ලීසිං දැම්මා කියන්නේ ආයේ වාහනයත් එක්ක එපා වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු විශේෂාංගය රථගාය ඉතින් මෙවර ඒ වෙනුවෙන් අපි සම්බන්ධ කරගත්තේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු හා ගායන ශිල්පියෙකු වන දිනූෂ දිසානායක.

දිනූෂ දිසානායක කියන්නේ රථගාය තියෙන කෙනෙක් ද? 

හොඳටම රථගාය තිබ්බ කෙනෙක් සහ තියෙන කෙනෙක්. මැරෙනකන්ම රථගාය කියන එක නම්  නැති වෙන එකක් නැහැ.

වාහනවලට ආස හිතුනේ කොයි කාලෙ ද?

පොඩි කාලේ ඉදන් සෙල්ලම් කළේම වාහනත් එක්ක ඒ නිසා තේරෙන වයසේ ඉඳලාම මම වාහනවලට ආසයි. 

මුලින්ම වාහනයක් පැද්දේ කවද්ද?

මතක විදිහට මුලින්ම වාහනයක් පැද්දේ  අවුරුදු 12දී හරි 13දී හරි. ටවුන් එකට යද්දී එද්දී හරි නැත්තන් අපි කොහේ හරි ළඟකට යද්දී තාත්තාගේ ඔඩොක්කුවේ ඉඳන් තමයි මුලින්ම වාහන එළවන්න ඉගෙන ගත්තේ.

තමන්ගේම කියලා මුලින්ම වාහනයක් ගත්තේ කවදාද?

පළවෙනියටම මගේම කියලා වාහනයක් ගත්තේ 2006. ඒ කියන්නේ මට අවුරුදු 16යි. ඕ ලෙවල්  කරලා ඉවර වුණ ගමන්ම මගේ බැංකු පොතක තිබුණු සල්ලිවලින් අළු පාට හයියුන්ඩායි ඇක්සට් එකක් තමයි ගත්තේ. ඒක මැනුවෙල් කාර් එකක් ලීස් මුකුත්ම නොදා මගේ අතේ තිබුණු සල්ලිවලින් තමයි ගත්තේ. 

පළවෙනි වාහනය අරං කොහෙද ගියේ?  කාවද දාගෙන ගියේ?

මම වාහනය ගත්තේ මට අවුරුදු 16දී නිසා වාහනය ගද්දී මට ලයිසන් නැහැ. එ නිසා ඉතින් නුවර වටේ තමයි ගියේ ලොකු දුරක යන්න බැහැ නේ. මම අනිවාර් යෙන්ම වාහනයේ දාගෙන ගියේ අම්මයි තාත්තයි නංගියි මල්ලියි. 

අලුතෙන් වාහනයක් ගත්තම පුරුද්දක් විදිහට මොකද කරන්නේ?

දෙහි එල්ලන එක ඉස්සර ඉදලාම වාහන ගනිද්දි චාරිත්‍රයක් වගේ කරන දෙයක්. ඒ නිසා මමත් අනිවාර් යෙන්ම ඒ දේ කරනවා. ඒ වගේම මම අදටත් මුලින්ම කරන්නේ පන්සල් යන එක. ගොඩාක් වෙලාවට නුවර ගැටඹේ පන්සලට හරි මාලිගාවට හරි යනවා. මේ දේවල් ඉතින් පුරුද්දක් විදිහට වාහනයක් ගත්තම මම තවමත් කරනවා.  

දැන් තියෙන වාහනය මොකක් ද?

මම අවුරුදු 16 ඉදල 34 වෙන්කන්ම එක දිගට වාහන පැදපු කෙනෙක්. පළවෙනි වතාවට වාහනයක් නැතුව මේ දවස් ටිකේ ඉන්නවා. ඉතින් මේ වෙනකොට වාහනයක් නැහැ. වාහනය විකුණලා තාම ගන්න එකක් හොයනවා. මම අන්තිමට පාවිච්චි කළේ Audi A6 එකකුයි Wagon R එකකුයි මේ ළඟදි තමයි ඒ වාහන දෙකම විකුණුවේ. අන්තිමට පාවිච්චි කරපු වාහනය එක්ක තියෙන හොඳ මතකයක් කියන්නේ Audi A6 එක හැප්පුණා මගේ අතින්. එදා කොහොම හරි මගේ යාළුවෙක් එක්ක ගමනක් ගියා.  රෑ ගියපු පාර පහුවදා උදේ තමයි අපි ආවේ. ඉතින් කවුරුවත් නිදාගෙන හිටියේ නැහැ. කොහොම හරි පාරෙ එද්දී කාර් එක කුඩු වෙන්නම හැප්පුණා. ඒක තමයි ඉතින් තියෙන හොඳම මතකය.
 

වාහනයක් හින්දා පාරේ කට්ට කාලා තියනවා ද?

වාහන හින්දා නම් ඕන තරම් කටු කාලා තියෙනවා. මේ Article එකට විතරක් නෙමෙයි පත්තරේ මුල ඉදන් අගට යනකන්ම කියන්න පුළුවන් වාහන නිසා කාපු කටු නම් ඉතින්. ළඟදිම  කාපු කට්ට තමයි අන්තිමටම තිබුණු වාහනයේ මම ගාල්ලේ කොන්සර්ට් එකකට ගියා. මට ටිකක් යාළුවොත් ඉන්නවා. කොන්සර්ට් එක ඉවර වෙලා යාළුවො හම්බවෙන්න ගියා. කොහොම හරි පහුවදා උදේ 6 විතර තමයි ගාල්ලෙන් එන්න පිටත් වුණේ. එදා නිවේදක කලිඳු කරුණාරතනත් මගෙත් එක්ක හිටියා. මටත් උදේ 10 වෙද්දී අාපහු එන්න ඕන වුණා. කලිඳුටත් උදේ වැඩක් තිබුණා. ඉතින් අපි එන්න පිටත් වෙලා හයි වේ එකට දාලා ටිකක් දුර එනකොට ඩෝං ගාල සද්දයක් ආවා. බලද්දී වාහනයේ ටයර් එකක් පුපුරලා. හැබැයි ඒ වෙලේ අපි කිසිම කෙනෙකුට කරදරයක් වුණේ නැහැ ටයර් එක දානකන් හයි වේ එකේම පැය පහකට වැඩිය නිදාගෙන හිටියා. කියලා වැඩක් නැහැ ඒ තරම් හොඳයි Service එක.   

අලුතෙන් වාහනයක් ගන්න හීන දකින කෙනෙකුට දෙන උපදෙස මොකක් ද?

අලුතෙන් වාහනයක් ගන්න හීන දකින කෙනෙකුට කියන්න තියෙන එකම දේ තමයි ලීසිං නම් දාන්න එපා. ලීසිං දැම්මා කියන්නේ ආයේ වාහනයත් එක්ක එපා වෙනවා. ඒ හින්දා මම නම් කියන්නේ පුළුවන් තරම් තමන්ගේ අතේ තියෙන ගානට ගැළපෙන පොඩි වාහනයක් හරි ගන්න.  

මේ වෙනකොට වාහන කීයක් විතර පාවිච්චි කරලා තියෙනවා ද?

මේ වෙනකොට වාහන නම් ගොඩාක් පාවිච්චි කරලා තියෙනවා. ඉලක්කමකින් කිව්වොත් 12ක් 13ක් වගේ.  මම ළඟ අලුත් වාහන වගේම පරණ වාහනත් තිබිලා තියෙනවා. කාලයක් මම 13ශ්‍රී කොරොල්ලා එකකුත් පාවිච්චි කළා. 

ඒ පාවිච්චි කරලා විකුණපු වාහන අතුරින් විකුණුවේ අපරාදෙ කියලා හිතෙන වාහනත් තියෙනවා ද?

විකුණුවේ අපරාදේ කියලා ඇත්තටම හිතුණ වාහනය තමයි 2018 Wagon R Stingray  කියන සුදු පාට කාර් එක. ඒක මම අන්තිමටම පාවිච්චි කරපු වාහනයක්. ඒක නම් මම හරිම ආස වාහනයක් මොන වාහනයේ ඉඳගත්තත් ඒකෙ ඉඳගත්තම මාර සැප පහසුයි මට නම්. මොකද Wagon R ලංකාවට ආපු කාළේ ඉදලාම මම ඒ  වාහන පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මම හිතන විදියට ඒ පාවිච්චි කරපු Wagon Rවලින් සැප පහසුම වාහනය තමයි Wagon R Stingray 2018.       

දිනූෂ දිසානායකගේ Dream vehicle එක ගැනත් කියමු? 

මගෙ එදා ඉඳලා තිබුණු Dream vehicle එක තමයි Range rover evoque long wheel එක. ඒක තමයි මම ආසම වාහනය. මම කොහොම හරි තව අවුරුදු 5කින් 6කින් වගේ ඒක ගන්නවා. 

ලිහිණි ලියනගේ