විජය කුමාරතුංග රංගධරයාණන්ද මගේ චිත්‍රපටයේ AI තාක්ෂණය හරහා රඟපානවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තිර පිටපත් රචකයෙක්සේම අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කරන ලක්ෂාන් පෙරේරා මෑත කාලයේ බොහෝ පිරිසකගේ කතාබහට ලක්ව ඇත්තේ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙසිනි.  කෘත්‍රිම බුද්ධිය (AI තාක්ෂණය) යොදා ගත් Signal 42 ඔහුගේ නවතම කෙටි චිත්‍රපටය වන අතර, එය ඉහළ රසික පිරිසකගේ අවධානය යොමුවීම ලක්ෂාන් සම්බන්ධව මෙළෙස කතාබහක් ඇතිවීමට හේතු වී ඇත. මේ නිසාම සාරවිට අපද ඔහුගේ සිය අලුත්ම AI තාක්ෂණය යොදාගත් කෙටි චිත්‍රපටය ගැන විමසුවා.

ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ සංස්කරණ ශිල්පියෙක් විදිහට?

ඔව්, එහෙම කිව්වොත් හරි. මම මුලින්ම කලාවට එන්නේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස් රියලටි තරගය හරහා. මගේ මතකය හැටියට ඒ 2010/2012 කාල පරාසය තුළ. පොඩි කාලේ සිට චිත්‍රපට නරඹන්න ලොකු කැමැත්තක් තිබුණා. ඒ තිබුණ කැමැත්තට මම කෙටි චිත්‍රපට නිර්මාණය කළා. මම හිතන්නේ දැනට මම කෙටි චිත්‍රපට 20කට වඩා නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරින් Jessy (ජෙසි) කියලා කෙටි චිත්‍රපටයක් ඉන්දියාවේ තිබුණ කෙටි චිත්‍රපට තරගයකින් අන්තර්ජාතික හොඳම කෙටි චිත්‍රපටය බවටත් පත් වුණා. ඒ වගේම ඒ චිත්‍රපටය තවත් රටවල් දෙකක තිබුණ කෙටි චිත්‍රපට තරගයක හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශිතත් වුණා.

Signal 42 චිත්‍රපටයට නිර්මාණය කරන්න සූදානම් වුණේ?

ඒ චිත්‍රපටයට කලින් මම ත්‍රිමාණ කෙටි චිත්‍රපටයක් කළා. ඒ අත්දැකිමත් එක්ක කෘත්‍රිම බුද්ධිය තාක්ෂණය ලෝකේට ආවා. මට හිතුණා ඒ පැත්තට යොමු වෙලා චිත්‍රපටයක් කරන්න. ඒ අදහස පෙරදැරි කරගෙන තමයි Signal 42 චිත්‍රපටය නිර්මාණය වන්නේ.  

මේ චිත්‍රපටය මොන වගේ එකක්ද?

මේක විද්‍යා ප්‍රබන්දනයක්. ඉලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් කියන ආයතනය විසින් 2008 වසරේදි හදපු ෆැල්කන් වන් කියන රොකට් එක අභ්‍යවකාශයේදී පිපිරිමකට ලක් වෙනවා. මෙම පිපිරිමත් සමග ෆැල්කන් වන් වෙතින් නිකුත් වූ වැරදි  සංඥාවක් නිසාවෙන් ලෝකයා අනාගතයේ මුහුණ දෙන ව්‍යසනයක් පිළිබඳව මහාචාර්ය එඩ්වින් මහතා විසින් ආන්දෝලනාත්මක අනාවැකියක් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රස්තුතය පාදක කරගෙන තමයි මම මේ කෙටි චිත්‍රපටය හදන්නේ.

මෙම නිර්මාණයේ සුවිශේෂිත්වයකුත් තියෙනවා?

කලා ලෝකයේ අති විශිෂ්ට රංගධරයකු මෙන්ම කාලයකට ඉහතදී අප අතරින් සමුගත් ඒ මහා පෞරුෂය විජය කුමාරතුංග මහත්මයාද Signal 42  චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සැපයීම. එතුමාද රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ කෘතිම බුද්ධිය ඇසුරෙන්ය. ඊට අමතරව වර්තමානයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන චතුර රාජපක්ෂ මෙම කෙටි සිනමා පටයේ භෞතිකව නොවූවත් ඔහු මෙහි රංගනයෙන් දායකත්වය සපයනවා. ඉතිරි ප්‍රධාන චරිත කිහිපයම මෙම සිනමා කණ්ඩායමේ නවක රංගන ශිල්පීන් විසින් ඉහත කී පරිදි කෘතිම බුද්ධිය ඇසුරෙන් රංගන දායකත්වය සැපයූවා.

කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය ගැන ඔබ අධ්‍යාපනය ලැබුවේ?

මීට වසර දෙකකට පෙර කෙටි චිත්‍රපට උළෙලක් වෙනුවෙන් මම ඉදිරිපත් කරපු මගේම චිත්‍රපටයක් ජයග්‍රහණය කළා. ඉන් පසුව මට අවස්ථාව ලැබුණා ලංකාවෙන් පිට විදේශ රටක ඇකඩමියකට සම්බන්ධ වෙන්න. එහිදි තමා මට කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය ගැන හදාරන්න ලැබුණේ. ඒ ලැබුණ අධ්‍යාපනයත්, අත්දැකිමත් සමග තමයි මම Signal 42 කෙටි චිත්‍රපටය නිර්මාණය කළේ.

මේ කෙටි චිත්‍රපටයෙන් පසුව කෘත්‍රිම බුද්ධිය තුළින් වැඩක් ගන්න බලාපොරොත්තු වෙනවද?

අනිවාර්යයෙන්ම. දැනට මම මගේම ව්‍යාපෘතියක් පටන් අරගෙන තියෙන්නේ ලංකාවේ මිත්‍යා කතා පදනම් කරගෙන නිර්මාණ හදන්න සහ ඒවා සමග විද්‍යා ප්‍රබන්ධ  කතාද නිර්මාණයට. එමෙන්ම මහා හෙළයා නම් වූ ඓතිහාසික වටිනාකමින් යුත් ගීතයක් සඳහා මම රූප රචනාවක් නිර්මාණය කරමින් ඉන්නවා. එය මුළුමණින්ම කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය යොදාගෙන. මම හිතන්නේ ඒක මගේ ජීවිතේ ලැබුණ සුවිශේෂි අවස්ථාවක් කියලා. මේ ගිතය ගායනා කරන්නෙ විශාරද සමන්ත පෙරේරා මහත්මා, ගීතයේ පද රචනාව කල අනුෂ්ක හෙට්ටිආරච්චි මහත්මා තමා මට මේ නිර්මාණය සඳහා එකතු වෙන්න අවස්ථාව ලබා දුන්නේ. එ වගෙම හිරාන් ගමගේ මහත්මයාගෙ ආරාධනාවක් මත එතුමා ලියූ කතාවක් කෙටි චිත්‍රපටයක් ආකාරයට අධ්‍යක්ෂණය කරමින් සහ A.i ඇසුරෙන් එය නිර්මාණය කරන්නත් අවස්ථාවක් ලබුනා. බොහො විට එහි එක් දින මංගල දර්ශනයකට, සාරවිට ඔයාටත් සහභාගී වෙන්න පුළුවන් වේවි.  ඒ වගේම ඉදිරි කාලයේදී ලංකාවෙන් පිට ගිහිල්ලා AI තාක්ෂණය භාවිතයෙන් කරන නිර්මාණ සඳහා එකතු වෙන්න සුදානමකුත් තියෙනවා.

බුද්ධික සේනාධීර