වියළි පළිඟු අස්සේ එයා ගැන බලන්නත් ඕනෑ - මාධනී මල්වත්තගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාධනී... "වියළි" ගැන අපි  මුලින්ම කතා කරමුද?

මම මේ දවස්වල චන්දන ඉරුගල් බණ්ඩාර අධ්‍යක්ෂණය කරන, ජාතික රූපවාහිනී සේවයේ විකාශනය වන, “වියළි" ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. එහි පිටපත් රචකයා වන්නේ සමන්ත කුමාර ගමගේ. ශාන්ති දිසානායක මහත්මියගේ "දඩමංකඩ" නවකතාව ඇසුරෙන් ලියැවුණු "වියළි" වෙනස් විදියේ කතා තේමාවක්. එහි මම "පළිඟු" කියන චරිතය රඟපානවා. මෙය කර්කෂ පොළොව තුළ ජීවත්වෙන තෙතබරිත හදවත් තියෙන මිනිසුන්ගේ ජීවිතයේ ඛේදවාචකයන් එක්ක ගෙතුණු කතාවක්. ශාන්ති අක්කා හැම වෙලේම ගැහැනිය ප්‍රමුඛ කරගෙන එයාගෙ නවකතාවලින් කතා කරනවා. ගැහැනිය හරි ප්‍රමුඛයි. ඇය කොයි තරම් තාඩන පීඩනවලට ලක්වුණත් ඇය කිසි දෙයකින් සැලෙන්නේ නැහැ. නොබියව ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ප්‍රශ්න ආවත් පිරීමියෙකුට වඩා ගැහැනියට එය දරා ගැනීමේ ශක්තිය වැඩියි. ඉතින් "පළිඟු" කියන්නේ සියලු දේ දරාගෙන ජීවිතයට මුහුණ දෙන හිත හයිය ගැහැනියක්. ඇය ප්‍රශ්න ඉදිරියේ අඬනවා. හැබැයි ඒ සියල්ල දරා ගැනීමේ හයිය ඇයට තියෙනවා. ඉතින් පළිඟුගේ චරිතයට මම හරි කැමතියි.

මාධනී.. මේ දවස්වල වේදිකාවෙත් දකින්නට ලැබෙනවා?

ඔව්.. දයානන්ද ගුණවර්ධන සර්ගේ "මදුර ගී ජවනිකා" නමින් එතුමා නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය පහක ගීත සහ ජවනිකා විසි ගණනක් එකතු කරලා කරන අලුත් වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. ඒක වෙනමම අත්දැකීමක්. වේදිකා නාට්‍ය පහක් බැලුවා හා සමානයි. එය ජූනි මස 22 වැනිදා එල්ෆීස්ටන් රඟහලේදී වේදිකාගත වෙනවා. ඊට අමතරව උදයසිරි වික්‍රමරත්නගේ "සුද්දෙක් ඔබ අමතයි" සෑහෙන කතාබහට ලක්වුණු වේදිකා නාට්‍යයක්. ඒකෙ මගේ භූමිකාව "පිරිමි කියන ගෑනු සින්දු" නමින් යූටියුබ් ඔස්සේ බොහෝ දෙනා නරඹලා තිබුණා. ඒ වේදිකා නාට්‍යයත් ජූලි මස දහතුන් වැනිදා නැවතත් පුංචි තියටර් රඟහලේදි වේදිකාගත වෙනවා. ඒ වගේම ආර්.ආර්. සමරකෝන් මහතාගේ "කැලණි පාලම" වේදිකා නාට්‍යයත් දයානන්ද ගුණවර්ධන මහතාගේ "නරි බෑනා" වේදිකා නාට්‍යයත් මේ දිනවල වේදිකාගත වෙනවා. 

තවත් අලුත්ම වේදිකා නාට්‍යයකට මේ දවස්වල සූදානම් වෙනවා කියලයි ආරංචිය?

ඔව්නේ... අනුර බෙනරගමගේ අධ්‍යක්ෂණය කරන "තුරු වෙළුමා නගර වදි" වේදිකා නාට්‍යයට සූදානම් වෙනවා.  ප්‍රංශ ජාතික මොලියර්ගේ කතාවක් වන එය අනුවර්තනයක් විදිහට ජූනි මාසෙ 26 වැනිදා එල්ෆිස්ටන් රඟහලේදී සවස 6.30 ට වේදිකාගත වෙනවා.

ඔය අතරේ ගෙදර සුරතලා වෙනුවෙනුත් වැඩි කාලයක් ලබා දෙන්න සිදුවෙලා තියෙනවා. මොකක්ද හදිසියේ මේ  වුණේ?

අනේ අපේ ගෙදර සුරතල් බලු පැටියා බ්‍රවුනි. එයාව අපේ නිවස ළඟ ගෙදරක හිටපු රොට් වයලට් බල්ලෙක් කාලා බ්‍රවුනිගෙ පිටිපස්සේ කකුල කැඩිලා තියෙනවා. එය සැත්කමකින් සනීප කරගන්න පුළුවන් වෙයි කියලයි දැනට විශ්වාසය තියාගෙන ඉන්නේ. ඒ තරම් එයාගේ තුවාලේ තත්ත්වය හොඳ නැහැ. නමුත් හැම බලාපොරොත්තුවක්ම අපේ හිතේ තියෙනවා. ඉතින් මේ දවස්වල බ්‍රව්නිව පශු වෛද්‍යවරයෙක් ළඟට නිතරම එක්කගෙන යනවා. පුළුවන් හැම වෙලාවකම බ්‍රව්නි ළඟට වෙලා ඉන්නවා.

පුංචි කාලේ ඔබට රංගනයට වඩා ගායනයට වැඩි කැමැත්තක් තිබුණා නේද?

ඔව්.. මම සාමාන්‍ය පෙළ හා උසස් පෙළට විෂයන් විදිහට පෙරදිග සංගීතය හැදෑරුවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලෙත් සංගීතය හැදෑරුවා. පුංචි කාලේ පේරාදෙණිය සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී ලංකාවේ බිහිවුණු කඩඉම් නාට්‍ය මම බලලා තියෙනවා. ඒ කාලේ රාජ්‍ය නාට්‍ය උළෙලවල්වල අවසාන වට නියෝජනය කරපු, සම්මාන ලබපු, නාට්‍ය මම බලලා තියෙනවා. ඒ නිසා පුංචි කාලේ නාට්‍ය  වලට ඇල්මක් තිබුණත් විෂයක් විදියට එය හැදෑරුවේ නැහැ. උසස් පෙළ කළාට පස්සේ ආයෙත් නාට්‍ය බලන්න ඕනෑ කියන හැඟීමත් එක්ක මම මහරගම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාවක් හැදෑරුවා. ඒ පාඨමාලාවෙන් පසුව මම ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වුණා. ඒ නිසාම මම ඉගෙන ගත්ත සංගීතය යටපත් වෙලා නාට්‍යකරණය උඩට ආවා. කොහොම වුණත් පසුකාලීනව සරල ගීත දහයක් පමණ ගායනා කළා. ඉදිරියේදී එය සීඩී පටයක් ලෙසින් සමහරවිට  එළි දකීවි.

මහනුවර උසස් බාලිකාවේදී මාධනී මොන වගේ චරිතයක්ද?

පාසලේදී හැමෝම හඳුනන චරිතයක් වුණා. පාසලේදී මම නාට්‍ය එතරම් කළේ නැහැ. නමුත් පාසලේදී හැම උත්සවයකදීම රංගනයෙන් හා සංගීතයෙන් සම්බන්ධ වුණා. කුඩා කාලයේදී සන්ධ්‍යා ජයකොඩි මැඩම්ගෙන් සංගීතය හැදෑරුවා. පසුව උසස් පෙළට මංගල සමරසිරි සර්ගෙන් සංගීතය හැදෑරුවා. අධ්‍යාපන කටයුතු කරන අතරතුරේ බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙද්දි මට මගහැරෙන විෂය කරුණු සියල්ල මගේ ගුරුවරු සහ මගේ සහෝදරියන් නැවතත් මට කියලා දුන්නා. ඒ අය මට පොත් දුන්නා. පාසලෙන් මට  ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම මගේ අම්මා තාත්තා මගේ සහෝදරයා සහ සහෝදරිය කලාවට බොහොම ළැදියි. මට මතක හැටියට මම පහ වසර ඉගෙන ගනිද්දී මම තාත්තාගෙන් වයලීනයක් ඉල්ලද්දී මට තාත්තා ඒක ගෙනත් දුන්නා. කාලයක්  ආනන්ද පෙරේරා සහ අශෝක පෙරේරා ගුරුවරුන් දෙපළ යටතේ මම සංගීතය හැදෑරුවා.

විශ්වවිද්‍යාලයේදී ඔබට "මනමේ"කියන්නේ ඇයි?

මම විශ්වවිද්‍යාලට යන්න කලින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මනමේ" "සිංහබාහු" නිර්මාණවලට සම්බන්ධවෙලා හිටියා. ඉතින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී අපිව රුග් කරද්දී "උඹව දැකල පුරුදුයි" කියලා කියද්දී මට මගේ චරිත ගැන කියන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ ඉඳන් විශ්වවිද්‍යාලයේදී මට "මනමේ" කියන කාඩ් එක වැදුණා.

ළඟදී නැවතත් මාධනීගෙන් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙයිද?

අපි "ඩිතිරුම්බය Academy of  Theater” කියලා ඇකඩමි එකක් කොළඹ නාඩා ආයතනයේ පටන් ගත්තා. මේ ක්ෂේත්‍රයට පිවිසෙන්ට හිටපු නවකයන්ට ඒක හොඳ අවස්ථාවක් වුණා. මම පළමු හා දෙවැනි කණ්ඩායම් දෙකෙන්ම වේදිකා නාට්‍ය දෙකක් කළා. ඔවුන්ට හොඳ මාවත් අද වෙද්දි විවෘත වෙලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඊළඟ කණ්ඩායමත් නොබෝ දිනකින් පටන් ගන්න සූදානම් වෙනවා.

• දිශානි ජයමාලි