ලංකාව වගේ රටක හෙටක් ගැන හිතන්නත් අමාරුයි. ඒත් මේක දාලා නම් යන්නේ නැහැ
කලා ක්ෂේත්රයේ බිහි වූ දක්ෂයෝ අතර චරිතාංග නළුවකු ලෙස තමන්ටම අනන්‍ය වූ භාවපූර්ණ රංගන විලාශයකින් විවිධ වූ චරිත හරහා පුංචි තිරය හැඩ කරමින් අතිශය ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් ආදරණීය චරිතයක් අද කතාබහ තුලින් මුණගැහුණා. ඔහු තමයි චමීර ලියනගේ. රන්තිලිවැව ටෙලි නාට්‍යයේ දාස, රාවණා හි කාලමේඝ, ගිරිදේවි හි කුමාර, දාම්හි කෙවින් වැනි මෑත කාලීනව මතකයේ රැඳුණු චරිත රැසකින් ප්‍රේක්ෂකාරයට සමීප වූ චමීර මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන කෝලම් කුට්ටම හරහා කරලියට එන චරිත අතර අතිශය ජනප්‍රිය චරිතයක්. ඒ සුන්දරා නම් එහි ප්‍රධාන චරිතය හරහා. සුද්දි සහ සුන්දරාගේ ආදර කතාව වගේම කලාව, ජීවිතය පිළිබඳ බොහෝ දේවල් කතා කරන්න මේ ඉඩකඩ වෙන්වුණේ චමීර ලියනගේ වෙනුවෙන්.
කොහොමද මේ දවස්වල ජීවිතේ?
දැහැමින් සෙමින් ඉන්නවා ඉතින්... රංගනය පැත්තෙන් කෝලම් කුට්ටම නිසා මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඊට අමතරව මම දායක වෙලා ඉන්න චන්දික විජේසේනගේ ගඟන පියවර ටෙලි නාට්‍යයත් මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා.
පසුගිය කාලේ කරපු නිර්මාණ එක්ක ගත්තාම කෝලම් කුට්ම චමීරට කොයි වගේ අත්දැකීමක්ද?
දාම්, රන්තිලිවැව, ගිරිදේවි, වලවෙට්ටුවා, වෙස් පසුගිය කාලේ කරපු නිර්මාණවල මට ලැබුණේ එකිනෙකට වෙනස් චරිත. ඒ අතුරින් වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ වෙස් ටෙලි නාට්‍යයට. දැන් ඊටත් වඩා ප්‍රතිචාරයක් කෝලම් කුට්ටමේ සුන්දරාගේ චරිතයට ලැබෙනවා. ඇත්තම කියනවා නම් පාරක බැහැල යන්න බැරි තරම් ප්‍රතිචාරයක් සුන්දරාට ලැබෙනවා.
කෝලම් කුට්ටම ටෙලිනාට්‍යය ගත්තම මෑත කාලීනව මට ලොකු අභියෝගයක් වගේම වෙනස් ඇත්දැකීමක් ගෙනදුන් නාට්‍යයක්. කෝලම් කුට්ටම කියන්නේ දේශීය සංස්කෘතික අගංයක් වන රූකඩ, වෙස් මුහුණු කලාව ඇසුරින් නිර්මාණය වුණු කතාවක්. මාව මේ චරිතයට යෝජනා වෙන්නේ තුන් දෙනෙකුගේ මාර්ගයෙන්.
ස්වර්ණවාහිනියේ හිටපු රංගන අයියා, සද්ධා සර්, ශිවගුරුනාදන් සර් මෙන්න මේ තුන්දෙනා එකතු වෙලා තමයි මේ චරිතයට මාව තෝරගන්නේ. මම ශිවගුරුනාදන් මහත්මා සමග මීට පෙර වැඩ කරලා තිබුණේ නැහැ. ඒත් මම ශිවා අයියා එක්ක වැඩ කරන්න හරිම ආසාවෙන් කාලෙක ඉඳලා පෙරුම් පුරාගෙන හිටියේ. කෝලම් කුට්ටමට කතා කරාම දෙපාරක් හිතුවේ නැහැ. මම චරිතය භාර ගත්තා. ශිවා අයියලා, සද්ධා සර්ලා වැනි පිටපත් රචකයින්, අධ්යක්ෂවරු සමග වැඩ කරන්නත් නළු නිළියන්ට වාසනාවක් තියෙන්න ඕන. ඒ වාසනාව මට හිමවීම සතුටක්.
සුන්දරා ගැන කතා කරොත්?
මේ නිර්මාණයේ මම ද්විත්ව චරිතයක් තමයි නිරූපණය කරන්නේ. ඇත්ත නම සෙනාල්. අනිත් නම තමයි සුන්දරා ගොඩාක් දෙනා අතර ජනප්‍රිය සුන්දරා සහ සර් කියන නමින්. තාම කතාව ඇතුළේ සුන්දරා කියන්නේ ඇත්තටම කවුද කියලා හෙළිවෙලා නැහැ. ඒ කුතුහලය එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. මං මේතාක් ලැබුණු චරිත වලින් ලොකුම අභියෝගයක් ගෙන දුන් චරිතයක් තමයි සුන්දරා. සුන්දරා කියන චරිතය ආරම්භ වෙන්නෙම අභියෝගයක් එක්ක. පළමු දර්ශනයේදීම අඩි 30ක් විතර ලොකු පාලමක් උඩ ඉඳලා ගඟට පනින්න තිබුණා. ඒ වෙනුවට ඩමියක් දාන්න හැදුවේ. ඒත් මමත් ජිනාගේ චරිතය කරන තීක්ෂණ මල්ලිත් අපි දෙන්නටම පීනන්න පුළුවන් නිසා අභියෝගය භාරගෙන පැන්නා. කවදාවත් එච්චර උඩකින් පැනලා තිබුණේ නෑ. ගඟේ ගැඹුර අඩි 15ක් විතර තිබුණා. මට පොඩි කාලේ ඉඳලා පීනන්න පුළුවන් නිසා ඒ අභියෝගය මම බය නැතුව භාරගත්තා.
මේ දවස්වල මාදු ගඟේ ගතකරන ජීවිතේ කොහොමද?
රූපගත කිරීම්වලදී වැඩි හරියක්ම ගෙවෙන්නේ මාදු ගඟේ තමයි. ඒ ජීවිතේ නම් හරිම සුන්දරයි. පහුගිය දවස්වල වැස්ස එක්ක රූපගත කිරීම් කරන පැත්තට කිඹුල්ලු ඇවිත් කියලා ආරංචි වුණා. ඒවත් එක්ක වතුරේ බැහලා කරන සීන් නතර කරයිද දන්නේ නැහැ. කිඹුල්ලු ඉන්නවා කියලා ආරංචි වුණාට පස්සේත් අපි මාදු ගඟේ බැහැගෙන රූගත කිරීම් කළා. ඉදිරියටත් වතුරේ බැහැලා සීන් කරන්න වුණොත් කරනවා.
තව දවසක් මාදු ගඟේදී බෝට්ටුව පෙරලුණා. ජිනායි මායි පීනන්න දන්න නිසා පණ බේරගෙන ගොඩට ආවා. ගොඩට එනකොට ජිනාගේ සරම තිබුණේ කරේ. ත්‍රාසය, භීතිය, සුන්දරත්වය, සතුට හැමදේම මේක ඇතුලේ තියෙනවා. මම ගඟට බය නැති වුණාට මුහුදටයි, දිය ඇලිවලටත් නම් ටිකක් බයයි. ඉස්සරහට සුන්දරාට මීට වඩා වෙනස් අත්දැකීම් ටිකක් ලැබෙයි කියලා හිතනවා.
සුද්දිගෙයි, සුන්දරාගෙයි ආදර කතාව කොයි අතට පෙරළෙයිද?
ඒ ආදර කතාව හොඳ තැනක නතර වෙයි කියලා හිතනවා. කතාව ඇතුලේ සුද්දිගේ දෙවියා තමයි ඉතින් සුන්දරා.
කෝලම් කුට්ටමේ සුද්දිගෙයි චමීරගෙයි ෆොටෝ ෂූට් එක ගින්දර වගේ ජනප්‍රිය වුණා නේද?
මම බ්‍රයිඩල් ෂූට් කරන්නෙම නැහැ. ටෙලි නාට්‍යයයි හැමදේම එක්ක මායි කාවින්දයයි ඒ ෆොටෝ ෂූට් එක කළා. ඒක කරපු දවසේ ඉඳලා මගේ ෆෝන් එකට නිදහසක් නැහැ. කසාද බැන්දද කියලා අහලා කෝල් එනවා. අපේ අයියත් කෝල් කරලා ඇහැව්වා. උඹ කාටවත් නොකියා කසාද බැන්දා නේද කියලා.
ඒ සුන්දරාගේ ආදර කතාවනේ. චමීරගේ ආදර කතාවටත් දැන් කාලය හොඳයි නේද?
අපෝ මම නම් තාම තනිකඩයා. අනේ මම තව ටික දවසක් නිදහසේ ඉන්න ආසයි. අනිත් එක මේ දවස්වල කෙල්ලෙක් නඩත්තු කරන්න තියා තනියම ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්. ආදරේ කියන්නේ පිස්සුවක්. මම අවුරුදු 8ක් ආදරේ කළා. ඒ ආදරේ සුන්දරයි, හරිම ආදරණීයයි. එතනදී යම් යම් නොගැලපීම් නිසා අපි දෙන්නම කතාබහ කරලා අයින් වුණා. ලොකු දුරක් යන්න බැරි නම් වෙන් වෙන එක හොඳයි. අපි දෙන්නා අදටත් හොඳම යාළුවෝ. අදටත් මම ඇයගේ දුකේදී සැපේදී ළඟින් ඉන්න හොඳ යාළුවෙක්. ඇයත් මට එහෙමයි. දවසක මම විවාහ වේවි. හැබැයි ඒවා ගැන ලොකුවට හීන මවන්නේ නැහැ. දැන් මගේ ඔළුවේ තියෙන්නේ වෙන අරමුණක්. මේ දවස්වල මම චිත්‍රපටයකට සූදානම් වෙනවා. ඒ චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් මම දැන්ම ඉඳලා ලෑස්ති වෙමින් ඉන්නේ.
චමීර නළුවෙක් විදියට ගොඩනගා ගත් ජීවිතේ තුළ තෘප්තිමත් වෙන්න පුළුවන් වැඩ ටිකක් කරලා තියෙනවද?
මම ටෙලි නාට්‍ය 40ක වැඩි ප්‍රමාණයක රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ චරිත හරහා 2015 ඉඳලා 3 වතාවක් නැගී එන නළුවාට මම නිර්දේශ වෙලා තියෙනවා. 2021 රනිල් කුලසිංහගේ වලවෙට්ටුවා හි රංගනය වෙනුවෙන් රයිගම් සම්මානයට පාත්රවුණා. හැම වෙලාවෙම ප්‍රේක්ෂකයා අතර මට වෙනස් චරිත තුලින් යන්න ලැබුණා. මම කලින් කිව්වා වගේ මට දැන් තියෙන්නේ එක අරමුණයි. ඒ කලාවේ මම බලාපොරොත්තු වෙන තැනට යන්න.
විශේෂයෙන් කෝලම් කුට්ටම ටෙලි නාට්‍ය වෙනුවෙන් මාව සම්බන්ධ කරගත් සද්දා සර්, ශිවා අයියා ඇතුළු සියලුම දෙනා ආදරයෙන් මතක් කරනවා. සද්දා අයියා මට මුණ ගැහුණු සුපරිම පිටපත් රචකයෙක්. සිතට දැනෙන දේ විතරක් ලියලා ගොඩයන පිටපත් රචකයින්ට වඩා නළුවාගේ පැත්තෙන් නළුවා ගොඩයන විදියේ චරිත හසුරවන පිටපත් ලැබෙන්නේ හරිම කලාතුරකින්. කෝලම් කුට්ටම කියන්නේ ඒවාගේ පට්ට පිටපතක්.
ජීවිතේ සතුටින්ද?
සතුටකුත් නෑ. දුකකුත් නෑ. ඇත්තටම මම ජීවත් වෙන්නේ මැද මාවතේ. ලංකාව වගේ රටක හෙටක් ගැන හිතන්නත් අමාරුයි. ඒත් මේක දාලා නම් යන්නේ නැහැ.
නදීශා අතුකෝරළ