ලෝබ නැතුව ජීවිත කාලය පුරාවටම ආදරය කරන දෙන්නයි මට ඉන්නේ
දශකයකට ආසන්න කාලයක් පුංචි තිරය තුල දක්ෂ නිළියක ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ගීතිකා රාජපක්ෂ කාලෙන් කාලෙට විවිධ වූ චරිත හරහා පුංචි තිරයෙන් මුණගැහෙන චරිතාංග රංගන ශිල්පිනියක්. මේ දිනවලත් ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන මීනු ටෙලිනාට්‍ය වගේම ඇයගේ කුලුඳුල් චිත්‍රපටය වන The game හරහාද ඇය පුංචි තිරයට වගේම රිදී තිරයටත් ගොඩවදිනවා. මේ සඳැල්ල අපි ඇය සමඟ කළ කතාබහකි.
මේ දවස්වල කොහොමද වැඩ කටයුතු?
මේ දවස් වල නම් ලොකුවට ටෙලිනාට්‍ය ෂූටින් නම් යන්නේ නැහැ. මීනු ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මේ වෙනකොට අවසන්. රටේ ඇති වෙලා තියෙන අර්බුද තත්ත්වය සමග වැඩ කරගන්න බැරි මට්ටමේ ලොකු අපහසුතාවයන්ට මුහුණ දෙමින් ඉන්නවා.
ගීතිකාගේ කුලුඳුල් චිත්‍රපටය The game කොහොමද ඒ අත්දැකීම?
සුරංග ද අල්විස් මහතාගේ අධ්‍යක්ෂණයක් වන The game මගේ ජීවිතේ පළමු සිනමා අත්දැකීම. ඒක රන්ජන් රාමනායක අයියා වටා ගෙතුනු හරිම ලස්සන කතාවක්. The game ලංකාවේ විතරක් නෙමෙයි මේ වෙනකොට ඕස්ට්‍රේලියාවෙත් තිරගත වෙනවා. රංජන් අයියා එක්ක වැඩ කිරීමට ලොකු අත්දැකීමක් ලොකු සතුටක්.
ටෙලි නාට්‍යය පැත්තට හැරුණොත් මීනු ටෙලි නාට්‍යයේ නදී ට කොහොමද ලැබෙන ප්‍රතිචාර?
මීනු කියන්නේ ඉරේෂ් ලොකු බණ්ඩාර අයියාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු තවත් ලස්සන කතාවක්. ඒ ලස්සන මම දැක්කේ සහ මට දැනුණේ ටෙලි නාට්‍යය විකාශය වෙන්න ආරම්භ වුණාට පස්සේ. එහි මගේ චරිතය වෙන්නේ නදී කියන චරිතය. මුලින්ම ඇත්තටම මම මේ චරිතය භාරගන්න කැමති වුණේ නැහැ. පස්සේ ඉරේෂ් අයියා නැවත නැවත කතා කරනකොට මට කිව්වා ප්‍රධාන චරිතය කරන්නේ ශලනි තාරකා කියලා. මම ශලනිගේ හොඳම මිතුරිය විදිහට තමයි චරිතය නිරූපණය කරන්නේ. ශලනි තමයි ප්‍රධාන චරිතය කරන්නේ කිව්වා. ආයේ දෙපාරක් හිතුවේ නැහැ මම හා කියලා කිව්වා.
කතාව විකාශනය වෙන්න ගත්තාට පස්සේ හිතපු නැති තරම් ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. මීනු නොබලන කෙනෙක් නැති තරම් කියලා ලැබෙන ප්‍රතිචාර වලින් දැනෙනවා. හම්බ වෙන හැමෝම අහන්නේ ඉස්සරහට කතාවේ මොකද වෙන්නේ කියලා.
ඇත්තටම අසේකලා, නදීලා වගේ චරිත මේ සමාජයේ ඕන තරම් අපට මුණගැහෙනවා. ජීවිතේ හැලහැප්පීම්, වේදනාවන්, අසාධාරණකම්, කෙනෙහිලිකම් සියල්ල දරාගෙන ජීවිතේ ඔළුව උස්සන්න උත්සාහ කරන අසේකලා වගේ අයට නදී වගේ ශක්තිවන්ත මිතුරියොත් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඉදිරිය බොහොම තීරණාත්මකයි. මීනු එක්ක ඉදිරියටත් රැඳෙන්න කියලා ආදරණීය ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා.
නදී ව කොහොමද ගීතිකාට දැනුනේ?
නදී කියන චරිතය කරද්දි මට සමහර තැන්වල ලොකු විශේෂයක් දැනුණා. මොකද ශලනි මට ඇත්ත ජීවිතෙත් හොඳම යාළුවෝ. සතුටෙදි වඩා දුකේදි අපි එකාවගේ ඉන්න අය. අපිට සමහර යාළුවෝ ඉන්නවානේ ජීවිතේ වැටෙන්න හදපු හැම තත්පරේකදිම හිතට හයිය අරන් දෙන, අත අතාරින්නේ නැති යාළුකම්. ඒ වගේ යාළුකමක් තමයි සැබෑ ජීවිතේ ශලනි සහ මම. පුංචි තිරයේ නදී සහ අසේකා විදිහටත් ඒ සහෝදර බැඳීම නිරූපණය කරන්න ලැබුණු එක ගැන සතුටුයි. සැබෑ ජීවිතේ ශලිනිත් මට නදී වගේ යාළුවෙක්.
ගීතිකාව කාලෙන් කාලෙට පුංචි තිරයේ පෙනුනත් ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුව ලැබෙනවා. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තටම ක්ෂේත්රයට ආපු මුල් කාලෙ ඉඳලා අදටත් නොවෙනස්වන ප්‍රේක්ෂක ආදරයක් මට ලැබෙනවා. මම රාජ්‍ය සේවයේ රැකියාවක නියැලෙන ගමන් තමයි කලා කටයුතු වලට දායක වෙන්නේ. ඒ නිසා නිර්මාණ බොහොමයක් මට මගඇරිලත් තියෙනවා. කොහොමත් මම නිර්මාණ භාරගන්නේ ප්‍රසිද්ධිය බලාගෙන නෙමෙයි. වෘත්තිය කරන අතරතුර රංගනය කරන නිසා නිතර රූපවාහිනියෙන් මාව දකින්න අපහසුයි.
මම වෘත්තියෙන් වෙනත් රැකියාවක් කරත් කලාව තමයි මගේ ජීවිතේ මම සතුටු වෙන එකම තැන. අනිත් එක මම සතුටු වෙන චරිතයක් නම් පමණයි මම භාරගන්නේ. මුදල් මත පදනම් වෙලා නම් මම හැම නිර්මාණයක්ම භාර අරගෙන කරන්නේ නැහැ. මම හරියට තෝරනවා. මට සතුටක් දැනෙන දේකට තමයි යොමුවෙන්නේ. ඒ නිසා සමහර කාලවලදී මාව පේන්න නැති බොහෝ අවස්ථාවන් තියෙනවා. ඒත් මට ලැබෙන චරිත වලට මම උපරිමයෙන් සාධාරණ කරන්න කැපවෙනවා. ඒ නිසාම තමයි ප්‍රේක්ෂක ආදරය නොවෙනස්වම මට ලැබෙන්නේ.
කලා ජීවිතේ ගෙවුනු වසර දහය තුළ ඔබ තෘප්තිමත්ද?
ඇත්තටම මේ ගෙවුණු වසර 10 තුළ මට ලැබුණු චරිත ගැන මම සෑහීමකට පත්වෙන්නේ නැහැ. දෙයක් කරන්න තියෙන චරිත ලැබුණේ මට අතලොස්සයි. මට ලැබුණු චරිත අතරින් කිහිපයක් පමණයි තෘප්තිමත් වෙන්න පුළුවන් චරිත තියෙන්නේ. නමුත් මට රංගන ශිල්පිනියක් විදිහට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. අවස්ථාවක් ලැබුණොත් හොඳ චරිත ලැබුණොත් ඒ සඳහා උපරිමව මම කැපවෙනවා.
ගරුඬ මුහුර්තය ටෙලිනාට්‍යයේ කපුරු ගේ චරිතය සහ ඉරහඳ පායන ලෝකය ටෙලි නාට්‍යයේ මද්දුමීගේ චරිතය මට රංගන ජීවිතේ කරන්න ලැබුණු සුවිශේෂී චරිත දෙකක්. මොකද මම ගැමි චරිත කරන්න හරිම ආසාවෙන් බලාපොරොත්තුවෙන් හිටියේ. ඒවගේ රංගන ජීවිතේ සතුටු වෙන්න පුළුවන් යම් යම් තැන් තියෙනවා. නැතුවාම නෙමෙයි. සමස්තයක් විදිහට බැලුවොත් මට කරන්න ලැබුණු චරිත ගැන සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඒ කොහොම වුණත් මගේ මුළු ජීවිතයම බැඳිලා තියෙන්නේ රංගනය එක්ක.
කොහොමද පෞද්ගලික ජීවිතේ?
වරදක් නැහැ. හොඳින් ගෙවෙනවා. ඇත්දැකීම් එක්ක ඉස්සරට වඩා අවබෝධයෙන් ජීවිතේ ගෙවනවා. ලොකු බලාපොරොත්තු ගොන්නක් මට නැහැ. මේ දවස්වල නම් ටිකක් නිදහසේ ඉන්නවා. ඒ නිදහසටත් මම කැමතියි.
ආදරේ ගැන ගීතිකාට මේ වෙලාවේ තියෙන අදහස මොනවගේද?
ආදරය කියන මාතෘකාවේදි මම හරිම සංවේදී කෙනෙක්. ඒ වගේම මම ආදරය ගොඩක් බලාපොරොත්තුවෙන කෙනෙක්. ලෝබ නැතුව ජීවිත කාලය පුරාවටම ආදරය කරන දෙන්නයි මට ඉන්නේ ඒ මගේ අම්මායි තාත්තයි විතරයි.
නදීශා අතුකෝරළ