විවාහය ගැන තෝරාගත්ත ඒ විදිය හරියටම හරි. ඒ නිසා තමයි අද මම සතුටින් ඉන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සැබෑ ජීවිතයයි, නළුකමයි පටලවා නොගෙන, රංගනයට පැමිණිදා සිට යහපත් දිවියක් ගත කරන ශිල්පියකු ලෙස රොෂාන් රණවන හඳුන්වන්න පුළුවනි. එයාට ඒ යහපත් චර්යාවේ සහතිකය දීලා තියෙන්නෙත් කලා ක්ෂේත්‍රයේම අයයි. කොහොමටත් ප්‍රේක්ෂකයන් අතරත් රොෂාන් රණවන වඩා ආදරයට පත්ව සිටින්නෙත් ඔහුගේ නිහතමානීකම නිසාමයි. ඒ විදියට කාගේත් ආදරය ලබා සිටින රොෂාන් මේ දිනවල අපට හමුවන්නෙ නිමි චිත්‍රපටයේ චරිතයක් සමගයි. රොෂාන් රණවන නමැති ඒ කඩවසම් හැඩකාරයා එක්ක මේ වෙලාවේ කතාබහකට එක්වුණොත් හොඳයි නේද ?

කොහොම ද මේ දිනවල ජීවිතය?

වරදක් නැතුව රටේ ප්‍රශ්න එක්ක, අනෙක් මිනිස්සු වගේම අපිත් ජීවිතය ගෙවනවා.

රටේ පවතින ප්‍රශ්න එක්ක රඟපෑමට ඇති අවස්ථා මොන වගේ ද?

රටම කඩා වැටුණු අවස්ථාවක් වූ නිසා කලා ක්ෂේත්‍රයටත් එය ඉහළින්ම බලපෑවා. දැන් ටික ටික නැගිටින මොහොතක්. ඉතින් ඒක හොඳ පරිසරයක්. චිත්‍රපට රංගනයට අමතරව, ටෙලිනාට්‍ය රංගනයකටත් මෑතක දී දායක වුණා.

රොෂාන් බොහෝ වෙලාවට ෆිල්ම්ස්වල විතරයි නේද රඟපාන්නෙ ?

එහෙමම නැහැ. ඒ දිනවල සිට ටෙලි නාට්‍යවල රඟපෑවා. හොඳ චරිත සහ විශේෂයෙන් මට ගැලපෙන චරිත ලැබුණොත් බාරගන්නවා. නිතරම පුංචි තිරයේ හිටියෙ නැතත්, සැරින් සැරේ රඟපානවා. මොකද පුංචි තිරයත් අපට අවශ්‍යයි. චිත්‍රපට කර්මාන්තයේම නියැලි සිටියත් සමහර අවස්ථාවල දී සිනමාවෙ දී අපට නොලැබෙන චරිත ටෙලි නාට්‍ය වලින් ලැබෙන්න පුළුවන්. මේ දිනවල චිත්‍රපට ක්ෂේත්‍රය ඉස්සර තරමට සරුසාර නැහැ. ඒ නිසා වෘත්තිය රංගන ශිල්පීන් ලෙස අපට මේ සෑම දෙයක් ගැනම හිතන්න වෙනවා. ඒ නිසා සමබරව සියල්ල කිරීම කළයුතු දෙයක්.

මේ දිනවල නිමි චිත්‍රපටයේ විතර ද ඔබගෙ රඟපෑම් දැක ගන්න ලැබෙන්නෙ?

නිමි චිත්‍රපටයට අමතරව බොහෝ විට මේ නොවැම්බරයේ දී මා රඟපෑ රුහිරේ චිත්‍රපටය තිරගත වේවි. පබෝදා සංදීපනි, මහේෂි මධුශංඛා එහි රඟපානවා. නිමි නිමා නොවීමට පෙර රුහිරේ තිරගත වේවි.

නිමි ඔබගෙ චරිතයෙ නම?

රිචඩ්, රදළ පැළැන්තියක චරිතයක්. රදළ පවුලකට අයත් චරිතයක්. සාවිත්‍රිව මුණ ගැසුණාම, රිචඩ් නිසා ඇයගේ ජීවිතය වෙනස් වූ හැටි චිත්‍රපටය පුරා ගලා යනවා. සාවිත්‍රි කියන්නෙ වලව්වෙ මුරකාරයාගෙ දුව. සමාජයේ උස් පහත් භේදය සහ සාවිත්‍රිට අවසන අත්වන්නේ කෙබඳු ඉරණමක්ද? යහපතක්ද? කියලා නිමි නරඹා දැනගන්න පුළුවනි. දැනට ලැබෙන ප්‍රතිචාර නම් හොඳයි. කළින් කළ චරිත එක්ක සසදද්දී මේ චරිතය ඒවාට වඩා වෙනස්. ලොකු චරිත පිපාසයක සිටි කාලයක දී මට ඒ අවස්ථාව මුදාහරින්න ලැබුණු හොඳ අවස්ථාවක් ‘නිමි’. ප්‍රේක්ෂකයන්ට මගේ රංගන හැකියාව වෙනස් විදියකට පෙන්වන්න ලැබුණ චිත්‍රපටයක්.

කොහොම ද නිමි චිත්‍රපටයේ රිචඩ්ගෙ චරිතයට ඔබගෙ ආදරණීය බිරිඳ කුෂ්ලානිගෙන් ලැබුණු ප්‍රතිචාර ?

එයත් මේ කතාව දකින්නෙ වෙනස් කතාවක් ලෙස. ඒ වගේම මගේ රංගනයේ වෙනස් චරිතයක්, ඔයාට රඟපෑමට දෙයක් තිබූ චරිතයක් කියලයි ඇය කිව්වෙ. රුහිරේ කළ චරිතයත් ඒ වගේමයි.

රොෂාන් ඔබට ගෙදර චරිතයේ දී මොන වගේ දෙයක් කරන්න ද තියෙන්නෙ ?

ගෙදරදී ඉතින් සැමියා සහ පියාගේ භූමිකාවනෙ කරන්න තියෙන්නෙ. බිරිඳයි මමයි ගෙදර අපි දෙන්නගෙන් විය යුතු වගකීම් වැඩ බෙදාගෙන තියෙන්නෙ. ගෙදර අස් කරන එකේ සිට දරුවා බලා ගැනීම දක්වා ඒ වැඩ අපි දෙන්නා සම සමව කරන්න උත්සාහ ගන්නවා. වැඩ බෙදා ගැනීමකට වඩා කළ යුතු දේ ගැන දෙදෙනාටම හොඳ වැටහීමක් තියෙන බව කියන්න පුළුවනි.

පියකුගේ චරිතය මොන වගේ විය යුතුය කියල ද හිතන්නෙ ?

අපි කතාබහ කරන දේ වගේම හැසිරීම ඉතා වැදගත්. දරුවා බොහෝවිට අනුගමනය කරන්නෙ, අනුකරණය කරන්නෙ වැඩිහිටියන්ගෙ චර්යා රටාවන්. ඉතින් පියකු ලෙස ලොකු වගකීමක් තිබෙන්නෙ. දරුවාගේ පෝෂණයේ සිට සියලු දේ ගැන අපට අවබෝධයක් තිබීම ඉතා වැදගත්. දැන් පුතාගේ වයස අවුරුදු 3 යි.

පුංචි පුතා මොනවගේ දේවලට ද වැඩි කැමැත්තක් දක්වන්නෙ ?

සංගීතය, චිත්‍ර වගේ දේට වැඩිය කැමති බව තමයි පෙනෙන්නෙ.

රොෂාන් තාත්තා කෙනෙක් වූ පසුව රොෂාන්ගෙ තාත්තා ගැන දැනුණෙ මොන විදියට ද?

මම හිතන්නෙ හරියටම තාත්තා කෙනෙක් ගැන දැනෙන්නෙ තමනුත් තාත්තා කෙනෙක් වූ පසුවයි. අපි වෙනුවෙන් එයා කොච්චර මහන්සි වෙන්න ඇති ද කියන එක පෙනෙන්නෙ නැති දෙයක්. ඒක තේරුම් ගන්න සහ තාත්තා කෙනෙක්ගෙ භූමිකාව කෙතරම් දුරට ප්‍රබල ද කියන දේ දැනුණෙ මාත් තාත්තා කෙනෙක් වූ පසුවයි. ඒ දිනවල සිට අපට බොහෝවිට පෙනෙන්නෙ අම්මගේ භූමිකාව. ඒත් තාත්තා කෙනෙක් කියන්නෙ බොහොම නිහඬව කළයුතු වගකීම් ඉටු කරන චරිතයක්. මට මගේ දරුවා එක්ක සිටින අවස්ථාවල දී මගේ ළමා කාලයේ මතකය සිහිවෙනවා.

අද රටේ ලෝකයේ සිදුවන සිදුවීම් එක්ක බලද්දී, ඔබ පියකු ලෙස දරුවාගේ වගකීම් ගැන හිතන්නෙ කොහොම ද?

අද කාලයේ හැටියට දරුවකු රැකබලා ගැනීමේ දී, අම්මගෙ සහ තාත්තාගේ යටතේ හැරෙන්නට වෙන පිටස්තර කා ළඟවත් තැබීම සුදුසු නැහැ. මුලින්ම මට කියන්න තියෙන්නෙ එයයි. වෙන අය ළඟ දරුවා තැබීම අද කාලයේ හැටියට කොහෙත්ම සුදුසු නැහැ. ඒ නිසා හැකි තරම් දුරට මව හෝ පියා යටතේ දරුවා බලා ගැනීම වැදගත්. ගෙදර වැඩට අය සිටීම හොඳ වෙන්න පුළුවන්. ඒත් වගකීම් සහ දරුවාගේ කටයුතු කිරීමේ දී මව පියා මූලික විය යුතුම බව මගේ හැඟීමයි. මොකද සියල්ලට වඩා ආරක්ෂාව අද වැදගත්. ඒ වගේම අද පවතින සමාජයෙ ස්වභාවය සහ විදිය තේරෙන කාලයෙ ඉඳලම දරුවට කියාදීම ඉතා වැදගත්. ස්පර්ශයේ දී ඒ කියන්නෙ දරුවා සිප වැළඳ ගැනීම්වල දී අම්මා තාත්තාට හැර වෙන පිටස්තර අයට ඒ දේ කිරීමට (ඕනෑවට වඩා) ඉඩහැරීම කළ යුතු නැහැ.

දරුවාගෙ අධ්‍යාපනය වෙනුවෙන් අද මව්පියන් අතර තරඟයක්නෙ තියෙන්නෙ? රොෂාන් ඉන්නෙත් ඒ තරඟකාරී රටාවෙ ද? මේ නිසා ළමයකුට නිදහස නැහැ කියන එක තමයි කියන්නෙ. රොෂාන් ඒ ගැන හිතන්නෙ කොහොම ද?

ඇත්ත, අද ළමයකුට නිදහස නැහැ තමයි, අපි මුලින්ම කළ යුතු දේ වන්නෙ ළමයාගෙ නිදහස ළමයාට ලබාදීමයි. අවුරුදු 5 වෙනකල් හෝ නිදහසේ එයාට රිසි පරිදි ජීවිතය ගෙවා දැමීමට ඉඩ පරිසරය ලබාදීම වැදගත්. ළමයා අත්හදා බැලීම් කරන කාලයේදී, අපිට කැමති දේ දරුවා ලවා කරවීමට පෙළැඹීමට වඩා දරුවා කැමති දේ වටහාගෙන ඒ විෂයයට යොමු කිරීම වැදගත්. ජනප්‍රිය පාසල් සොයා, පාන්දර අවදි කරවා අනවශ්‍ය පීඩනයක් දීම හොඳ දෙයක් නෙවෙයි. මම නම් ඒ රේස් එකේ නැහැ. සියයට සීයක් නැතත්, පියකු ලෙස වඩා නිවැරදි දේ මම කරනවාය කියලා මම හිතනවා. යම් අවබෝධයකින් හරිම දේ කරන්න උත්සාහ ගන්න තාත්තා කෙනෙක් කියලා මට මා ගැන කියන්න පුළුවනි.

හෝ දෙනෙක් කියන්නෙ සහ අපටත් අහන්න, දකින්න ලැබෙන්නෙ ඔබගෙ බිරිඳ කුෂ්ලානිගෙ හොඳයි. ඇය නිතර ඔබ පිටුපස සිටින, ගුණයහපත් චරිතයක් කියලයි හැමෝම කියන්නෙ, ඔබ කොහොම ද අද ඇය විග්‍රහ කරන්නෙ?

විවාහයේ දී මම අවුරුදු ගණනකට පෙරදි හරිම තේරීම කළාය කියලා මට හිතෙනවා. විවාහය ගැන තෝරාගත්ත ඒ විදිය හරියටම හරි. ඒ නිසා තමයි අද මම සතුටින් ඉන්නෙ. අපි අපේ කරන කියන දේ එක්ක, ජීවිතයේ ඉදිරියට යද්දි බිරිඳගේ අවබෝධය ඉතාම වැදගත්. අද මම මගේ වෘත්තිය නිදහසේ කරනවා නම්, ඒ වෘත්තියේ දී මා යම් තැනක සිටිනවා නම්, එහි ගෞරවය අපේ අම්මාට වගේම මගේ බිරිඳ කුෂ්ලානිටත් හිමිවිය යුතුමයි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ