව්‍යා’ ඉගෙනීම් කළේ? 

කැලණි සරසවියෙන්. නාට්‍ය හා රංග කලාව උපාධිය තෙක් හදාරා තියෙනවා. 

ආරම්භ වුණේ රංගනය ද? 

මට අවශ්‍ය වුණෙත් හැදෑරීම වගේම ප්‍රායෝගිකවත් දායක වෙන්න. ඉතින් ඒ නිසා ඒ විෂය හරිම ආසාවෙන්, ආදරයෙන් කරගෙන යනවා. 

වෙන වෘත්තියක් කරනවද? 

දැනට රංගනය විතරයි. 

මේ ගමන පටන් ගත්තේ? 

වේදිකාවෙන්. කැලණි සරසවියට ගියාට පස්සෙ ප්‍රියංකර රත්නායක සර් යටතේ, එතුමාගේ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. අනුරාධ සුබසිංහ සර්ගෙ වේදිකා නාට්‍ය සහ සංජීව සර්ගෙ නාට්‍යවලටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ප්‍රියංකර රත්නායක සර්ගෙ රතු වෙස් මුහුණු, අද වගේ දවසක, ඇන්ටිගනී, විසේකාරියෝ, ද කිලර් ෆස්ට් ලව් නාට්‍යවල රඟපෑවා. අනුරාධ සුබසිංහ සර්ගේ ඉන්ද්‍රජාලික පෙම්වතිය නාට්‍යයට සම්බන්ධ වුණා. එය පසුසුග  රාජ්‍ය නාට්‍ය  උළෙල අවසන් වටයට තේරුණ නාට්‍යයක්. වේදිකා නාට්‍යය ගමන ආවේ ඒ විදියට. 

මේ විදියට නාට්‍ය හා වේදිකාව ගැන හොඳ හැදෑරීමක් ඇති. දිව්‍යා සර්කස්කාරයෝ නාට්‍යයේ රඟපාන චරිතය දිහා බලලා ඔබව මනින අයට මොනවද කියන්න තියෙන්නේ? 

ඒ චරිතයේ ඉන්නෙ සැබෑ ජීවිතයේ මම නෙවෙයි. ඒ නිසා ඒ චරිතය දිහා බලලා බනින අයගේ අදහස් මම සතුටින් බාර ගන්නවා. මම වුණත් නෙත්මි වගේ චරිතයකට අකමැතියි. නිතරම ෆෝන් එකේ ඉන්නෙ. තමන්ගෙ යාළු පෙම්වතා එක්ක නිතරම කතාව, වැඩ කරන අය අතර අසමගිතා ඇති කරන කෙනෙක්. ඒ වගේ අයට බොහෝ අය අකමැතිනෙ. නෙත්මිගෙ චරිතයට ලැබෙන්නෙ ඒ වගේ අකමැති ප්‍රතිචාර. 

සල්ලි පොකුරු චරිතය? 

‘අනුරාධා’ කියන්නෙ බොහොම ආදරණීය තරුණියක්. අඳින – පලඳින විදිය, කතා කරන විදිය, හරිම වැදගත්. නෙත්මිට වඩා සම්පූර්ණයෙන් වෙනස් චරිතයක්. 

මුලින්ම රඟපෑවේ සර්කස්කාරයෝ නාට්‍යයේ ද? 

නැහැ, ‘තුත්තිරි’ නාට්‍යයේ. සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළේ. ඉන් පස්සෙ සද්ධා අයියා රචනා කළ සිල්ලර සමනල්ලු නාට්‍යයේ රඟපෑවා. ඒ නාට්‍යය මගේ රංගනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. ඊටත් පස්සෙ සිහින සමාගම, නාඩි නාට්‍යයේ රඟපෑවා. 

රඟපෑම හැර ජොබ් එකක් කරලම නැද්ද? 

මීට අවුරුදු කීපයකට කලින් ගුරුවරියක ලෙස මහනුවර ජාත්‍යන්තර පාසලක සේවය කළා. ඊට අමතරව ටියුෂන් ගුරුවරියක ලෙසත් කටයුතු කළා. ‘නාට්‍ය’විෂය ගැන ඉගැන්නුවෙ. 

‘දිව්‍යා’ සැබෑ ජීවිතයේ දී මොන වගේද? 

විශ්වාස කරන්න කරාබු දාන්නවත් අකමැති කෙනෙක් මම. සරලව ඉන්න කැමතියි. ජීවිතය මහා බරක් ලෙස ගන්න කැමැති නැහැ. බොහොම සරලව සැහැල්ලුවෙන් ගත කරන්න කැමැති කෙනෙක්. මුලින් කිව්වා වගේ නිතරම සතුටින් ඉන්න කැමතියි. ජීවිතය වටා සිටින පිරිස අඩුයි. මම පවුලට බොහොම ළැදියි. ඒ පිරිස වටා රැඳෙමින් පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න කැමැතියි. මගේ අම්මා, නංගිලා දෙන්නා, මගේ සැමියාගේ අම්මා සහ අපේ පවුල් දෙකේ අය තමයි මගේ ජීවිතේ වටා සිටින අය. ජීවිතය සතුටින් ගෙවන්නෙ ඒ පිරිස එක්කයි. 

ඔබගෙ ආදර කතාව ගැන කිව්වොත්? 

අපි දෙන්නා විවාහවෙලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා. සැමියා ආරක්ෂක අංශයේ සේවය කරන්නෙ. එයා මගේ වැඩවලට ලොකු සහයෝගයක් ලබාදෙන්නෙ. රංගන ශිල්පිනියකට අවශ්‍ය මානසික නිදහස එයා මට දීලා තියෙන්නේ. විවාහ ජීවිතය මම හරිම සතුටින්. 

අද රඟපෑමට බොහෝ දෙනෙක් ඇවිත්? මොකද හිතෙන්නෙ? ඒ ගැන? 

දක්ෂ අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඉස්සර වගේ නෙවෙයිනෙ. දුරකතන සේවා පවා අද බහුලයි. ඒ නිසා බොහෝ දේ සොයාගන්න පහසුයි. දක්ෂ වගේම ලස්සන පිරිස බොහෝමයි. ඒක ලොකු දෙයක්. මේ දක්ෂතාව සහ ලස්සන හරි විදියට පාවිච්චි කළොත් හොඳයි. වැරදි විදියට නැතුව.

දිව්‍යා, වේදිකාවෙන් ආ ශිල්පිනියක ලෙස අද වේදිකාව කෙරෙහි ප්‍රේක්ෂකයින්ට ඇති දුරස්ථබව ගැන හිතන්නෙ කොහොමද? 

අර්බුදකාරී තත්ත්වයක් තියෙන බව පෙනෙනවා. අද බොහෝ දෙනා ඉතාම කාර්ය බහුලයි, එදාවේල වෙනුවෙන් ජීවන සටනට උරදෙන්න වෙලා. ටෙලිනාට්‍යය නැරඹීමට  ජංගම දුරකථනයෙන් පවා පුළුවනි. නමුත් වේදිකා නාට්‍යයක් ඒ විදියට නරඹා රස විඳින්න බැහැ. ඒ වෙනුවෙන් රඟහලකට යන්න ඕනෑ. ප්‍රවේශපත පවා මිල වැඩියි. මේ ස්වභාවය නිසා වේදිකාව වටා සිටින ප්‍රේක්ෂකයින් වගේම නිර්මාණකරුවන් මේ තත්ත්වය මත අසරණ වෙලා ඉන්නෙ. නාට්‍යයක් පුහුණු කිරීමේ සිට නළු නිළි පිරිස හසුරවමින් කළ යුතු මෙහෙයුම ලෙහෙසි නැහැ. නාට්‍යයක් වෙනුවෙන් පෙර වියදමක් දරලා එය වේදිකාගත කිරීමෙන් මේ තත්ත්වය යටතේ ලාබ ලබන්නත් අමාරු ඇති. කොහොම වුණත් නාට්‍යය නැරඹීම සඳහා වූ ප්‍රේක්ෂක පිරිසක් අපට සිටිනවා. 

ඔබ කිව්වා කරාබු, මාල, වළලු දාන්න කැමති නැහැ කියලා. ඒකට හේතුව? 

අකමැතිකම නිසයි. 

ගෘහණියක සහ බිරිඳක් ලෙස ඔබ හිතන විදිය? 

බිරිඳක් සහ ගෘහණියක් ලෙස කළමනාකරණය කර  ගනිමින් කටයුතු කරන්නට සැමියාගේ සහායත් අවශ්‍යයි. රඟපෑමේ වෘත්තියේ හැටියට ගෙදර වැඩ සහ සැමියාගේ  කෑම බීම ගැන සොයා බලන්න බොහෝ වෙලාවට ඉඩක් ලැබෙන්නෙ නැහැ. එතකොට හස්බන්ඩ්ගෙන් සහයෝගයක් ලැබෙන්න ඕනෑ. ඒක මට මගේ සැමියාගෙන් ලැබෙනවා. අපි දෙන්නා සහයෝගයෙන් වැඩ බෙදාගෙන කරන නිසා ප්‍රශ්න නැහැ.

සාමාන්‍ය ජීවිතයේදී ඔබ ජංගම දුරකථනයට බෙහෙවින් සමීප කෙනෙක්ද? 

සාමාන්‍යයෙන් ජංගම දුරකථනය පාවිච්චි කරන්න පටන් ගත්ත දවසෙ ඉඳලාම මම මැසේජ් යවන්න, දිගින් දිගට කෝල් ගන්න අකමැති කෙනෙක්. ඒක මගේ විදියයි. මුහුණට මුහුණ හමුවී කතා කරන්න තමයි මම වැඩියෙන්ම ආසා කරන්නෙ. ඒ හැර ජංගම දුරකතනය පාවිච්චි කරන්නෙ ‘යූ ටියුබ්’ වගේ දේ නැරඹීමට. අපට ඉගෙනීමට ගත හැකි දේ බොහෝ දේ යූ ටියුබයෙන් ගත හැකියි. එය අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න ගත්තොත් තමයි ප්‍රශ්න. ජංගම දුරකථනය කියන්නෙ ඇත්තටම දැළි පිහියෙන් කිරි කනවා වගේ උපාංගයක්. හරියට පාවිච්චි කළොත් හරි. 

ඒ කියන්නෙ දිව්‍යා සමාජ මාධ්‍යයට ළැදි නැහැ? 

අපෝ නැහැ. කාලයක් මම ෆේස්බුක්වලින් ඈත්වෙලාම හිටියා. මේ නිසා ක්ෂේත්‍රයේ අය පවා හිතලා තිබුණෙ මම වැඩ කරන්නේ නැතුව ඇති කියලයි. කොහොම හරි සෝෂල් මීඩියාවලත් ඉන්න වෙනවා. නැත්නම් ඒකත් එක්තරා විදිහක ප්‍රශ්නයක් වෙනවා. හැබැයි පුද්ගලික ජීවිතේ දේ සමාජ මාධ්‍ය හරහා  බෙදාගන්න මම කැමති නැහැ. 

සඳුන් ගමගේ