ලංකාවේ පළමු ටෙලිනාට්‍ය වන දිමුතුමුතුහි කැමරා අධ්‍යක්ෂ එම්.වී. හේමපාල අභාවප්‍රාප්ත වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවේ ආරම්භක ටෙලිනාට්‍ය වන දිමුතු මුතු ටෙලිනාට්‍යයේ කැමරා ශිල්පී ලෙස කටයුතු කළ මෙරට කළුසුදු සහ වර්ණ සිනමාවේ සම්මානනීය කැමරා ශිල්පී එම්.වී හේමපාල මහතා ඊයේ (21) අභාවප්‍රාප්ත වී ඇත.

1946 වසරේ අගෝස්තු 26 වැනිදා ගාල්ල අක්මීමන, පිලාන, තලහිටියාව වත්ත ඔහුගේ උපන් ගමයි. තලහිටියාව වත්තේ එම්.වී. හේමපාල හඳුන්වන්නට ගමේ නමේ කොටසක් එක්වූ නිසා ඔහු හේමපාල තලේ විය. ඔහුගේ නම චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක හෝ රුපවාහිනී වැඩසටහනක නාමාවලියේ සටහන් වුයේද වරහන් තුළ "තලේ" යන නාමයද සහිතව ය.

ඔහු සුගතපාලද සිල්වා මහතා මගින් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කාර්මික ශිල්පියෙකු වශයෙනි.නාට්‍යවෙිදි සුගතපාලද සිල්වා මුල් ගුරුවරයා වන අතර සිනමාවේ රුප මාධ්‍ය ගුරුවරයා වන්නේ ද ඩී.බී. නිහාල්සිංහයන් ය.
අද මෙන් තාක්ෂණය නොදියුණු කාලයක නිහාල්සිංහයන් විසින් අධ්‍යක්ෂණය කළ වැලිකතර චිත්‍රපටයේ රුප රාමු ඔබේ මතකයේ තිබෙන්නට පුළුවන. එහි කැමරාව මෙහෙය වුයේ ද හේමපාලයි.
නිහාල්සිංහයන්ගේ ටෙලිසිනේ ආයතනයේ සේවය කළ වී. හේමපාල (තලේ) 1997 වසරේ මෙරට පෞද්ගලික රූපවාහිනී නාළිකාවක සමඟ එහි ප්‍රථම කැමරා ශිල්පියා ලෙස එකතු විය. එතැන් සිට එම නාළිකාවේ බොහෝ වැඩසටහන් සඳහා ඔහු කැමරාකරණයෙන් දායක විය.

වැලිකතර, සැනකෙලිය,චන්ඩිපුතා, සිරිල් මල්ලි, මුතු මැණිකේ, කෙලිමඩල,රිදි නිම්නය, කිවූලේගෙදර මොහෙට්ටාල, තුත්තිරි මල් ආදී සිනමා නිර්මාණ 25 කට අධික සංඛ්‍යාවක් සඳහා කැමරා අධ්‍යක්ෂණයෙක් දායක වූ තලේ අයියා දිමුතු මුතු, සුදු සහ කලු, රේඛා, සුළඟ වැනි ටෙලි නිර්මාණ 20 කට අධික ප්‍රමාණයකට සිය කැමරා ඇස ලබා දුන්නේය.

1987 වසරේදී කෙළිමඩල චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් ජනාධිපති සම්මානය සහ සරසවි සම්මානය ලබා ගන්න ඔහු සමත් විය. රේඛා ටෙලිනාට්‍යයේ හොඳම ආලෝකකරණය මෙන්ම දිමුතු මුතු, සුදු සහ කළු සඳහා ද සම්මානයට පාත්‍රවූ තලේ අයියා දක්ෂතම කැමරාකරණය වෙනුවෙන් ද රුපවාහිනී සම්මානයෙන් පිදුම් ලබා ඇත.

ඔහු ඉහල තලේ , පහල තලේ සැමගේ ආදරය දිනා ගත්තේ කිසිදු තලේකට නොවෙනස්ව තම ආදරය ඉහලින්ම ලබා දුන් නිසා ය. ඒ තලේ අයියාගේ හැටි ය.
වරෙක සිරස ප්‍රකාශන ආයතනයෙන් පල කෙරුණු ටී.වී. ශ්‍රී ලංකා සඟරාවේ ඔහු පිළිබඳව ලිපියක් පළ විය. එහි ශීර්ෂ පාටය වුයේ "කවුරුවත් කැපුවේ නැති තලේ" යන්න ය. නම "තලේ" වුවත් ඒ තලයෙන් ඔහු කිසිවෙකුත් කැපුවේ නැත. කැපිලි කෙටිලි අනන්ත වූ කලා ක්ෂේත්‍රයේ ඔහු නවකයන්ට උදව් කරමින්, ප්‍රවීණයන්ට ගරු කරමින්, සමකාලීනයන්ට සුහද වෙමින් කටයුතු කළේය.

මාවැල්ල විතානගේ හේමපාල (තලේ) මහතා වසර හැත්තෑ හයක් ආයු වළඳා අප අතරින් සමු ගත්තේ ය. ඔහුගේ වියෝව කළා ක්ෂේත්‍රයට විශාල අඩුවක් මෙන්ම අප සියලුදෙනාගේම සන්තාපයට කාරණයකි.

ප්‍රවීණ කැමැරා ශිල්පී එම්.වී හේමපාලගේ (තලේ) අවසන් කටයුතු 2022-06-23 වන බ්‍රහස්පතින්දා සවස 4.ට ඉංගිරි‍ය අදාහනාගාරයේදි සිදු කරේ.

දේහය අංක,375/1-1
කන්දහේන ,
පෝරුවදන්ඩ,
රත්මල්ගොඩ