විරාට් කෝලි අවුට් වුණාම සතුට කියලා නිම කරන්න බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක සහ ටෙලිවිෂන් නිවේදිකාවක ලෙසද කටයුතු කරන ඩිලුෂි හංසිකා යනු හොඳ ක්‍රිකට් රසිකාවියකි. ක්‍රිකට් ක්‍රීඩාව ගැන අපේ රටේ කාටද උනන්දුව නැත්තෙ? ඉතින් ‘‘ඩිලුෂි’’ ඒ වගේ උනන්දුව විතරක් තියෙන කෙනෙක් නෙවෙයි, මල්ලිලා දෙන්නා එක්ක එකතු වෙලා ඉඳහිට ක්‍රිකට් ක්‍රීඩා කරන්නත් කැමති කෙනෙක්. මේ විදියට ක්‍රිකට් ක්‍රීඩාවට හදවතින්ම බැඳී සිටින ඇය සමග කතා නොකර කොහොමද? අපි බලමු ක්‍රිකට් ගැන ඇයට තියෙන ආසාව – උනන්දුව සහ කැමැත්ත මොන වගේද කියලා? 

ඩිලුෂි, මේ දිනවල අපට හමුවන්නෙ? 

‘‘සැලෙනා නුවන්’’ නාට්‍යයේ. 

ඩිලුෂි වඩා කැමති හංසිකා කියනවටද?

‘‘ඩිලුෂි’’ කියන්න. 

ක්‍රිකට් ගැන විතරද ඩිලුෂි උනන්දුව? 

අනෙක් ක්‍රීඩා ගැනත් උනන්දුයි. පාපන්දු ක්‍රීඩාවටත් හරිම ආසයි. නමුත් නීති - රීති ඔක්කෝම තේරුම් ගන්න පුළුවන් සහ හොඳ සාධාරණ ක්‍රීඩාවක් විදිහටයි මම ක්‍රිකට් දකින්නෙ. අපෙ මල්ලිලා දෙන්නත් පාසල් සමයේ සිට ක්‍රිකට් ක්‍රීඩකයින්. ඒ දෙන්නා එක්කත් මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. 2022 ICC වර්ල්ඩ් කප් එකේ සැරින් - සැරේ විස්තර කියන්න වැඩසටහනක් මෙහෙයවූවා. ඒක මට කරන්න ලැබුණෙ ෆර්විස් මහරුෆ් ප්‍රවීන ක්‍රීඩකයා එක්ක. ඒක මට ලැබුණ ලොකු අවස්ථාවක්. ඒ නිසා මට ක්‍රිකට් ගැන තිබූ දැනුම තවත් වැඩි වුණා. 

ක්‍රිකට් ක්‍රීඩා කරද්දි, වඩා කැමති? 

බැට් කරන්න. 

හොඳට ක්‍රීඩා කරන්න පුළුවන්ද? තරගවලට එහෙම?

අපේ දහම් පාසලේ සහ තවත් තරගවලදී මම ක්‍රීඩා කළා. හොඳට බැට් කරලත් තියෙනවා. මල්ලිලා ක්‍රිකට් ගහද්දි මාත් ගිහින් එයාල එක්ක ක්‍රිකට් ගහනවා.

ආසම ක්‍රීඩාව ක්‍රිකට් වීමට හේතුව? 

ඊළඟ මොහොතේ කුමක් වේද යන කුතුහලය තියෙන ක්‍රීඩාවක්, ඒ වගේම නීති - රීති සාධාරණයි, ඕනෑම කෙනෙක්ට තරගය තේරුම් ගන්න පුළුවනි. ඒ වගේ දේ නිසා ‘‘ක්‍රිකට්’’වලට මම ආසයි.

ඉස්සෙල්ලාම නැරඹූ ක්‍රිකට් තරගය?

මල්ලිලාගෙ පාසලේ ක්‍රිකට් තරගයක්. ප්‍රින්ස් ඔෆ් වේල්ස් සහ ශාන්ත සෙබස්තියන් අතර බිග් මැච් තරගය නරඹන්නට ගියා.

ශ්‍රී ලංකා ටීම් එකේ තරගයක් නරඹන්න ගියේ? 

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයක් නරඹන්න ගියා. මුහුණෙ ෆේස් පේන්ටින් එහෙම කරගෙන, ශ්‍රී ලංකා ටී ෂර්ට් ඇඳගෙන ගියේ, අප්පච්චියි, මල්ලිලා දෙන්නයි එක්ක මුලින්ම ගියේ. පසු දවසක මල්ලිලා දෙන්නා එක්ක තරගයක් නරඹන්න ගියා. හැබැයි එදා නම් ශ්‍රී ලංකාව පරාදයි. 

පරාද වෙද්දි ආයෙ යන්න හිතෙන්නෙ නැද්ද? 

අපෝ එහෙම නැහැ. අපෙ ටීම් එක දක්‍ෂයිනෙ. අනෙක නිතරම පරදින්නෙ නැහැනෙ. ක්‍රිකට් ජය–පරාජය කොහොම වෙතත් ආසාවෙන් නරඹන්න පුළුවන් ක්‍රීඩාවක්. 

ඩිලුෂිගෙ ප්‍රියතම ක්‍රීඩකයා? 

කුමාර සංගක්කාර. 

ඇයි ‘‘සංගා’’ට කැමති? 

එයාගෙ ගතිගුණවලට වගේම, ඉතාම කැපවීමෙන් - උනන්දුවෙන් දක්‍ෂතා වර්ධනය කරගත් ක්‍රීඩකයෙක්. ප්‍රසිද්ධිය නිසා ඔලුව උදුම්මා නොගත් කෙනෙක්. දක්‍ෂතා නිසාම හරි විදියට ගමනක් ගිය කෙනෙක් කියලයි මට හිතෙන්නෙ. 

ක්‍රිකට් නිසා වඩා සතුටු වූ දවස? 

කොහොමටත් දින්නත් - පැරදුණත් මම ශ්‍රී ලංකා ටීම් එක පැත්තෙ. ශ්‍රී ලංකා ටීම් එක වෙනුවෙන් කතා කරන කෙනෙක්. ඉන්දියාව පැරදුවොත් මට මාර විදියට සතුටුයි. ඒ වගේ තරග කීපයක් මට මතක් කරන්න පුළුවන්. ඉන්දියාවට පැරදුණාම තමයි මාර විදියට දුක හිතෙන්නෙ. විරාට් කෝලි අවුට් වුණාම සතුට කියලා නිම කරන්න බැහැ.

ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැර ඩිලුෂි වැඩියෙන් කැමති? 

බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, සිම්බාබ්වෙ කණ්ඩායම්වලට ආසයි. 

ටෙස්ට්, එක්දින, ටී-ටුවෙන්ටි තරග අතරින් වඩා කැමති? 

'T-20' තරගවලට. 

ලංකා ප්‍රිමියර්ලීග් තරගවලදි වඩා කැමති කණ්ඩායම? 

කොළඹ කණ්ඩායමට. 

ලංකාවේ හැර ක්‍රිකට් නරඹන්න යන්න වඩාම කැමති රට?

ඕස්ට්‍රේලියාවට. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරින් ඩිලුෂි වඩා සිත්ගත් චරිතය? 

මිනිස්සුන්ට උත්තර දෙන විදියට සහ මේ දක්වා කළ දක්‍ෂතා බලද්දී මම වනිඳු හසරංගට ආසයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ඔයාගේ සිහින කුමාරයා වුණේ? 

සිහින කුමාරයකුට වඩා මගේ කැමැත්ත පුංචි කාලයේ ඉඳලම තිබුණෙ කුමාර සංගක්කාරට. 

ක්‍රිකට් ක්‍රීඩා කරන ‘‘තරු’’ මිතුරෝ කවුද? 

එහෙමම නැහැ. උත්සවවලදි එහෙම කතා කරල තියෙනවා. කුසල් මෙන්ඩිස් දැකලා තියෙනවා, මල්ලිලගෙ පාසලේ ක්‍රීඩකයෙක් නිසා. 

විදේශීය ක්‍රීඩකයින්ගෙන් වඩා කණ්ඩායම් ක්‍රීඩකයා විදියට දක්න්නෙ?

සාමාන්‍යයෙන් මම අකමැති වුණත්, ‘‘විරාත් කෝලි’’ගෙ පෞරුෂයට ආසයි, එයා කොහොමද එයාගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නෙ සහ කැපවෙන්නෙ කියන දේ උපරිමයෙන් පෙන්නුම් කරන ක්‍රීඩකයෙක්. රට දිනවන්න එයා නායකත්වය අරගෙන පිටියේදි ක්‍රියා කරන විදිය නියමයි. මොන රටේ සිටියත් ඒ වගේ ක්‍රීඩකයින් අගයන්න එපායැ. 

කාන්තා ක්‍රිකට් කණ්ඩායම් තරගත් නරඹනවද? 

ඉඳහිට. 

‘‘ක්‍රිකට්’’ ගැන ඩිලුෂි හිතන විදිය? 

ඒක මහත්වරුන්ගෙ ක්‍රීඩාවක් කියලනෙ කියන්නෙ. නමුත් ලංකාවේ ක්‍රිකට් හොඳ විදියට ඉදිරියට ගෙන යන්න නම්, ක්‍රීඩා කරන අය විතරක් නෙවෙයි, පරිපාලනය කරන සහ පුහුණුකරුවන් ඇතුළු සියලු දෙනාගේ කැපවීම අවශ්‍යයි. කණ්ඩායමෙන් විතරක් දක්‍ෂතා බලාපොරොත්තු වෙන්න බැහැ. කොහොම වුණත් ක්‍රිකට් කියන්නෙ හරිම සුන්දර හරියට ජීවිතේ වගේ ක්‍රීඩාවක්. හරිම සාධාරණ ක්‍රීඩාවක්. තනියම ගමනක් යනවා වගේම කණ්ඩායමක් එක්ක දිනවන්න පුළුවන් ක්‍රීඩාවක්. 

සඳුන් ගමගේ