’වෙන්වෙලා ඇයි ඔයා’ රැගෙන එන රණවිරුවා ඕෂධ හේමන්ත
මේ දිනවල සමාජ මාධ්‍ය, විද්‍යුත් මාධ්‍යවල බෙහෙවින් ජනාදරයට පත් ‘වෙන්වෙලා ඇයි ඔයා.. කාගෙද දැන් ඔයා’ ගීතයේ ලයාවින්ත කටහඬේ හිමිකරු ඔහුයි. කණ්ඩායම් සංගීතයෙන් සංගීත කේෂ්ත්‍රයට අත්පොත් තැබූ ඔහු තරුණසේවා සභාවේ ෂර්ලි වෛජයන්ත සහ සෝමසිරි මැදගෙදර ගුරුවරු යටතේ සංගීත හදාරා ප්‍රේමසිරි කේමදාස මාස්ටර් යටතේද තම ගායන හැකියාවන් ප්‍රගුණ කළ ඔහු නව පරපුරේ ගායන ශිල්පි ඕෂඳ හේමන්තයි. තම සංගීත දිවිය පිළිබඳ ‘සැඳැල්ල’ සමග දොරමළු වුයේ මේ අයුරිනි.
මේ දිනවල බෙහෙවින්ම ප්‍රේක්ෂක ජනාදරයට පත් ‘වෙන්වෙලා ඇයි ඔයා’ ගීතය පිළිබඳ සඳහනක් කළොත්?
‘වෙන්වෙලා ඇයි ඔයා’’ මගේ පළමු නිර්මාණයයි. වැඩි කාලයත් අරන් ඉතාමත් සෙමින් විවිධ අත්හදා බලමින් තමයි මේ ගීතය නිර්මාණය කළේ. ඒ වගේම එය ඉතාමත් සාර්ථක වුණා. ගීතයේ පද රචනය අනුරාධා ඒකනායක, සංගීතය සහ තනු නිර්මාණය ප්‍රියන්ත නාවලගේ රූප රචන අධ්‍යක්ෂණය මිලාන් බාලගේ සහ ජනප්‍රිය රංගන ශිල්පි දෙපලක් වන චතුරංග කොඩිතුවක්කු සහ රුක්ෂානා දිසානායක තමයි ගීතයට රංගනයෙන් දායක වුණේ. ඉතින් මේ සැවොමගේ එකතුවෙන් හොඳ නිර්මාණයක් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.
රියැලිටි සංගීත වැඩසටහන් කීපයකින්ම ඔබගේ දක්ෂතා දැක ගන්න ලැබුණත් ජනතාවගේ වැඩිම මනාපය හිරුස්ටාර් වේදිකාවෙන් ලැබීම ඔබගේ සංගීත දිවියට පිටුවහලක් වුණා නේද?
මුළින්ම සිරස ටීවි සුපර්ස්ටාර් රියැලිටි තරගයට ඉදිරිපත් වී අවසන් 100 දෙනා අතරට තේරි පත්වුණා. ඒ ලංකාවේ රියැලිටි තරගවල මුල්ම අවස්ථාවයි. එම තරග වැඩසටහනෙන් පසුව මම ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියා ලෙස වසර ගණනාවක් කටයුතු කළා. ඉන් අනතුරුව නැවතත් ජනතාව අතරට එන්න අවස්ථාව ලැබුණේ හිරුස්ටාර් රියැලිටි තරගය හරහායි. එය මගේ සංගීත ක්ෂේත්‍රයේ එක්තරා සංධිෂ්ඨානයක්්. මටම කියලා රසික කණඩායමක් මා වටා රොක්වුණා එය මගේම නිර්මාණයක් කිරීමට විශාල රුකුලක් වුණා. ඒ අනුව තමයි ‘‘වෙන්වෙලා ඇයි ඔයා’’ ගීතය නිර්මාණය වුණේ.
ඔබගේ පවුල රණවිරු සංගීත පවුලක්. ඒ ගැන සඳහනක් කළොත්?
‘‘ඔව්. මගේ අම්මා තාත්තා අයියලා දෙන්නා නංගි සැවොම සංගීත කෂේත්‍රයට සම්බන්ධයි. මම ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙක් ලෙස කටයුතු කරන අවධියේම මගේ අයියත් එම කණ්ඩායමේම ගායන ශිල්පියෙක් ලෙස කටයුතු කළා. ඒ වගේම මගේ නංගිත් යුද හමුදා සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිණියක් ලෙස සේවය කළා.
ඔබ සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කොහොමද යන්න මතකය අවධි කලොත්?
පාසල් යන අවධියේදිම මගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා සිටි මදාරා සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියෙක් ලෙස එළිමහන් ප්‍රසංග කළාවට අවතීර්ණ වෙන්න හැකියාව ලැබුනා. ඒ වගේම ස්වර්ණවාහිනිය විසින් සංවිධානය කළ ස්වර්නවර්ණ ගී තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් අතර අයි.ටී.එන් එක සංවීධානය කළ තුරුණු තරු තරගයෙන් අවසාන දස දෙනා අතරට තේරි පත්වුණා. ඒ වගේම අපි පාසල් යන කාලේ මගේ අම්මා මාවයි ලොකු අයියාවයි ගීත තරගවලට එක්කරගෙන යනවා. අයියා විවෘත අංශයේ පළමු ස්ථානය ලබා ගන්නකොට මම ළමා අංශයේ පළමු ස්ථානය ලබා ගන්නවා. අපි අම්මත් එක්ක කිලෝමීටර් ගණන් පයින් ගිහින් ඇති තරගවලට ඉදිරිපත් වෙන්න.
ඔබගේ ඉදිරි සංගීත දිවිය පිළිබඳ සඳහනක් කළොත්?
මගේ ‘වෙන්වෙලා ඇයි ඔයා’’ ගීතයට අමතරව ඩිලාන් ගමගේ ලියූ ‘යායුතුයි දුරකට’ ගීතයේ වැඩිකටයුතුත් මේ දිනවල කෙරීගෙන යනවා ළඟදීම එයත් එළිදක්වන්න කටයුතු සූදානම් කර තිබෙන අතර ශෙහාන් ගලහිටියාවත් මගේ තව ගීතයක් පද රචනය කරමින් ඉන්නවා.’’