වර්තමානයේ දෙමවිපියෝ, දරුවෝ අතර තියෙන සම්බන්ධය දුරස් වෙලා තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසගිය දිනවල ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගෙන තිරගත වන සිනමා නිර්මාණයක් තමයි "අපේ ප්‍රින්සිපල් "
මේ තුළ රංගනයෙන් එකතු වන යමුනා ටීචර් නිර්මාණය නරඹපු අයට නම් අමුතුවෙන් හදුන්වා දිය යුතු නැහැ. වෘත්තීය වශයෙන් ගුරුවරියක වූ ඇය නමින් ජයනි වීරසිංහ. මේ කතා බහ ඇය සමඟින්. 

මුලින්ම කියමුද, කොහොම ද ජයනිට අපේ ප්‍රින්සිපල් සිනමා නිර්මාණයට දායක වෙන්න අවස්ථාව සැලසුණේ ?

ඇත්තටම 2011 වසරේ රුපවාහිනී අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබනවත් සමඟ මට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. පසු කාලීනව මගේ වෘත්තියත් සමඟ කලාවෙන් පොඩි විරාමයක් අරගත්තා. අපේ ප්‍රින්සිපල් සිනමා නිර්මාණයේ පිටපත් රචකයා වන ලලිත් වරුණ රාජපක්ෂ තමයි මට මේ සිනමා නිර්මාණය සඳහා ආරාධනා කළේ. එහි රංගනයෙන් දායක වන ගුරු භූමිකාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා ඒ සඳහා ඔහු මට ආරාධනා කළා. මම සැබෑ ජීවිතයේත් ගුරුවරියක් නිසා සිනමා නිර්මාණය තුළදීත් ගුරුවරියකගේ භූමිකාවට සාධාරණයක් ඉටු කරන්න මට හැකියාව ලැබුණ කියලා මම විශ්වාස කරනවා. 

මේ නිර්මාණය තුළින් සමාජයට ලැබෙන දායකත්වය මොන වගේ ද ඔබ හිතන තරමට ?        

ඇත්තටම මේ වගේ සිනමා නිර්මාණයක් වර්තමානයේ සිනමාව තුළ දකින්න ලැබෙන එක වටිනා දෙයක්. ඒ වගේම දෙමව්පියෝ, ගුරුවරු, දරුවෝ එකට ඉදලා නරඹන්න පුළුවන් සුන්දර ආදර්ශමත් සිනමා කෘතියක්. වර්තමානයේ දෙමවිපියෝ, දරුවෝ අතර තියෙන සම්බන්ධය දුරස් වෙලා තියෙනවා. කාර්යබහුල ජිවිතයක් ගෙවන ගමන් එදිනෙදා රැකියා වල නිරත වෙද්දී ඒ විදියට එකිනෙකා මගහැරෙන එක සාමාන්‍ය දෙයක් වුණත් බොහෝ අවස්ථාවල ඒක හරිම ඛේදනීය තත්වයක්. ඒ විදියට දෙමවිපියන්ට මගහැරෙන නව යොවුන් වියේ දරුවන් හොද පැත්තටද වැරදි පැත්තටද නැඹුරු වන්නේ, ඒ දේවල් වලින් ඔවුන්ට වෙන යහපත අයහපත ගැන කතා බහට ලක් වෙනවා. නමුත් මේ හැමදේම එකතු වුණු සමාජයට හොඳ ආදර්ශයක් වන පැය එකහමාරක් දෙකක් තුළ ප්‍රේක්ෂකයාගේ හදවතට ආමන්ත්‍රණය කළ හැකි සිනමා නිර්මාණයක් තමයි අපේ ප්‍රින්සිපල් කියන්නේ. මේ වෙද්දී ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා නිර්මාණයට. 

ඔබේ ඉදිරි කලා කටයුතු ගැන සඳහන් කළොත් ?

මම කරන වෘත්තීය සමඟ කලා කටයුතු වලට ලැබුණු බොහෝ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා. නමුත් මම බොහෝ අවස්ථා වල සිදු කරන්නේ රුපවාහිනී වෙළෙඳ දැන්වීම් සඳහා රංගනයෙන් දායකත්වය ලබා දීමයි. ඉදිරියේදී එන්න තියෙන වෙළඳ දැන්වීම් කිහිපයක් තියෙනවා. මම රංගනයෙන් දායක වුණු පළමු සිනමා නිර්මාණය නෙමෙයි අපේ ප්‍රින්සිපල් කියන්නේ. මීට කලින් ඉන්දියානු සිනමා නිර්මාණයකට ප්‍රධාන නිළිය ලෙස මම රංගනයෙන් සහයෝගය දැක්වුවා. එම සිනමා නිර්මාණය ලංකාව සහ ඉන්දියාව එකතු වෙලා සිදු කළ සිනමා නිර්මාණයක්. මේ වසර අවසන් වන විට එම නිර්මාණය දැක ගැනීමට හැකියාව ලැබේවි. ඊට අමතරව ටෙලිනාට්‍යය තුනකට පමණ රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. 

මොකද හිතෙන්නේ මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ?

ඇත්තටම අපේ ප්‍රින්සිපල් වගේ සමාජයට යම්කිසි වටිනා පණිවිඩයක් ලබා දිය හැකි සිනමා නිර්මාණයකට දායක වෙන්න ලැබීමම මම ලද භාග්‍යයක් ලෙස සලකනවා. ඊට අමතරව මම ටෙලිනාට්‍යය නිර්මාණවලට සහභාගී වීමේ බලාපොරොත්තුවක් නැහැ. හොඳ සිනමා නිරමාණයක් ලැබුනොත් ඒ නිර්මාණයට මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව එදිනෙදා ජිවිතේ දරුවෝ එක්ක ගෙවන ජිවිතේ දවසින් දවස ගෙවෙනවා තේරෙන්නේ නැති තරම්. දරුවන්ගේ ලෝකය ඇත්තටම සුන්දරයි. 

අමා අලහකෝන්