ලියුම දැක්ක ගමන් උණ පැත්තකට දාලා මම සුදර්ශියට දිව්වා - කමල් අද්දරආරච්චි
රංගනය නම් පුළුල් පරාසයක විහිදී පැතිරී ඇති අවකාශය තුළ තම රංග ප්‍රතිභාව නිසාම ජන හද දිනූ තරුවක තතු විත්ති සොයා යන්නටයි අද හදසර my story තුළින් මේ සූදානම. අතිශය කෙළිලොල් තරුණයකුගේ ජීවිතය තුළ විවිධ පැතිකඩ නිරෑපණය කරන්නට වරම් ලද ඔහු සැබෑ ජීවිතය තුළ සිය තාරුණ්‍යය ඉක්මවා යමින් සිටියද අදටත් එදා සේම එම තරුණවිය නිරෑපණය කරන්නට තරම් කඩවසම් බව පැවසීම කිසි ලෙසකින්වත් අතිශයෝක්තියක් නොවනු ඇත. වේදකාව ටෙලිනාට්‍යය සේම සිනමාව තුළද තම අපූරු රංගන හැකියාව ප්‍රදර්ශනය කළ ඔහු මෙරට ප්‍රේක්ෂකාගාරය අදටත් එක ලෙස ආදරය කරන රංගන ශිල්පී කමල් අද්දරාරච්චි නම් වේ.
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ....
ඔහු ගැයූ මුල්ම ගීතය එයයි. එයින්ම ඔහුට තම ගායන හැකියාව වෙනුවෙන් ජනාධිපති සම්මානය දිනා ගන්නටද වරම් හිමි විය. චිත්‍ර කතාවක් ඇසුරෙන් එච්.ඩී. ප්‍රේමරත්න නම් සිනමාවේදියා සිනමාවට රැගෙන ආ ''සප්ත කන්‍යා'' චිත්‍රපටය තුළ එම ගීතය ඇතුළත් විය. ඔහු එම ගීතය ගායනා කළේ ගායන ශිල්පිනී දමයන්ති ජයසූරිය සමඟය. මුල්ම පසුබිම් ගී ගැයුමෙන්ම සම්මාන දිනන්නට හැකි වීම කොතරම් නම් හැකියාවක්ද? කොතරම් නම් වාසනාවක්ද? කමල් එම සම්මානිත ආරම්භයත් සමඟ තවත් ගීත ගණනාවක්ම ගායනා කළේය. විශාරද නීලා වික්‍රමසිංහ සමඟ ගැයූ''තුන් සිත දැහැන්ගත වෙනා'' යනු කමල්ගේ තවත් අතිශය ජනප්‍රිය වූ ගීයකි.
කමල් පවුලේ වැඩිමල් දරුවා වූ අතර ඔහුට බාල සහෝදරයෙකු සහ සහෝදරියන් තිදෙනෙකි. කමල්ගේ ආදරණීය පියාණන් ව්‍යාපාරිකයෙකු වූ සැම්සන් අද්දරආරච්චි නම් වූ අතර මව ලීලා අද්දරආරච්චි ගෘහණියක වූවාය. වෙස්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කමල් පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයකු විය. පාසලේ සාහිත්‍ය කලා සංගමය, විවාද කණ්ඩායම, බාලදක්ෂ කණ්ඩායම හා ක්‍රිකට් කණ්ඩායම තුළ ඔහු තම කුසලතා විදහා දැක්වූවෙකි. එමෙන්ම ඔහු පාසලේ ශිෂ්‍ය නායකයකුද විය. ඔහු රංගනය පිළිබඳ ගවේෂණය ඇරඹුවේද තම පාසල තුළදීමය. එයට වැඩි දායකත්වයක් ලැබුණේ ඔහුට එකල ඒ වෙනුවෙන් මඟ පෙන්වන්නට ප්‍රකට නාට්‍යවේදියකු හා රංගන ශිල්පියකුද වූ ගාමිණී සමරකෝන් නම් චරිතය පාසල් ගුරු පුහුණුව තුළ ඔහුට හමු වීමය. එසේම තවද කමල් කුඩා වියේදී ඔහුට පාසල තුළ දී හමු වූ තවත් ගුරුවරයෙකු වූ මෙරට ප්‍රවීණ මුද්‍රා නාට්‍යවේදියකු හා නර්තනවේදියකු වූ ආචාර්ය බැසිල් මිහිරිපැන්න වැනි දැවැන්තයෙකු හමුවීමද කමල් අද්දරආරච්චි නම් අති දක්ෂ රංගවේදියා බිහිවන්නට ප්‍රබල බලපෑම්කාරකයක් වූයේය.
''රංගනය කියන දේ පාසල් අවධියේදී කෙනෙකුට නිරන්තරයෙන් ලබන්න හැකි අත්දැකීමක්. හැබැයි එහි පරිණතියට පත් ශිල්පීන් ගුරුවරුන් ලෙස හමු වීමෙන් තමයි මේ අත්දැකීම කෙනෙකුට පාසල් වියේදී වඩාත් ක්‍රමානුකූලව, තාක්ෂණික දැනුම යනාදී සියල්ල සමඟ ලබාගත හැකි වන්නේ. ගාමිණී සමරකෝන් මහතා මා හට හමුවීම මගේ රංගන හැකියාව වඩාත් ඔපවත් කරගන්නට හේතුවක් වුණා. ඒ වාගේම කුඩාම කාලයේදී අතිදක්ෂ නර්තන ශිල්පී බැසිල් මිහිරිපැන්නයන්ගේ හමුවීමත් මට එදා සුවිශේෂී අත්දැකීම් ලබාදුන්නා. රංගන කුසලතාවක් තිබූ පමණින්ම කෙනෙකුට එය වඩාත් නිවැරදිව එළිදක්වන්න හැකියාවක් නැහැ. ඒ සඳහා නිවැරදි මඟ පෙන්වීමක්ද ලැබිය යුතුයි. ඇත්තෙන්ම ඒ අතින් ගත්තම මම ගොඩක් වාසනාවන්තයි කියන්න පුළුවන්.'' ඔහු එලෙස පවසද්දී අපට සිහි වන්නේ සද්ගුණවත් පින්සර මහතාය. (ඇඩ්රස් නෑ), සොබනාය (අග්නිදාහය), රණාය (දඬුබස්නාමානය). අපූර්වතම රංගන හැකියාවෙන් ඔහු මැවූ චරිත අපමණය. වේදිකාව රූපවාහිනිය සහ සිනමාව තුළ ඔහුගේ චරිත නිරූපණයන් අදටද අපගේ මතකයේ රැඳී ඇත.
''මම පාසලේදී පෙන්වූ දක්ෂකම් නාට්‍යවලදී විවිධාකාර ලෙස ඉස්මතු වුණා. ඔය අතරේ මදෙස තවත් කෙනෙක් බොහොම විපරමෙන් බලාගෙන සිටියා. ඔහුත් අපේ ගුරු මණ්ඩලයේ සිටියේ. කලා ක්ෂේත්රයේ එතරම් සුප්‍රසිද්ධ නොවුණත් ඉංග්‍රීසි වේදිකාව තුළ ඔහු ජනප්‍රිය කෙනෙක්. දිනක් මට පාසල් කොරිඩෝවේදී ඔහු හමුවුණා. ඔහු තමයි හේග් කරුණාරත්න. එතුමා මට කීවා, කමල් ඔයාගේ තියෙන දක්ෂතාවල හැටියට ඔයා මේක තවත් අධ්‍යනය කරන්න ඕනනේ, ඔයා යන්න මේ වැඩමුළුවට. ජර්මනියේ ප්‍රවීණ නාට්‍යවේදියෙක් වන නෝබට් ජේ. මයර් ලංකාවට ඇවිත් වැඩමුළුවක් පවත්වනවා. ඔයත් අයදුම් කරන්න කියලා.... මම සර්ගෙ උපදෙස් පරිදි අයදුම් කළා. මට පිළිතුරු ලිපියකුත් ආවා. ඔහොම ටික දවසක් යද්දී මට මේක අමතක වුණා. දවසක් මට හොඳටම උණ හැදිලා ගෙදර ඉන්න දවසක පරණ පින්තූර ලිපි එහෙම බල බලා ඉද්දී මෙන්න මට සම්මුඛ පරීක්ෂණයට කැඳවීම කළ ලිපිය තියෙනවා. එදාමයි සම්මුඛ පරීක්ෂණය. මට අසනීප අමතක වුණා. මම සුදර්ශියට දිව්වා කිව්වොත් ඒක තමයි හරි. මම සුදර්ශියට දුවද්දී එතන විශාල පිරිසක් පෝලිම් හැදිලා. මාව ගැස්සිලා ගියා මට හිතාගන්න බැරි වුණා. මොකද වෙන්නේ කියලා මම වැඩිය හිතුවේ නෑ. කෙළින්ම පෝලිමේ ඉස්සරහටම ගියා. ඒ යද්දී කෙනෙක් මාව නවත්වලා මල්ලි, මල්ලි කොහෙද යන්නෙ පේන්නේ නැද්ද අපිත් ඉන්නේ පෝලිමේ කියලා කිව්වා. මම එතකොට නෑ නෑ මම මේ පොඩි දෙයක් දැනගන්න යන්නේ කියලා පොඩි සද්දයක් දාගෙන ඉස්සරහටම ගියා. එතැනට සිය ගණනක් එදා ඇවිත් හිටියත් තේරුණේ තිස් ගණනයි. මාත් ඒ තිස් ගණන අතර හිටියා. අර එතැන හිටිය මල්ලී කොහෙද යන්නේ කියලා ඇහුවේ... ඒ පුද්ගලයා තමයි අද ඔබ ඉතා හොඳින් හඳුනන ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්. ඔහු, මා වගේම අද කලා ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් එදා එතැන හිටියා. සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි නිවේදිකාවන් වන චිත්‍ර කළුබෝවිල, නෙළුම් කළුබෝවිල හා ප්‍රවීණ නීතිවේදී උදය රොහාන් ද සිල්වා වැනි විශාල පිරිසක් ඒ අතර හිටියා. වැඩමුළුවෙන් පසුව අපම ලියලා නාට්‍ය නිර්මාණයක් වේදිකාගත කළා. තරුණ ප්‍රශ්න ගැන සාකච්ඡාවට ලක්කරමින් එළිදැක්වූ එම නාට්‍ය තමයි මගේ පළමු වේදිකා රංගනය මහජන වේදිකාවක රඟ දැක්වුණ. ලයනල් වෙන්ඩ්ට්හිදී වේදිකාගත වූ එම නාට්‍යය තමයි ''අනේ අබ්ලික්'' ඉන්පසු ඔහු අත්, ඔත්තුකාරයා වැනි වේදිකා නාට්‍යවලටද තම රංගන දායකත්වය ලබා දුන්නා. ඔහු පැවසුවේය.
කමල්ගේ සිනමා සම්ප්‍රාප්තිය කෙරෙහි වේදිකාවේ ඔහුගේ මුල්ම රංගනය ද හේතු වූ බව පැහැදිලි වේ. ඔහුගේ පළමු සිනමා රංගනය ඇතුළත් වූයේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ “සාගරයක් මැද” චිත්‍රපටයටය. එහි නිෂ්පාදකවරයා වූ ආනන්ද අබේනායක “අනේ අබ්ලික්” නැරඹීමට පැමිණියේය. ඒ දිනවල සැලසුම් සකස් වෙමින් තිබූ “සාගරයක් මැද” සඳහා නිෂ්පාදක ආනන්ද අබේනායක මෙම වේදිකා නාට්‍යයට එක්ව සිටි කමල් සහ තවත් ශිල්පියකු සමඟ දෙදෙනාවම රැගෙන ගියේය. එහිදී කමල් එම චරිතය වෙනුවෙන් තෝරා ගැනුණි. දොස්තර මොලදණ්ඩ ගේ විප්ලවවාදී පුත්‍රයා වූ රණබාහු මොලදණ්ඩ චරිතය සමඟ කමල් අද්දරආරච්චි ප්‍රථම වරට සිංහල සිනමා ලොවට අවතීර්ණ විය. ජයන්ත චන්ද්‍රසිරි නම් අධ්යක්ෂවරයා වේදිකාව සිනමාව හා ටෙලිනාට්‍ය යන අංශ ත්‍රිත්වයේම කමල් අද්දරආරච්චි නම් ප්‍රතිභාපූර්ණ රංගවේදියාට මතුකර ගත්තේය. ඔහුගේ අග්නිදාහය හා ගරිල්ලා මාකටින් යනු කමල්ගේ චිත්‍රපට රංගනයේ ප්‍රබල අවස්ථා දෙකකි. එමෙන්ම ටෙලිනාට්‍යය ගතහොත් වෙදහාමිනේ, දඬුබස්නාමානය ආදියද කමල්ගේ රංග ප්‍රතිභාව මැනවින් මතුකළ නිර්මාණ වේ. ලොකු දුව, එකදා වැහි, බිතුසිතුවම්, සලෙළු වරම, ජුලියට්ගේ භූමිකාව, ආදී සිනමා නිර්මාණයන්හි ඔහුගේ රංගනය කැපී පෙනුණි. සප්ත කන්‍යා, කිණිහිරියා මල්, මිල්ලෙ සොයා, රන් දියදහර, බවකර්ම, මහමෙර උසට, පූජා වැනි චිත්රපටද ඒ අතරට එක්වෙයි. කමල් ප්‍රධාන චරිතයක් මුල්වරට චිත්‍රපටයක නිරෑපණය කළේ ''ගෙදර බුදුන් අම්මා'' චිත්‍රපටය තුළය. හොඳම නළුවා, හොඳම සහාය නළුවා, ජනප්‍රියම නළුවා හා හොඳම ගායකයා ආදී ලෙස ජනාධිපති ,සරසවිය හා සුමති සම්මාන රුසකින් ද ඔහුගේ රංගනය හා ගායනය ඇගැයුමට ලක්විය.
සිනමාව හා වේදිකාව යන දෙඅංශයටම වැඩි ජනප්‍රියත්වයක් කමල්ට හිමිකර දෙන්නට ටෙලිනාට්‍යයට හැකිවී යැයි කීම අසත්‍ය නොවනු ඇත. මන්ද අදටත් ඔහු මැවූ ටෙලි නාට්‍යය චරිත අපට මතකය. ඒ අතර රතු රෝස, හිරුට මුවාවෙන්..... ආදී ටෙලි නිර්මාණ කැපී පෙනේ. රූපවාහිනියේ පළමු මැදිරි නිෂ්පාදනය ලෙස නිර්මාණය වූ ''පින් මද පුතුන්'' කමල්ගේ පළමු ටෙලි නාට්‍ය නිර්මාණයයි. ''ටයිටස් තොටවත්තයන් විසින් මෙහෙයවූ මෙහි රෑබි ද මෙල් නම් වූ රංගන ශිල්පිනිය සමඟයි මා රඟපෑවේ. ඒක ගොඩක් සාර්ථක වුණා ඒ දිනවල. ඉන්පසු ටයි අංකල් මාව ගත්තා ''රන්කහවණු'' නාට්‍යයට. එහි අතරමඟදී තමයි මාව සම්බන්ධ කර ගත්තේ. මැණික් කුරුකුලසූරිය, සබීතා පෙරේරා, ජීවන් කුමාරණතුංග වැනි එවකට ජනප්‍රිය චරිත තමයි ඒ සඳහා එක්ව හිටියේ. පොඩි චරිතයක් තියෙනවා කියලා තමයි මාව ටයි අංකල් එක්කන් ගියේ. අන්තිමට ඒ පොඩි චරිතය තමයි එහි ප්‍රධාන චරිතය වුණේ. රන් කහවණු කිව්ව ගමන් මතක් වෙන්නේ මාව'' ඔහු පවසන්නේ සිනාවෙමින්.
ගායන ශිල්පියකු රංගන ශිල්පියකු සේම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසද කමල් අද්දරආරච්චි නම් චරිතය මෙරට කලා ක්ෂේත්රය තුළ නොමැකෙන සේ සටහන්ව ඇත. දෙදරු පියෙකු වන කමල් විවාහ වී සිටින්නේ අනුරාණි අද්දරආරච්චි සමඟින්ය. ජනප්‍රියත්වය සේම එතුළින් මතුව ආ අනේකවිධ කටුකත්වය සමඟ අත්දැකීම් එහෙත් ඒ වසර ගණනාවකින් ඔහු රංගනයේ නිරත නොවීමද තුළය. ඉතින් ඔහුගේ රංග ප්‍රතිභාව යළිත් මවන්නට සමත් නිර්මාණයක් ඔහු නෙත ගැටේවායි හදසර අපි ප්‍රාර්ථනා කරමු. ලබමින්, සියල්ල දරා ගනිමින් ඉදිරියට ආ ගමනේ ඔහු තවමත් මෙරට කලා රසික මතකයේ රැඳුන චරිතයකි.
මොනිකා සේරසිංහ