ලංකාවෙ සිටින අයට ලංකාව එපා කරවීමේ අරමුණක් මට නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හර්ෂ තෙන්නකෝන්, තාරුණ්‍යයේ අපට සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඒත් වැඩිය දකින්න නම් නැහැ. රංගනය වෘත්තිය කරගත්තත්, අපට හමුවන්නෙ කලාතුරකින්. ඒ විදිහට හමුවන හර්ෂ දායකත්වය ලබා දෙන රංගනය ඉතා විශිෂ්ටයි. ඒ නිසා නිතර හමු නොවූවත්, මතකයෙන් ඈත් නොවන රංගන ශිල්පියකු ලෙස ඔහු නම් කරන්න පුළුවනි. මේ දිනවල මේ දක්ෂයා අපට මුණගැහෙන්නෙ ‘නන්දෝරිස්’ ලෙස වෙනස්ම චරිතයකින්. ඒ, සුදත් රෝහණයන්ගේ ‘මාණික්කාවත’ නාට්‍යයේ තවත් අපූරු චරිතයක් සමගයි. මේ මොහොතේ හර්ෂ තෙන්නකෝන් සමග පිළිසඳරක යෙදිය යුතුම යැයි අපි හඟිමු.

හර්ෂ, අපිත් නන්දෝරිස් කියන්න ද?

“ඒක ඉතින් මාණික්කාවතේ මගේ චරිතයනේ.”

මේ දිනවල අපට හර්ෂව දැක ගන්න පුළුවන් මාණික්කාවතේ විතර ද?

“මේ දිනවල මාණික්කාවතේ විතරයි. බොහෝ වෙලාවට මම ලැබෙන සමහර දේ එක්ක වැඩ කරන්නෙ නැහැ කියන ප්‍රතිපත්තියක ඉන්නෙ. සමහර ඒවායෙහි රඟපෑවාට නියමිත වෙලාවට ලැබිය යුතු මුදල් ලැබෙන්නෙ නැහැ. සල්ලි ගන්න අමාරුයි. සමහර නිර්මාණවලදී පිටපත ලැබෙද්දි මුල් කොටස් පහළොව ඇතුළතදී ඉතා හොඳයි. ඒ නිසා අපි වැඩ කරන්න පටන් ගන්නවා. නාට්‍යයේ මැදක් විතර යද්දි පිටපත වෙනස් කරලා, නළු නිළියන් වෙනස් කරලා, අපි මුලින් හිතුව විශ්වාසය නැති කරනවා. එතකොට අපට ආදරණීය ප්‍රේක්ෂකයින් ඒ ගැන අපෙන් අහද්දි අපට දෙන්න උත්තරත් නැහැ. ඒ විදිහේ අවස්ථා කිහිපයකට මුහුණ දුන් නිසා එක් අවස්ථාවකදී මම තීරණය කළේ, සම්පූර්ණ පිටපතක් නැතුව වැඩ බාරගන්නෙ නැහැ කියලයි. ඒ නිසා තමයි නිතර දකින්න නැත්තේ. මම රඟපෑ තව නාට්‍ය කිහිපයක් විකාශයට නියමිතව තිබෙනවා. ඒත් දැනට විකාශය වන්නේ මාණික්කාවත විතරයි. හැබැයි කාලයක් පෙනෙන්න හිටියෙ නැති වුණත්, මේ නාට්‍යයේ චරිතය වගේම පෙර මම දායක වූ චරිත නිසා ප්‍රේක්ෂක ආදරය නම් නිබඳව ලැබෙනවා. රඟපෑම තෝරා ගත්ත දවසේ ඉඳලාම සහ මම හිතුවෙ මම දායක වන නිර්මාණය නිසා හෝ මට වැඩ කරන නිර්මාණකරුවන්ගේ සහ ඇසුරු කරන පිරිසගේ විදිහ එක්ක මට තෘප්තියක් විය හැකි නම්, ඊට දායක වෙනවා කියලයි. මම සල්ලිකාරයෙක් නෙවෙයි. ඒත් ජීවත් වන විදිහක් තියෙනවා.”

ඒ විදිහ ගැන කියමු?

“මම නිතරම ආසා කළේ දායක වන නිර්මාණය එක්ක මට තෘප්තියක් ලැබෙනවා ද කියන දේ එක්කයි. ඒ නිසා නිතර පෙනී සිටීමට නොලැබීම ගැන මට කිසි දුකක් නැහැ.”

හර්ෂගෙ ප්‍රධාන වෘත්තිය?

“වෘත්තියත් නළුකම, තමයි.”

ඉතින් කොහොමද දෙයියනේ මේ විදිහට ප්‍රතිපත්තිගරුකව කටයුතු කරද්දි ආර්ථිකය ගොඩනගා ගන්නෙ?

“ජීවන රටාව තීරණය වන්නේ එකිනෙකාගෙ ආසාවන් සහ අවශ්‍යතා අනුවනේ. ඉතින් මම බලාපොරොත්තු වන ජීවන තත්ත්වය මට තියෙනවා. එයින් මට තෘප්තිමත් වෙන්න පුළුවනි. මම මේ දක්වා කාගෙන්වත් ණයට අරගෙන නැහැ. මහා ලොකු සල්ලිකාරයෙක් නොවුණාට, මට අම්මලා අප්පච්චිලාගෙන් ලැබුණ දේ එක්ක මම තෘප්තිමත්. බිරිඳත් රැකියාවක් කරනවා. ඒ සියලු දේ එක්ක මට අවශ්‍ය ජීවිතේ මම ජීවත් වෙනවා.”

මාණික්කාවතේ නන්දෝරිස්ට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. සැබෑ ජීවිතයේ හර්ෂගෙ දරුවන් ගැන කියමු? බිරිඳ ගැනත් කියමු?

“මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු හතර හමාරයි. පොඩ්ඩාට අවුරුදු දෙකට ළඟයි. මගේ බිරිඳ ගුරුවරියක් ලෙස සේවය කරන්නේ.”

හර්ෂ සමහර අය කියන්නෙ ඔබ හරි වෙනස් කියලයි. මොකක්ද ඒ වෙනස?

“ඒක මට තේරෙන්නෙ නැහැ. මම බොහොම සාමාන්‍ය විදිහට ඉන්න කෙනෙක්. කැපිලා පේන්න කියලා මොනවත් කරන්නෙ නැහැ. සමහර විට මම ඉන්න සරල සාමාන්‍ය විදිහ නිසාම එහෙම දකිනවා වෙන්න පුළුවනි.”

ඉන්නෙ කොළඹ ද? ගමේ ද?

“මම උපන්නෙ කොළඹ මරදානෙ. ඊට පස්සෙ අපේ අම්මයි අප්පච්චියි වේයන්ගොඩ ගෙවල් හැදුවා. එහේ පදිංචියට ගියා. ආයෙත් බාහිර උපාධිය සහ අනෙකුත් වැඩ කටයුතු කරගන්න කොළඹට ආවා. උපාධිය ගත්තට පස්සෙ මාස්ටර් එක කළා. ඒ අතරේ බිරිඳ හමු වුණා. අපි විවාහ වෙලා කොට්ටාවට ආවා. ටික කාලයක් එහේ සිටියදී බිරිඳට ගුරු වෘත්තිය ලැබීමත් එක්ක මාතර එන්න සි දුවුණා. අපි දැන් මාතර ඉන්නේ. මම මගේ බාර ගත්ත වැඩ ටික ඉවර කරලා තියෙන්නේ.”

මාණික්කාවත නාට්‍යය හරි වෙනස්. එහි චරිත පවා හරි වෙනස්. ඔබට අතීතයට ගිහින් නන්දෝරිස් වීමට සිදු වීම ගැන හිතන්නෙ කොහොම ද?

“මීට පෙර රඟපෑ චරිතවලදී පවා මට අවශ්‍ය වුණේ පෙනුම මත සීමා වූ චරිතවලට එහා ගිය වෙනස් චරිත රඟපෑමට. සමහර චරිත බාර ගන්නකොට ඒවා කරන්න එපා මචං කියලා මගේ යාළුවො කියලා තිබුණා. හැබැයි රඟපෑමට ආ දවසෙ ඉඳලා මගේ බාහිර පෙනුමට වඩා මට අවශ්‍ය වුණේ දක්ෂතාව කියන දේ එක්ක චරිත ලබා ගැනීමට. ඒ විදිහට වෙනස් චරිත රඟපාලා ලොකු තෘප්තියක් ලබන්න. මාණික්කාවත ගත්තොත් එහි නන්දෝරිස් ලෙස රඟපාන චරිතය ඒ කාලයේ පෙනුමෙ හැටියට වයස්ගත චරිතයක් නෙවෙයි.

අද මම දරු දෙදෙනකුගේ පියෙක්. වයස තිස් ගණන් පසු කරමින් යන කෙනෙක්. ඒ නිසා එක එක දේ කරමින්, බාහිර පෙනුම ලස්සනට, ආකර්ෂණයට තියාගන්න මහන්සි වෙන්නෙ නැහැ. මගේ ස්වාභාවික, නියම පෙනුම එක්ක රඟපාන්න තමයි මම ආසා. මාණික්කාවතේ නන්දෝරිස් මගේ වයසට වඩා වැඩි චරිතයක් නෙවෙයි. ඒ චරිතයට ප්‍රවේශ වීමේදී කොහොම ද දෙබස් හසුරුවා ගන්නෙ, කොහොම ද ඒ කාලයේ ස්වභාවයට අනුව රඟපාන්නෙ කියන දේ ගැන සෙවුම් බැලුම් කරන්න මහන්සි ගත්තා. කොහොමටත් චරිතයක් ලැබුණාම, ඒ චරිතයේ ස්වභාවයට හැඩගැහෙන්න මම උත්සාහ ගන්නවා. මට ඒකට වේලාවක් තියෙනවා. මොකද එක ළඟ චරිත රඟපාන කෙනෙක් නොවන නිසා.”

මේ දිනවල කොහොම ද ලැබෙන ප්‍රතිචාර නන්දෝරිස්ට?

මම නිතර ප්‍රියසාද, සම්භාෂණවලට යන කෙනෙක් නෙවෙයි. වැඩිය එළියෙ ගැවසෙන කෙනෙකුත් නෙවෙයි. ඒ නිසා එවැනි අවස්ථාවලින් ලැබෙන ප්‍රතිචාර ගැන මට අවබෝධයක් නැහැ. ෆේස්බුක් එකේ හෝ මගේ ෆෝන් නම්බර් එක හොයාගෙන කෝල් කරලා ලැබෙන ප්‍රතිචාර හොඳයි. පාරට බහිනකොට විජය කුමාරතුංගයන්ව වගේ මිනිස්සු මාව බදාගන්න, වැළඳගන්න එන්නෙ නැහැ. ඒත් මාව අගයන බව, වෙනස් විදිහේ නාට්‍ය මිනිස්සු රස විඳින වග මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් මට තේරෙනවා.”

ගුරුවරියක වන ගෙදර නෝනාගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

“එයා නිතර ටෙලිනාට්‍ය නරඹන කෙනෙක් නෙවෙයි. මම රඟපෑ චරිත ඇගැයීමට ලක් කරලා තියෙනවා. ඒ වගේම, අපරාදෙ ඒ වගේ චරිත බාරගත්තෙ කියන දේත් කියලා තියෙනවා. ‘සකර්ම’ නාට්‍යයේ සහ ‘මාණික්කාවතේ’ චරිතයට එයා ආසයි.”

ඒ තෝරා ගැනීම, නැත්නම් ඇයව සහකාරිය කරගෙන ගෙවන ජීවිතය ගැන අද කොහොම ද හර්ෂට හැඟෙන්නේ?

“මේ පිළිසඳර අවසානෙ කියන්න තිබූ දෙයක් මම දැන් කියන්නම්. පවුලක් විදිහට අපි තීරණය කළේ, මේ රට අත්හැරලා යාමට. අපි ලංකාවෙන් යන්න තීරණය කරලා ඉවරයි. මේක අද ඊයේ ගත්ත තීරණයක් නෙවෙයි. පාස්කු ප්‍රහාරයෙන් පසුව ගත්ත තීරණයක්. අපි සතු දේ විකුණා දමා, අපි පවුලම රටෙන් යන්න තීරණය කළා. බොහෝ විට තවදුරටත් ලංකාව ඇතුළේ මම රඟපාන එකක් නැහැ. මේ විදිහට අපි යන එක ලෝකෙට ප්‍රකාශ කරලා යන්න අවශ්‍ය නැහැ. නමුත් සමහර වෙබ් අඩවිවල ගොසිප් දාන්නෙ විකෘති කරලනේ. ඒ නිසා වගකීමකින් කටයුතු කරන මාධ්‍යයක් නිසා සඳැල්ලට මේ ගැන ප්‍රකාශ කළේ.”

අපි හර්ෂටත්, මුළු පවුලටත් ජයම වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

“බොහොම ස්තුතියි.”

පෙනුමත් හැඩකාර, ඊට එහා ගිය හැඩකාර රංගනයත් ඇති මේ දක්ෂයාට තවත් මොනවා ද අපට කියන්න තියෙන්නේ?

“ලංකාවෙ සිටින අයට ලංකාව එපා කරවීමේ අරමුණක් මට නැහැ. ඒත් සබුද්ධිකව බලද්දි මේ රට තවදුරටත් ඉන්න සුදුසු රටක් ද කියන ප්‍රශ්නය, රටේ විදිහ ගැන හිතන මිනිසුන්ට තේරෙන දෙයක්නෙ. ඒ වගේම රටේ බොහෝ විට ඉදිරියට දමා පෙන්වන්න හදන චරිත ගැනත් ප්‍රශ්නයක් තියෙන්නෙ. එතැනින් එහාට සමාජයක් ලෙස බලද්දි, එකිනෙකාට ගරු කරන්නෙ කොහොම ද, එකිනෙකාගෙ වෘත්තීන්ට, අදහස්වලට ගරු කරන්නෙ කොහොම ද කියන ප්‍රශ්නයත් තියෙනවා. මට සහ මගේ බිරිඳට අවශ්‍ය වුණේ දරු දෙදෙනාව නිදහස් විදිහට හිතන, නිදහස් පරිසරයක් ඇති රටක තියන්න. ඒක සමහර විට බිරිඳ සහ මගේ ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්නත් පුළුවනි. නමුත් තීරණය අරන් ඉවරයි.”

සඳුන් ගමගේ