විනෝද සමය ඉවරයි
තම දරුවා පාසලට බාරදෙනු පිණිස පියෙක් විදුහල්පති හමුවීමට ගියේය. ඒ ගියේ සිය පුතාද සමගය.
පියා සරමකින් සහ කමිසයකින් සැරසී සිටි අතර පුතා සිටියේ බාච්චු කොට කලිසමකින් සහ කමිසයකින් සැරසී වතුර බෝතලයක් කරේ එල්ලාගෙනය. පොතක් සහ පැන්සලක් අතක විය.
‘හොඳයි. අපි එහෙනම් මේ ඉල්ලුම් පත්‍රය පුරවගෙන ඉමු.’
විදුහල්පති කීවේ පිය පුතු දෙදෙනාම දෙස බලමිනි.
‘පියාගේ නම?’
‘පියසේන.’
උත්තර දුන්නේ දරුවාය.
‘හොඳයි. එතකොට දැන් කියන්න ඔය ළමයගෙ නම?’
විදුහල්පති කීවේ දරුවා දෙස බලාය.
‘මගෙ නම... ලියාගන්න... පියසේන.’
‘පියසේන... හොඳයි එතකොට මේ දෙන්නගෙම නම එකයිද?’
විදුහල්පති ඇසුවේය.
‘නෑ දෙකක්.’
දරුවා කීවේය.
‘දෙකක් නම් පියාගේ නම ඇහුවාම පියසේන කිව්වෙ.’
විදුහල්පතිට යකා නැග්ගේය.
‘ඔව්... පියාගේ නම පියසේන තමා.’
‘එහෙනම් දැන් දෙකක් කිව්වේ?’
‘ඒ මගෙයි මෙයාගෙයි.’
දරුවා කීවේ සිය තාත්තාව පෙන්වමිනි.
‘හොඳයි ආයෙ කියමු බලන්න. ඔය ළමයගෙ නම?’
විදුහල්පති ඉල්ලුම් පත්‍රය මුල සිටම පුරවන්නට විය.
‘පියසේන.’
‘හරි... ඊළඟට කියන්න පියාගේ නම?’
‘පියසේන...’
ඒ පාර ආයෙ කියනවා පියාගේ නම පියසේන කියලා. හොඳයි කවුද දැන් පියා.’
‘මම’
දරුවා වහා ඉදිරියට ආවේය.
‘මට හැමෝම කියන්නෙ පියා කියලා.’
ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, සැමුවෙල් රුද්‍රිගු තුන් දෙනාගේ ‘විනෝද සමයේ’ දුටු එක් සිද්ධියක් එසේ මගේ මතකයේ අලුත් වූයේ බර්ටි ගුණතිලක මෙලොවින් සමුගෙන ගිය බව ඇසුණු මොහොතේමය.
ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ‘විනෝද සමය’ යනු එකල අපි ආශාවෙන් සවන් දුන් වැඩසටහනකි. කටපුරා සිනාසෙන්නට ඉඩකඩ සැලසූ විනෝද සමයේ අප වඩාත් ප්‍රිය කළේ බබාගේ චරිතය නිරූපණය කළ බර්ටි ගුණතිලකටය.
මුලින් හඬ පමණක් ඇසුණ ඇනස්ලි, බර්ටි, සැමුවෙල් තුන් දෙනා රූපවාහිනියේ පැමිණීමත් සමග අපට දකින්නට හැකිවිය. සූප්පුවක් කටේ ගහගෙන සිටි පොඩි එකා හෙවත් බර්ටි දුටු විට සිනා නැගුණේ නිරායාසයෙන්මය.
වරක් ගුටි කෙළියකට මුහුණ දුන් බර්ටි ගුටි කෑ ආකාරය විනෝද සමයේදී අමාරිස් අයියාට පැවසුවේ ‘ඌ මට ගැහුවා මට ඌ ගැහුවා’ යනුවෙනි. ‘එතකොට මමමනේ ගුටිකාලා තියෙන්නේ’ අමාරිස් අයියා කී විට අන්තිමේදී බර්ටි ම තේරුම් ගත්තේය.
මෙබඳු කතා මහ ගොඩක් විනෝද සමයෙන් අපේ කනට වැටිණි. ආප්ප වාටියට අත කැපී මියගිය පුද්ගලයන් ගැන අපට මුලින්ම ඇසුණේද විනෝද සමයෙන්මය.
මේ නිසා එකල මාසික රැඟුම යද්දීත් අප බලා සිටියේ විනෝද සමය ගෙන සැමුවෙල්, බර්ටි, ඇනස්ලි එනතුරුය.
තවත් සිද්ධියක් මගේ මතකයට එයි. එකල බොහෝ ප්‍රසංග වේදිකාවලද අතරතුරේ විනෝද සමය රඟදැක්විණි. දුර බැහැර සංදර්ශනයකට යන්නට ඔවුන් තුන් දෙනා කුලී කාරයක් ‘හයර්’ කර ගත්තේය.
‘අපි අපේ නාට්‍යය පුරුදු වෙමුද?’
ටික දුරක් යද්දී එක්කෙනෙක් යෝජනා කළේය.
‘ඒක හොඳයි අපි එහෙම කරමු’ කී අනෙක් දෙදෙනා ඔවුන්ගේ එදාට නියමිත ජවනිකාව පුරුදු වන්නට වූහ. එය රණ්ඩුවකි. මේ රණ්ඩුවේ කෙළවර, එකෙක් තවකෙකුගේ ගෙල මිරිකීමය. පසුව අනෙකා මහ හඬින් කෑ ගසන්නේ සගයා බේරා ගන්නටය.
රණ්ඩුව දුර දිග යනවිට කුලී රියේ රියදුරා බියට පත්විය. ඔහු සිතුවේ කාරයට නැගුණු තුන්දෙනා ඇත්තටම රණ්ඩු වන බවය.
ඔහු කුලී රිය අසල තිබූ පොලිසියකට අල්ලා කාරය නතර කර පොලිසියට දිවගොස් කාරයට නැගුණු තුන්දෙනා මිනී මරාගන්නා බව පැවසුවේය. පොලිසියේ අය පැමිණ රියට එබෙන විටත් තුන් දෙනාගේ රණ්ඩුව එහෙමමය.
පොලිසියේ අය කළේ තුන් දෙනාවම ස්ථානාධිපති වෙත කැඳවාගෙන යෑමය.
‘අපි සැමුවෙල්, බර්ටි, ඇනස්ලි තුන්දෙනා. අපි මේ ෂෝ එකකට යන ගමන්. අපි ඒ නාට්‍යයි පුහුණු වුණේ.’
ඔවුහු උත්තර දුන්හ.
එදා ඔවුනට ඒ ජවනිකාව යළි පොලිසියේද රඟ දක්වන්නට සිදුවිය.
මෙබඳු කතා ඕනෑ තරම් තිබේ. ඒ හැම කතාවක්ම විනෝද සමය සේම හිනායන සුළුය.
මේ තුන් කට්ටුවේ සැමුවෙල් සහ ඇනස්ලි නික්ම ගොස් සෑහෙන කාලයකි. බර්ටි ගොඩකවෙල සිය දියණියගේ නිවෙසක සතුටින් ජීවත් වූයේය. ඔහුගේ උපන් දිනවලට පුංචි සැමරුම් පිංකම් ආදියද කෙරුණ බව අපට ආරංචි වූයේය. විටින් විට ඔහුගේ සම්මුඛ සාකච්ඡාද අපි පළ කළෙමු. ඒ හැම විටෙකම අපි ඔහුට දීඝායු පැතීමු.
එහෙත් ගෙවීගිය සතියේ දවසක ඔහුගේ විහිලු කතා සියල්ල නිමා වූයේය. ඒ සිනාවේ කෙළවර ඇත්තේ කඳුළ බව අපට පසක් කර දෙමිනි.
එහෙත් බර්ටි ගුණතිලක කී විට අපේ දෙතොලට එන්නේ සිනාවක් මිස දෙනෙතට කඳුළක් නොවේ. හේතුව ඔහු අපට කියා දුන්නේ සිනාසෙන්නටය.