විදෙස් රටක ප්රවෘත්ති අංශයක සේවය කරන්න ලැබිම භාග්‍යයක්
නිවේදන ක්ෂේත්රයට මුලපිරු දිනුෂි ධිරසිංහ සමගින් සාරවිට අප කතා කළා. කාලයක් ලංකාවේ රූපවාහිනි මහගෙදර වූ ස්වාධින රූපවාහිනි නාළිකාවේ ප්රවෘත්ති අංශයේ නිවේදිකාවක් බවටද ඇය පත්ව සිටියහ. මේ වනවිට දිනුෂි චිනයේ රැඳි සිටින අතර, එහිදි දේශිය නාලිකාවක් වෙනුවෙන් නිවේදන කටයුතුවල නිරතව සිටින්නිය. මේ දිග හැරෙන්නේ ඇය අප සමගින් කළ කතා බහයි.
දිනූෂි කියන්නේ කවුද?
ඔබ අහන්නෙ වෘත්තිය ගැන නම්, මම නිවේදිකාවක්. දැනට චීන මාධ්‍ය සමූහයේ සිංහල අංශයේ විදේශීය මාධ්‍ය උපදේශකවරියක් හැටියට සේවය කරනවා. වෘත්තියෙන් පරිබාහිරව හිතුවොත් මම බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ දිහා බලන, සරල විදියට ජීවිතේ අත්විඳින කෙනෙක්.
ස්වාධීන රූපවාහිනි නාලිකාව සමග එකතු වුණේ කොහොමද?
මම 2018 වසරේ යෞවන සම්මාන උළෙලේ හොඳම යොවුන් නිවේදිකාව ලෙස සම්මාන දිනුවා. ස්වාධීන රූපවාහිනී නාලිකාවට මම අයදුම් කළේ ඊටපස්සෙ. සම්මුඛ පරීක්ෂණ කිහිපයකට පස්සෙයි, මම ස්වාධින රූපවාහිනි නාලිකාවේ ප්රවෘත්ති නිවේදිකාවක් වෙන්නේ. පසුව ප්රවෘත්ති අංශයෙ සහය නිෂ්පාදිකාවක් හැටියටත් මම වැඩ කළා.
ඇයි මේ දේශීය නාලිකාවක් අත්හැරලා චීනය වගේ රටකට ආවේ?
කිසියම් හිමිකර ගැනීමක දී කිසිවක් අතහරින්න වෙනවා. ඒක ජීවිතේ ස්වභාවය නේ. කොහොම වුණත් චීන මාධ්‍ය සමූහයේ සේවය කරන්න ලැබුණු අවස්ථාව මගෙ මාධ්‍ය ජීවිතේ සන්ධිස්ථානගත අවස්ථාවක්. විදෙස් රටක ප්රවෘත්ති අංශයක සේවය කිරීමෙදි අපි ලබන වෘත්තීමය අත්දැකීම් ඉතාම පුළුල් වපසරියකට විහිදෙනවා. ඒ අත්දැකීම් අප තුළ සම්පාදනය කරන දැනුම අතිශය වැදගත්. ශ්‍රී ලංකාවත් චීනයත් අතර පවතින විවිධ අංශවල සහයෝගිතා වර්ධනය කිරීම තමයි සිංහල සේවයේ අරමුණ.
දිගටම චීනයේ රැඳෙන්න ද අදහස?
මම චීනයට ආවෙ මට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් නිසා. මෙහෙ දි මට පැවරෙන වගකීම උපරිමයෙන් ඉෂ්ට කිරීම මගෙ අරමුණ. චීනය කියන්නේ බොහෝම සුන්දර, ආදරණීය මිනිසුන් ඉන්න රටක්. චීනයේ ජීවිතයට පුරුදු වෙන්න එතරම් අපහසු වුණේ නැහැ. මේ ජීවිතය සැහැල්ලු යි. චීනයෙ තියෙන්නෙ ජනතාව කේන්ද්‍ර කරගත් පාලනයක්. චීන සංස්කෘතිය, ආර්ථික රටාව වගේම ඒ ජනතා අභිමුඛ පාලන ක්රමයටත් මම හරිම කැමතියි. මේ වෘත්තීය වගකීම අවසන් වුණාට පස්සෙ මම ලංකාවට එනවා. රට වෙනුවෙන් පැවරුණු තව වගකීම් තියෙනව නේ පුරවැසියන් හැටියට. ඒවා ඉටුකරන්න ඕන.
නිවේදිකාවක් ලෙස ලැබූ ඇගැයීමට ලක්වූ අවස්ථා තියෙනවද ?
ඇගැයීම් නම් ගොඩක් ලැබෙනවා. පුංචි කාලේ ඉඳලම සමස්ත ලංකා මට්ටමේ සම්මාන දිනාගන්න අවස්ථාව ලැබුණා. විශ්වවිද්‍යාලයේ හොඳම නිවේදිකාව සම්මානයත්, හොඳම යොවුන් නිවේදිකාවට හිමි යෞවන සම්මානයත් මට ලැබුණු ඇගැයුම්. හොඳම ප්රවෘත්ති නිවේදිකාවක ලෙස දෙවරක්ම සුමති සම්මාන ලබන්න මම භාග්‍යවත් වුණා. මට ප්‍රබල ආත්ම විශ්වාසයක් ගෙනා මේ හැම ඇගැයීමක්ම මට ලොකු ශක්තියක් වුණු බව මං සිහිපත් කරන්නෙ බොහොම කෘතවේදීව. ඒ වගේම මාව දිරිමත් කරන ආදරණීය පිරිසක් මා වටා ඉන්න බවත් කිව යුතුමයි.
ඔබේ පෞද්ගලික ජීවිතේ ගැනත් කෙටියෙන් කියමු..
මගේ පවුලේ දෙවැනියා මම. අපි සහෝදරියන් හතර දෙනෙක්. ජීවිතේ හැම අභියෝගාත්මක මොහොතකම මගෙ ශක්තිය වුණේ අක්කා සහ නංගිලා දෙන්නා. දැන් මම විවාහක යි. මගෙ සැමියා චරිත්. ඔහු පෞද්ගලික ආයතනයක අභ්‍යන්තර විගණන සහ අවදානම් උපදේශන සේවා කළමනාකරුවකු ලෙස සේවය කරනවා. ඔහුට මා ගැන ඉතාම හොඳ අවබෝධයක් තියෙනව. මම සාක්ෂාත් කරන සියලු ජයග්‍රහණ පිටුපස චරිත් ඉන්නවා. ඒ අතින් මම වාසනාවන්තයි. මගේ දෙමව්පියන්ගෙ වගේම චරිත්ගේ දෙමව්පියන්නෙ ආශීර්වාදය මට ලොකු හයියක්.
බුද්ධික සේනාධීර