ලිංගික අධ්‍යාපනය හරි හැටි දැනගෙන හිටියොත් යථාර්ථය අවබෝධ කරගෙන ජීවත් වෙන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පරපුරක් යනකොට, තවත් පරපුරක් කලා ක්ෂේත්‍රයට පැමිණෙනවා. ඒ විදියට අලුත් පරපුර අතරට එක් වූ ඇය ‘මදාරා’ සෙව්වන්දිය. මේ දිනවල මදාරා අපට හමුවන්නේ, බොනිකරතරු නාට්‍යයේ - ශාරදා ලෙසය. තාරුණ්‍යයේ අලුත් තරු අතර තවත් තරුවක වූ මේ මදාරා අපට කියන්නෙ මොනවද බලමු.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට තවත් අලුත් මුහුණක්?

ඔව්, ඒත් මාව හඳුනාගන්නෙ නාඩගම්කාරයෝ එක්ක. ඒකෙ ‘හංසි’ගෙ චරිතය නිසා. බොනිකර තරු නාට්‍යයේ, ශාරදා නමින් රඟපානවා.

ශාරදා’ මොනවගේ චරිතයක්ද?

ශාරදා නම් දඟකාර චරිතයක්. අක්කා එක්ක නිතර රණ්ඩු කරන දඟකාර කෙනෙක්.

මදාරා’ සැබෑවට කොහොමද?

ඒ වගේ නම් නෙවෙයි. බොහෝම නිශ්ශබ්ද චරිතයක්. ආඩම්බර නෙවෙයි, ඒත් හිතවත් අය එක්ක තමයි වැඩිපුර කතා කරන්නෙ.

කොහොමද රඟපෑමට ආවෙ?

මුලින්ම වෙළඳ දැන්වීම්වලට හිටියෙ. ඉන්පසුව මුලින්ම රඟපෑවෙ නාඩගම්කාරයෝ හංසිගෙ චරිතය. ඊට පස්සෙ තමයි බොනිකර තරු ශාරදා චරිතය ලැබුණෙ. මගෙ ජොබ් එක එක්ක වැඩ ගොඩක් බාර ගන්න බැහැ.

මදාරා’ ගෙ පවුලේ විස්තර?

අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි. මල්ලි ඉගෙන ගන්නවා. තාත්තා ව්‍යාපාර කටයුතු කරන්නෙ. මම උපන්නෙ ගාල්ලෙ. ඉගෙන ගන්නෙ ගාල්ලෙ රිෆන් බාලිකා විද්‍යාලයෙන්.

පාසලේ දී කප් ගහපු චරිතයක්ද?

එහෙම නැහැ. සාමාන්‍ය චරිතයක්.

පාසල් ජීවිතයේ සොඳුරුම මතකයන් මොනවද?

A/L කරන කාලයේදී දින තුනක ට්‍රිප් එකක් ගියා. පොළොන්නරුවට ගියේ. යාළුවෝ එක්ක හරි සුන්දර චාරිකාවක්. ඒක හොඳ මතකයක්.

හොඳට ඉගෙන ගන්න ඇති?

සාමාන්‍ය විදියට දක්‍ෂතාවයක් තිබුණා. දැන් මේ වන විට මම කටයුතු කරන්නෙ වෘත්තියෙන් මනෝ උපදේශකවරියක් ලෙස.

මොන වගේ අයටද උපදේශනය දෙන්නෙ?

පරිවාසගතව සිටින 18න් පහළ ගැහැණු ළමුන්ට මගේ උපදේශනය ලබා දෙනවා.

ඔබ හිතන විදියට ඒ ළමුන් ඇයි පරිවාස ගතවෙලා ඉන්නෙ?

පවුල් පසුබිම හෝ මව්පිය වැරදි හෝ ආරක්‍ෂාව නොමැතිකම නිසා එහෙම වෙලා තියෙන්නෙ. ඒ ළමුන්ගෙ වරදක් නැහැ. පොඩිකාලයේ ඉඳලාම ළමයි වැරදි කරනවා නම්, ඒක මව්පිය නොසැලකිලිමත්කම නිසා වෙන්න පුළුවන්. කොහොම වුණත් පරිවාසය ළමුන්ට හොඳයි කියලා මම හිතන්නෙත් නැහැ. මොකද ළමයි කොටුකරලා වැරදි කරපු අය එළියෙ නිදැල්ලේ.

අපේ රටේ යෞවනියන්ට තියෙන්නෙ මොන වගේ ප්‍රශ්න කියලද ඔබ හිතන්නෙ?

මම හිතන්නෙ ලිංගික අධ්‍යාපනයක් නොමැතිකමයි. මා එක්ක කතාකළ බොහෝ දෙනෙක්ගෙන් දුටු දෙයක්. කුඩා කල සිට ළමුනට ලිංගික අධ්‍යාපනය ගැන කියලා දෙන්න ඕනෑ. එවිට තේරෙන වයසෙදී එයාලාට සියල්ල අවබෝධ වෙනවා.

කොයි විදියටද?

පාසලෙන් ඒක කළ යුතු දෙයක්. මම පාසල් ගිය කාලයේදී පවා, ඒ දැනුම හරියට ලැබුණෙ නැහැ. ඒක නිසා මම කියන්නෙ අනාගතයේදී ළමුන්ට හරි විදිහට ලිංගික අධ්‍යාපනය දෙනවා නම් හොඳයි.

මදාරා’ ලිංගික අධ්‍යාපන විෂයය දකින්නෙ කොහොමද?

ඒක හැමෝම ඉගෙන ගන්න ඕනෑ දෙයක්.

ඇයි ඉගෙන ගන්න ඕනැ?

ඒ දේ නැති වුණාම තමයි සමහර අය අඩු වයසින් විවාහ වීම, ළමුන් බිහිකිරීම වගේ දේ කරන්නෙ. ඒත් ලිංගික අධ්‍යාපනය හරි හැටි දැනගෙන හිටියොත් යථාර්ථය අවබෝධ කරගෙන ජීවත් වෙන්න පුළුවන්.

කොහොමද ‘මදාරා’ගේ ප්‍රේමය?

‘ප්‍රේමය’ පොදුයි. මම උපදේශනය කරන නිසා මගේ උපදේශනය ලබන හැමෝටම ආදරය කරනවා. ආදරය කරුණාව නැතිව උපදේශනය කරන්න බැහැ.

මදාරා’ ගෙ පෙම්වතා කවුද කියලා ඇහුවොත්?

තවම නැහැ.

මදාරා කැමති ප්‍රේම විවාහයකටද? යෝජිත විවාහයකටද?

යෝජිත විවාහයකට නම් මම කැමති නැහැ. ප්‍රේම විවාහයක් නම් හොඳයි. ඒත් කොහොම වේවිද දන්නෙ නැහැ.

පැවති ප්‍රේමය නිම කරද්දී කොහොමද මදාරා හිත හදාගත්තෙ?

දුක දැනුණා. ඒත් කාලය එක්ක ඒක නැතිව ගියා. හිත හදාගත්තා. මම ගොඩාක් කාර්ය බහුල වෙලා වැඩකළා. එතකොට ඉබේම ඒක අමතකවෙලා ගියා.

බොනිකර තරු වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳයි

දිගටම රඟපෑම කරනවද?

ජොබ් එකට හානියක් නොකරගෙන කරගෙන යනවා.

මදාරා’ත් බොරු කියනවද?

කාටවත් හානියක් වෙන බොරු නම් කියන්නෙ නැහැ.

මොනවද දකින අඩුපාඩු?

මට දුක හිතුනාම, තරහා ගියාම ඒ කෙනා එක්ක කතා කරන්නෙ නැහැ. එතකොට එයාට දුක ඇති. ඒ නිසා ඒක හොඳ දෙයක් නෙවෙයි කියලා මම හිතනවා. තව කෙනෙක් අපහසුතාවයට පත් කරන්න මම කැමති නැහැ.

මේ වැඩවලට එන්නෙ ගාල්ලෙ ඉඳලද?

වැඩ තියෙන දවස්වලට මම කොළඹ නතර වෙලා ඉන්නෙ.

නිතරම ආරුගම් බේ යන්නෙ?

මගේ ආච්චි, නැන්දලා, මාමලා ඔක්කෝම ඉන්නෙ එහේ. එයාලා දමිළ. අපෙ අම්මගෙ අම්ම දමිළ.

ඒ සංස්කෘතිය කොහොමද?

මම ඒ සංස්කෘතියටත් ලැදියි. මම කෝවිල් යනවා. ආච්චි මට හරි ආදරෙයි. මාත් ආච්චිට සහ නැන්දලා මාමලාට හරි ආදරෙයි.

ඔයාට ‘දමිළ’ කතා කරන්න පුළුවන්ද?

සාමාන්‍ය මට්ටමකින් පුළුවන්. ඒත් භාවිතා වෙන්නෙ නැහැ. කියන දේ තේරෙනවා.

ලංකාවෙ තරුණියන්ට මේ වෙලාවෙ ඔබ මනෝඋපදේශකවරියක් ලෙස දෙන උපදෙස මොකක්ද?

මේක අමාරු වෙලාවක්. රටෙන් යන්න බලන්නෙ. හැබැයි මේ රටේ ඉඳගෙන තමන් තමුන් වෙනුවෙන් නැගිටින්න උත්සාහ ගත්තොත් වඩා හොඳයි. අපේ පරපුරේ සිහින බොඳ වෙලා, ඒත් කැපවීම තිබුණොත් සිහින සැබෑ කර ගන්න පුළුවනි.

ආරුගම්බේ සහ ගාල්ල වෙනස දකින්නෙ කොහොමද?

ආරුගම්බෙ ලොකු වෙනසක් තියෙන්නෙ. මේ මිනිස්සු සරල ජීවිතයක් ගත කරන්නෙ. ඒක තමයි මම දකින ලොකුම වෙනස. ඒ සරල බවට මම හරි ආසයි.

සඳුන් ගමගේ / ඡායාරූප - සජාත් ලක්ෂිත පෙරේරා