ලංකාවට ඇවිල්ලා මම තීරණය කළා ලංකාවේ නාට්‍යවල ආයේ රඟපාන්නේ නැහැ කියලා
පාරදිගේ ‘‘බන්ටි’’ කියන්නේ ටෙලි ප්‍රේක්ෂකයින්ට නම් අමතක කරන්නම බැරි චරිතයක්. රටේ ගොඩක් දෙනා ආදරය කරන පාරදිගේ බන්ටිව කාලෙකට පස්සේ කතාබහකට එකතු කරගන්න සිතුවා. මේ දිනවල පාරදිගේ සහ වීදුරු මල් ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂකාගාරයේ මුණගැහෙන ඇය කලා ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතේ අලුත් තොරතුරු සමගින් රසබර කතාබහකට එකතු වුණේ මේ විදිහට. දක්ෂ නර්තන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් වගේම පුංචි තිරයේ ප්‍රේක්ෂකයින් වශී කරගත් ඇය දුෂේනි මියුරංගි සිල්වායි.
ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ?
ජීවිතේ හොඳයි. සාමාන්‍ය විදිහට ගලාගෙන යනවා. හැබැයි ඉතින් ටිකක් බිසී.
ඒ කියන්නේ වැඩ ගොඩකටම කර ගහලා වගේ?
පාර දිගේ ටෙලි නාට්‍යයට අමතරව තව නිර්මාණ කිහිපයක වැඩ ආරම්භ වුණා. ඒ අතරින් චාමර ජනරාජ් පීරිස් මහත්මාගේ තිර රචනයක් සහ අධ්‍යක්ෂණයක් වන වීදුරු මල් මේ දිනවල විකාශය වෙනවා. එහි රූගත කිරීම්වලටත් දායක වෙනවා.
දුෂේනි මොන තරම් චරිත කරත් පාර දිගේ බන්ටිව අමතක කරන්න බෑනේ. කොහොමද බන්ටිට මේ දවස්වල ප්‍රතිචාර?
පාර දිගේ කියන්නේ ඇත්තටම මගේ ජීවිතේ වෙනස් කරපු ටෙලි නාට්‍යය. ඒ ටෙලි නාට්‍යයේ බන්ටි කියන්නේ මට මහා ලොකු ප්‍රේක්ෂක ආදරයක් ගෙනැල්ලා දුන්න චරිතය. බන්ටි කියන්නේ මගේ රංගන ජීවිතේ එක හැරවුම් ලක්ෂ්‍යයක්. මම නිර්මාණ කිහිපයකටම දායක වෙලා හිටියත් මාව ගොඩක්ම ප්‍රේක්ෂකයෝ අතරට ගියේ බන්ටි නිසා.
කාලයක්ම නිහඬ වෙලා ඉඳලා තමයි දුෂේනි පාරදිගේ ටෙලි නාට්‍යය හරහා සම්බන්ධ වෙන්නේ. බන්ටිගේ චරිතය තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණද?
ඇත්තටම 2019 සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයෙන් පස්සේ මම යනවා ඉන්දියාවට. ඒ ගිහින් අවුරුද්දක් පමණ මම ඒ රටේ කලා ක්ෂේත්රය නිරූපණය පැත්තෙන් වැඩ කටයුතු කිහිපයක් කළා. ඒ අතරතුර දී මම ලංකාවට ආව වෙලාවෙදි කොරෝනා එක්ක මම ලංකාවේ හිරවුණා. ඊට පස්සේ මාස 6ක් විතර මම ලංකාවේ කලා කටයුතුවලට දායක වුණේම නැහැ. ගෙදරට වෙලා ඉන්නකොට තමයි ශිවගුරුනාදන් මහත්මයා පාරදිගේ ටෙලි නාට්‍යයට මට කතා කළේ. ඇත්තටම මම මුලින් කැමති වුණේ නැහැ. සද්ධා මහත්මයාගේ පිටපත කියෙව්වාම බන්ටි කියන චරිතය ඇතුළෙ මට කරන්න දෙයක් තියෙනවා කියලා හිතුණා.
බන්ටි කියන චරිතයට මාව තෝරා ගැනීම ගැන සද්ධා මහත්මා, ශිවා මහත්මා ඇතුළු ඒ මුළු කණ්ඩායමටම මම ස්තූතිවන්ත වෙනවා. මෙහි මම නිරූපණය කරන්නේ ද්විත්ව චරිතයක්. විශේෂයෙන් බන්ටිව ගොඩනගන්න ශිවා මහත්මයා, මට ලොකු සහයෝගයක් දෙනවා. බන්ටි කියන චරිතය සාර්ථකව මේ තරම් දුර ගේන්න පුළුවන් වුණේ ඒ නිසා.
දුෂේනිගේ සැබෑ ජීවිතේට කිට්ටු බන්ටිද නැත්නම් සරණි ද?
ඇත්ත ජීවිතේ මම බන්ටි වගේ නෙමෙයි සරණි වගේ. මොකද මම ඇත්ත ජීවිතේ සද්ධ බද්ධ නැති අහිංසක පාඩුවේ ඉන්න කෙනෙක්. මට සරණිගේ චරිතය ආයාසයෙන් තොරව රඟපාන්න පුළුවන්. ඒත් බන්ටිට හැඩගැහෙන්න ලොකු ආයාසයක් ගන්න වුණා.
ඉතින් ඉන්දියානු ගමනේ රස මතකයන් මොනවද?
ඒ මුළු ගමන මගේ ජීවිතේට රස මතකයන් ගොඩක් එකතු කරපු ගමනක්. ඒ ගමනට මට අවස්ථාව ලැබෙන්නේ අහම්බෙන්. හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙලෙදි මට ඉන්දියානු රංගන ශිල්පි සිද්ධාර්ත් මල්හෝත්‍රා සමඟ නර්තනයකට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ තමයි ඔවුන්ගේ යෝජනාවක් මත සාකච්ඡා කිහිපයක්ම පවත්වලා ඉන්දියාවට යන්න ලැබුණේ. එහිදී තිර පරීක්ෂණ කිහිපයකට සහභාගි වුණා. වැඩ කිහිපයකටත් මාව යෝජනා වුණා. මුම්බායි ෆිල්ම් සිටි එක ළඟමයි මම නතර වෙලා හිටියේ. ඒක මට ලැබුණ වෙනස්ම අත්දැකීමක්. ඒ අතරතුර තමයි කොරෝනා නිසා ලංකාවට ආවේ.
ඒ කියන්නේ දුෂේනි නැවතත් ඉන්දියාවට යනවද?
ඔව්. මට ඉන්දියාවට නැවත යන්න වේවි. මගේ බඩුවත් මම ලංකාවට ගෙනාවේ නැහැ. දැන් නම් භාරගත්ත වැඩ ඉවර වෙලා නැවත ඉන්දියාවට ගිහින් එන්න යනවා. ලංකාවට ඇවිල්ලා මම තීරණය කළා ලංකාවේ නාට්‍යවල ආයේ රඟපාන්නේ නැහැ කියලා. ඒත් ඒ අතරතුර මට ලැබුණු පාර දිගේ මගේ මුළු ජීවිතේම ආයේ වෙනස් කළා.
රඟපාන්නේ නැහැ කියලා ගත්ත තීරණේ වෙනස් කරපු එක ගැන දැන් මොකද හිතෙන්නේ?
මම රඟපාන්න බෑ කියද්දී අම්මායි තාත්තායි තමයි මාව නැවත රඟපාන්න උනන්දු කළේ. විශේෂයෙන් තාත්තා, නැවත රඟපාන්න කියලා මගේ ඔළුව ගොඩක් හැදුවා. දැන් මට ලංකාව දාලා යන්න දුකයි. ඒ තරම් බන්ටිගේ චරිතයත් එක්ක ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. ඒ ආදරේ දාලා මට දැන් යන්න හිතන්නෙම නැහැ. මම පස්සේ තීරණය කළා ලංකාවේ වගේම ඉන්දියාවෙත් දෙපැත්තම සමබර කරගෙන වැඩ කරන්න.
දුෂේනිගේ අලුත්ම නිර්මාණය වීදුරු මල් ගැනත් කතා කරමු.
වීදුරු මල් ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන්නේ විනුෂා කියන වෛද්‍යවරියකගේ චරිතයක්. විනුෂා මට ටිකක් අභියෝගයක් ගෙන දුන් චරිතයක්. විනුෂා කියන්නේ ටිකක් දැඩි චරිතයක්. ආරාධනා කරනවා හැමෝටම වීදුරු මල් එක්ක එකතු වෙන්න කියලා. මේක බොහොම ලස්සන නිර්මාණයක්.
දුෂේනිගේ කලා ගමන ආරම්භ වෙන්නේ ITN අවුරුදු කුමරිය හරහා. ආපු ගමන ගැන අද මොකද හිතෙන්නේ?
මගේ ගම කුරුණෑගල. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි. මම උසස් පෙළ කරලා අවුරුදු කුමාරි තරගයට ආවෙත් ඇත්තටම තාත්තාගේ කැමැත්තෙන්ම. අවුරුදු කුමාරි තරගයෙන් මම දොළොස් දෙනා අතරට විතරයි ආවේ. එදා මම පැරදුන නිසා මම හිතා ගත්තා කොහොම හරි මම මගේ ගමන යනවා කියලා. ඒ අතරතුර මියුසික් වීඩියෝ, ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා. ඒ අතරෙදි 2017 මිස් ශ්‍රී ලංකා වුණා. ඒකත් තාත්තාගේ හීනයක්. ඇත්තටම මාව මේ දේවල්වලට යොමු කරන්න කැප වුණේ මහන්සි වුණේ තාත්තා. අම්මාත් එහෙමයි. අම්මා මගේ පස්සෙන්ම හිටියා.
මොනවද ඉස්සරහට අලුත් බලාපොරොත්තු?
මම අනාගතය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඉදිරියට මොනවා කරයිද කියලා හිතන්න බැහැ. රංගනය පැත්තෙන් හොඳ වැඩ ටිකක් කරන්න තමයි මට ඕනෑ.
ජීවිතේ ආදරේ කොයි විදිහට ද දැනුණේ සහ අද කොයි විදිහට ද දැනෙන්නේ?
හරි විදියට හරි කෙනෙක් ලැබුණොත් ජීවිතේ ලස්සනයි. මට ඒක හරි විදිහට ලැබුණද කියන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි මම මිනිස්සුන්ගේ සබඳතාවලට, බැඳීම්වලට චුට්ටක් බයයි. ආදරේ කියන්නේ හිමි වීමට නෙවෙයි. එයා කොහේ හරි සතුටින් ජීවත් වෙන්නයි ඕනැ.
‘‘සිංහබාහු’’ ඔබේ පළමු සිනමා අත්දැකීම කොහොමද?
ඒ ගැන මේ වෙලාවේ කතා කරන්න කැමැති නැහැ. මේ වෙලාවේ එකම ප්‍රාර්ථනය ජැක්සන් ඇත්තනි මහත්තයාට ඉක්මන් සුවය ලැබෙන්න කියන එක විතරයි. එතුමා නැගිටිනකම් අපි හැමෝම බලාගෙන ඉන්නවා. සෑම තත්පරයකම ප්‍රාර්ථනා කරන්නේ එතුමාට ඉක්මන් සුවයක් ලැබෙන්න කියලා.
නදීශා අතුකෝරළ / ඡායාරූප - සජීව ලක්ෂාන්