ලයාන්විත හඬ දයාන් සිය 500 වැනි ගීතයද ගයයි
දයාන් විතාරණ කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්රයේ සිටින ලයාන්විත හඬක් තිබෙන ගායකයෙක්. ඔහුගේ ගීත අදටත් අතිශයින්ම ජනප්‍රියයි. ඒ වගේම දයාන් විතාරණ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක්. ලංකාවේ සිටින සෑම කලාකරුවෙකුගේම ඡායාරූප එකතුවක් ඔහු සතුව තිබෙනවා. පසුගිය දා දයාන් සිය 500 වැනි ගීතයටද හඬ මුසු කළා. එම ගීතය පිළිබඳ සටහනක් ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක්කොට තිබුණා.
එම සටහන පහතින්..
"මගේ ගීත ගොන්න 500ට ආසන්න වෙමින්.
මගේ ගීත ගොන්නට එකතු වන තවත් අපුර්ව ගීතිකාවක් ලෙස, 'සුවිශුද්ධාත්මයාණනේ .........' නම් කිතුණු ගීතිකාව සඳහා අද දින මා හඬමුසු කළ අතර එය රචනා කරමින් තනු නිර්මාණ කොට සංගීතවත් කරනු ලැබුවේ ද ගරු තිලකසිරි ප්‍රනාන්දු පියතුමන් විසිනි. දිල්ෂාන් තමෙල්ගේ කඳානේ පිහිටි ශබ්දාගාරයේ දී මෙය අද දවසේ පටිගත කරනු ලැබූ අතර නුදුරේම නාද ශික්ෂණ කටයුතු නිමාවීමෙන් මතු ඔබට එය තිළිණ කරන්නට බලාපොරොත්තු වෙමි.
මා 'ශුදාත්මෙණී' ගීතය ගැයීමෙන් පසු මේ ගීතිකාමන්ත්රණය වෙනුවෙන් වඩා සුදුසු මගේ හඬම යැයි සිතා මා හට මෙවැනි ගීත ගැයීමට ආරාධනා කරන සියලු දෙනාට ම මා බෙහෙවින් කෘතඥ වන අතරම, තිලකසිරි පියතුමන් ද මින් පෙරත් මා හට 'ශුදාත්ම ආලෝකය' නම් ගීතයක් නිර්මාණය කොට ඇත.
තමෙල්ගේ සිඟිති දියණිය ද ගායනයෙහිලා සිය දස්කම් දක්වමින් පෙරට එන අතර ඇය සමගින් ද අද මා ඡායාරූපයකට පෙනී සිටි අතර, සුවිශේෂී සිදුවීමක් වන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'ආකාස කුසුම්' චිත්‍රපටයේ තේමා ගීතය වන 'නුවන් පුරා ......' ගැයූ සමන් නිශාන්ත ද අද මට හමුවූ අතර කලක පටන් ඔහු දැන හඳුනන නමුත් අද දින එහිදී මුල්වරට මා ඔහුගේ අලේඛ්‍ය ඡායාරූප කිහිපයක් ගතිමි.
මෙන්ම මා කලකට පෙර 'ශුදාත්මෙණී' ගීතය ගයන විට මා ඒ සඳහා කැටුව ගිය සංගීතවේදී, අපට සිටින ප්‍රකට ප්‍රවීණ මැන්ඩලීන් වාදකයෙකු වන සුසන්ත කාරියකරවන හිතවතාණන් ද අද මට හමුවූ අතර බොහෝ කලකින් ඔහුගේ ද අලේඛ්‍ය ඡායාරූප කිහිපයක් ද ගතිමි.
අද පටිගත කිරීමේ දී ගත් ඡායාරූප කිහිපයක් සහ මා විසින් ගත් ඡායාරූප එකතුවක් ද මේ සමග ගෙනෙන අතරම ගීතයේ පද මාලාව ද මෙලෙසින් ඔබත් සමග බෙදා ගන්නෙමි.
පද මාලාව -
මුදු සුළඟක් වගේ
සනසන්න මා ජීවිතේ
ගිනි සිළුවක් වගේ
දැල්වෙන්න මගෙ ජීවිතේ
සුවිශුද්ධාත්මයාණනේ //
ශුද්ධාත්මයාණනේ //
ඔබ ආලේපයෙන් ස්පර්ශයෙන්
පරිශුද්ධ ශ්‍රී වචනයෙන්
පුරවන්න ඒ බලයෙන් //
යදිනා මේ මොහොතේ //
ඔබෙ ආලෝකයෙන් ස්ප්‍රීතුවෙන්
සුවිශුද්ධ බල මහිමයෙන්
දල්වන්න ඒ ජීවයෙන් //
යදිනා මේ මොහොතේ //
නුදුරේම මේ ගීතයත් සමගින් ඔබ හමුවන්නට බලාපොරොත්තු වන අතර ගීතය වෙනුවෙන් දායක වූ සියලු දෙනාට ම මගේ කෘතඥතාව සහ සුබාසිරි ද ගෙන එමි !!!"