වැඩ වැඩි හින්දා ප්‍රේමයට තිත තිබ්බා - දුමේෂ් අචිර බණ්ඩාර
දුමේෂ්... මේ දිනවල මොනවද කරන්නෙ?
මේ දවස්වල විකාශනය වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන 'පාර දිගේ' ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. මම ඒ ටෙලිනාට්‍යයේ පොලිස් නිලධාරියෙක් විදිහට රඟපානවා. රංගනයට අමතරව මම මගේ රැකියා කටයුතුවල වගේම උසස් අධ්‍යාපන කටයුතුවලත් නියැලෙනවා.
ඔබ හිටපු ගමන් ලංකාවෙ නැහැ. කොහෙද මේ යන්නෙ?
ඒ මගේ රැකියාව. මම ගුවන් සේවකයෙක්. ඉතින් නිතරම විදෙස් රටවලට යන්න සිද්ධ වෙනවා. ඒ රැකියාව නිසා තමයි මම හිටපු ගමන් රටින් යන්නෙ.
අද වෙද්දි දුමේෂ් රංගන ශිල්පියෙක්. ගුවන් සේවකයෙක්. මේ පුංචි කාලේ දැකපු හීනයක්ද?
ගුවන් සේවකයෙක් වෙන්න පුංචි කාලේ ඉඳන් මගේ හීනයක් තිබුණා. මම රටවල්වල සංචාරය කරන්න, රටවල්වල ඇවිදින්න යන්න පුංචි කාලේ ඉඳන් ආසා කළා. හැබැයි මම පුංචි කාලේ ඉඳන් මගේ ගෙදර අය ආසා කළේ මාව ගණකාධිකාරී අංශයට යොමු කරන්න. ඒ නිසා මම ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය ලැබුවා. කාලයක් මම ඒ සම්බන්ධව රැකියාවක් පවා කළා. ඒත් පුංචි කාලේ ඉඳන් තිබුණු ආසාවක් නිසාම තමයි. අවසානයේදි මම ගුවන් සේවකයෙක් විදිහට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සම්බන්ධ වුණේ. මට තාම මතකයි ඉස්සර පුංචිම කාලේ අහසේ ගුවන් යානා යද්දි මම මිදුලට බැහැලා ඒ දිහා බලාගෙන හිටියා. ඒවාට අත වැනුවා. ඒවායේ නැගලා යන්න ආසා කළා. ඒ නිසා මට වෙනස්ම විදිහේ රැකියාවක් කරන්න ආසා හිතුණා.
ගුවන් සේවකයෙක් හෝ සේවිකාවක් තම රූපය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ වගේම රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වුණාම තම රූපය ගැන සැලකිලිමත් වෙන්න ඕන වගේම ඇතැම්විට එක දිගට අව්වට වැස්සට මුහුණ දෙමින් වෙහෙසකර දිග ගණනාවක් රූගත කිරීම් කරන්න සිදුවෙනවා. දුමේෂ්ට එවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙලා නැද්ද?
අපි ආයතනයට අනුව ඒ ආයතනයේ නීතිවලට අනුව කටයුතු කරන්න ඕනෙ. ඒක ඇත්ත. රංගන ශිල්පියෙක් වුණාම විවිධ තැන්වල රූගත කිරීම්වලට සහභාගි වෙන්න සිද්ධ වෙනවා. ඉතින් සමහර දවස්වලට මටත් එක දිගට වැඩ කළාම වැඩිපුර මහන්සි දැනෙනවා. හැබැයි රංගනයට මම හරි ආසයි. ඒ වගේම මගේ රැකියාවටත් මම හරි ආසයි. ගුවන් සේවකයෙක් විදිහට කටයුතු කරද්දි අපිට ගුවන් යානාවලදි විවිධ චරිත මුණගැහෙනවා. රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරද්දිත් විවිධ වූ මිනිසුන් අපිට මුණගැහෙනවා.
ගුවන් යානාවලදි ඔබව මිනිසුන් හඳුනා ගන්නවද?
අම්මෝ ඔව්... ඒ අය මාව හඳුනා ගන්නවා. ගොඩක් අය 'පාර දිගේ' බලනවා. ඒ අය කතා කරනවා. මාත් එක්ක 'ෆොටෝ' ගන්නවා. ගුවන් සේවකයෙක් හැටියට මම තමන්ගේ රැකියාව රාමුවක් ඇතුළේ කරලා ගෙදර යන කෙනෙක්. රංගන ශිල්පියෙක් කියන්නෙ එයින් ඔබ්බට ගිහින් මනුස්සයෙක් එක්ක සුහදව කතාබහ කරලා ඒ අය එක්ක සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ගුවන්ගත වෙද්දි දැකලා කතාබහ කරන රසික රසිකාවියො නම් ගොඩයි. ගොඩක් අය කියන්නෙ ඒ පොලිස් චරිතයට මම සාධාරණයක් කරනවා කියලයි. හොඳ ප්‍රතිචාර වැඩියි. එක එක ප්‍රශ්න කෝටියයි. නානාගේ දුව බඳිනවද? ඉස්සරහට මොකද වෙන්න කියලා ප්‍රශ්න ගොඩයි.
දුමේෂ් පාසල් අධ්‍යාපනය ලැබුවෙ කොහෙද?
මම ඉගෙන ගත්තෙ ජාත්‍යන්තර පාසලක. පුංචි කාලේ ඉඳන් මම සංගීතයට හරි කැමතියි. ගිටාර් වාදනය කළා. පාසලේදි නම් මම රංගනය පැත්තට සම්බන්ධ වෙලා නැහැ. හැබැයි මට රඟපාන්න පුළුවන් ඇති කියලා මගේ හිතේ තිබුණා. පාසලේදි මම මුල්තැන දුන්නෙ අධ්‍යාපනයටයි.
ප්‍රථම ප්‍රේමය මොන වගේද?
ප්‍රථම ප්‍රේමය පාසල් ප්‍රේමයක්. මට හිතෙන විදිහට එතකොට මගේ වයස අවුරුදු දාහතරක් විතර ඇති. මම ඒ ගැහැනු ළමයට ගිහින් චොක්ලට් එකක් දුන්නා. පළමු වතාවට මම එයාට චොක්ලට් එකක් දුන්නට පස්සේ මගේ හොඳම යාළුවා ''ඇත්තටම මචං උඹ ඔය චොක්ලට් එකක් අරන් දුන්නෙ අම්මගේ තාත්තගේ සල්ලිවලින් නේද?'' කියලා ඇහුවා. ඒ වෙලාවේ මගේ හිත පුදුම විදිහට රිදුණා. ඇත්තනෙ.. අඩුම තරමේ මගේ සල්ලිවලින් චොක්ලට් එකක්වත් ගන්න බැරිව මම කොහොමද ගැහැනු ළමයෙක් බලාගන්නෙ කියලා මගේ හිත මගෙන්ම ඇහුවා. ඒ ගැහැනු ළමයට ආදරේ තිබුණට මම ඊට පස්සෙ නම් ඒ ගැහැනු ළමයට කිසිම දෙයක් අරන් දුන්නෙ නැහැ.
හිත නතර වුණු ප්‍රේමයක් තියෙනවද?
ඔව්.. මෑත කාලෙදි මට එහෙම ප්‍රේමයක් හමුවුණා. රුකියාවයි රංගන කටයුතුයි නිසා ටිකක් කාර්යබහුල වෙද්දි ඒ ප්‍රේමය දෙදෙනාගේම කැමැත්තෙන් නතර කරන්න සිදු වුණා.
තමන්ගෙ මහන්සියෙන් හම්බ කරපු මුල්ම මුදල කීයද?
මුලින්ම මම පෞද්ගලික ආයතනයක සේවය කළා. එතනදි මට මුලින්ම රුපියල් තිස්පන් දහසක් ලැබුණා. ඒකෙන් මම මුලින්ම පන්සලකට ආධාරයක් දුන්නා. අම්මටයි තාත්තටයි තෑගි ගත්තා. ඉතුරු සල්ලිවලින් පොඩි මුදලක් එකතු කළා. අද වෙද්දි හැම මාසයකම මට වැටුප ලැබුණු ගමන් එක කොටසක් මහලු නිවාසයකට ලබා දෙනවා. ඉතිරි මුදලින් ඇඳුම්වලට, වාහනයට, ගෙදරට වගේම ඔය සුපිරි වෙළෙඳසලකට යද්දි අම්මලා එක්ක එළියේ ඉන්න පුංචි දරුවෙක්ව ඇතුළට එක්කගෙන ගිහින් එයාලා කැමති දේවල් අරගෙන දෙනවා. ඒ වෙලාවට ඒ පුංචි එවුන්ගෙ සතුට සල්ලිවලට ගන්න බැහැ.
එවැනි හිතට තදින්ම දැනුණු අවස්ථාවක් මතක් කළොත්?
එක දවසක් ඒ වගේ සුපිරි වෙළෙඳසලකට යද්දි එළියේ පොඩි දරුවෙක් හිටියා. මම එයාවත් ඇතුළට අරගෙන ගියා. මොනවද ඕනෙ කියලා අහද්දි අයිස්ක්‍රීම් කියලා කිව්වා. එයා ආසා අයිස්ක්‍රීම් එකක් ගත්තා. මම තව බඩු ටිකකුත් ඒ දරුවට අරගෙන මුදල් ගෙවන කවුන්ටරයට ගියා. ඒ දරුවා අයිස්ක්‍රීම් කමින් හිටියෙ. ඒ වගේම දරුවෙක් ඒ ජාතියේම අයිස්ක්‍රීම් එකක් අරගෙන සල්ලි ගෙවන්න අම්මා එක්ක එතනට ආවා. මම අයිස්ක්‍රීම් එක අරගෙන දුන්න දරුවා අර දරුවට අයිස්ක්‍රීම් එක දික් කරලා පෙන්නුවා. එයාට සමානාත්මක අයිතිය දැනෙන්න ඇති. ඒ සුපිරි වෙළෙඳසලින් එළියේ හිටපු දරුවට මටත් මේකක් තියෙනවා කියලා දැනුණු සතුට එදා මම ඒ පුංචි හිතින් දැක්කා.
හිතට දුකක්, කලකිරීමක්, ගැටලුවක් ආවම ඒක විඳදරා ගන්නෙ කොහොමද?
මම ඒ දේ ගැන මගේ යාළුවෙක්ට හරි කතා කරලා කියනවා. මම ගීත අහනවා. ඒ වගේ වෙලාවට මම මගේ ජීවිතය කාර්යබහුල කර ගන්න උත්සාහ කරනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවද?
මට රංගනය සම්බන්ධයෙන් ඉගෙන ගන්න ලොකු ආසාවක් තියෙනවා. ඒ වගේම මගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මහන්සි වෙන්න බලාපොරොත්තු වෙනවා.
දිශානි
සේයාරූ I සුමුදු හේවාපතිරණ