ලංකාවේ නාට්‍ය කලාව හැමදාම තිබුණේ මේ වගේ අර්බුදත් එක්ක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කළ ‘සඟ වෙද ගුරු ගොවි කම්කරු’ නාට්‍ය එළඹෙන පලමුවැනිදා නැවත රංගගත කිරීමට කටයුතු කර ඇත. මෙම නාට්‍ය පිළිබඳව සාකච්ඡා කිරීමට නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන චමිල ප්‍රියංකව සාරවිට කතාබහකට සම්බන්ධ කර ගතිමු.

‘සඟ වෙද ගුරු ගොවි කම්කරු’ නාට්‍ය ගැන කතා කළොත්?

කාලාන්තරයක් තිස්සේ ලංකාවේ දේශපාලනය ඇතුළේ තිබෙන අර්බුදය පහළ පාන්තිකයන්ට බලපාන්නේ කියන දේ අපි හැමදාම කතා කරනවා. නමුත් ඒක අපි හැමදාම කතා කරන නිසාමදෝ ඒක ලංකාවේ සාමාන්‍යකරණය වෙලා තිබෙනවා. කලාව තුළත් ඒක හැමදාම කතා කරනවා. මට හිතුනා ඒක නැවත නැවතත් මතු කරන්න වෙන ඇහැකින්, වෙන හැඩයකින්. එතනදි මම හුඟක් වෙලාවට බැලුවේ පහළ පාන්තික ජීවිත ප්‍රශ්න ඇතුලේ කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණය. විශේෂයෙන්ම ලංකාවේ සිදුවුණු සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන් තමයි කතාව ගොඩනැගෙන්නේ. තරුණයෙක් මිය යාම සහ ඒ මියයාම පවුලේ අයට, ඔහුගේ හිතවතුන්ට සහ ආයතනවලට අනෙක් අයගේ පැවැත්ම සඳහා භාවිතා කරන්නේ කියන දේ සම්බන්ධයෙන් සඟ වෙද ගුරු ගොවි කම්කරු නාට්‍ය ඇතුළේ සාකච්ඡා කෙරෙනවා. මරණයක් තවත් කෙනෙකුගේ පැවැත්මට හේතු වන හැටි තමයි නාට්‍ය ඇතුළේ සාකච්ඡා වෙන්නේ.

ඔබ නාට්‍යයේ නමට භාවිතා කරන්නේ මෙරට දේශපාලනයේ පෙරළියක් කරපු පාඨයක්?

ඔව්. සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන්නේ 1956 එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක බලයට එන්න පාවිච්චි කළ පාඨයක්. ඒක අද වෙනකොටත් දේශපාලනය ඇතුළේ පාවිච්චි වෙනවා. ඒ ඇතුළේ ඇත්තටම අදහසක් නැහැ. බොරු. ඒක ව්‍යාජ සටන් පාඨයක්. ඒක කවුරුවත් පාවිච්චි කරලා බලයට ආවාට ඒකෙන් සමහරවිට සඟ වෙද ගුරු කියන පාර්ශව ප්‍රතිලාභ ලැබුවත් ගොවි කම්කරු පාර්ශවවලට කිසි දෙයක් ලැබුණේ නැහැ. 56 ඉතිහාසය තුළත් ගොවි කම්කරු පන්තියට වරප්‍රසාදයක් ලැබුණේ නැහැ. ඒ පාන්තිය හැමදාම නොසලකා හරිනවා.

රටේ ආර්ථික තත්ත්වයත් එක්ක දැන් වේදිකාවට සෙනඟ එනවාද?

ඔව්. කොහොමද මේ වගේ තත්ත්වයකදී නාට්‍ය කරන්නේ කියන එක බොහෝදෙනෙක් අහන ප්‍රශ්නයක්. ඒකම තමයි වැඩේ කියන්නේ. ලංකාවේ නාට්‍ය කලාව හැමදාම තිබුණේ මේ වගේ අර්බුදත් එක්ක. නිදහසෙන් පස්සේ අර්බුද නොතිබ්බ කාලයක් ගැන ඉතිහාසයේ හොයාගන්න නැහැ. හැමදාම මොකක් හරි ලොකු අර්බුදයක තමයි අපි ඉන්නේ. අර්බුද තිබ්බා කියලා අපි කරන දේවල් නවත්වන්න බැහැනේ. මම දන්නවා මේ අර්බුද තවත් අවුරුදු සීයක් ගියත් නැවත නැවත සිදුවෙමින් තියෙයි. මේ වෙලාව තමයි හොඳම නාට්‍යත් අත්‍යාවශ්‍යයි කියලා පෙන්වන්න. කොරොනා කාලෙන් පස්සෙත් මම තමයි මුලින්ම නාට්‍ය පෙන්නුවේ. ඒකටත් සෙනඟ පිරෙන්න ආවා. මොන අර්බුද තිබ්බත් නාට්‍ය කරන්න ඕනේ. නාට්‍ය කියන්නෙත් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් කියලා තේරුම් යන්න ඕනේ.

මෙම නාට්‍ය මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කරනවා. ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඔව්. ඇත්තටම එදා හවුස් ෆුල් නිසා ප්‍රේක්ෂකයන් බොහෝදෙනෙක් හැරිලා ගියා. ඒ නිසාම තමයි පලවැනිදා තවත් දර්ශනයක් අපි සංවිධානය කරන්නේ එල්ෆින්ස්ටන් එකේම. අපි ඒ වෙද්දිත් කොළඹ දර්ශනවාර හතරක් පවත්වලා තිබුණේ. සාපේක්ෂව බැලුවාම රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රේක්ෂකයන් වැඩියෙන් බලපු එක නාට්‍යක් තමයි සඟ වෙද ගුරු ගොවි කම්කරු. ඒකෙන්ම තේරෙනවා ප්‍රේක්ෂකයන්ට මේක බලන්න ඕනේ කියලා.

මෙම නාට්‍යයේ ඉදිරි දර්ශනවාර ගැන කතා කළොත්?

‘සඟ වෙද ගුරු ගොවි කම්කරු’ නාට්‍යයේ අටවැනි දර්ශනය එළඹෙන අප්‍රේල් 01 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සවස තුනයි තිහට සහ හයයි තිහට පැවැත්වෙනවා. මෙවර අපි ප්‍රවේශපත් සහනදායී මිලකට නිකුත් කරනවා. මොකද පවතින ආර්ථික තත්ත්වයත් සමග අපි හිතුවා ප්‍රේක්ෂකයන්ට ප්‍රවේශපත්‍රයේ මිලත් අඩු කරන්න ඕනේ කියලා.

සඟ වෙද ගුරු ගොවි කම්කරු නාට්‍ය කොළඹින් එළියට ගෙනයන්න බලාපොරොත්තු තිබෙනවාද?

ඔව්. මේ නාට්‍යයේ ආකෘතියක් පර්යේෂණාත්මකයි. ලංකාවට ඔබින රංග කලාවක් බිහි කිරීම තමයි මගේ අරමුණ. අපේ ඇතැමි ප්‍රේක්ෂකයන්ට රංගකලාවේ තිබෙන ඇතැම් රංගයන් දරාගන්න බැහැ. මම පර්යේෂණයක් තමයි ලංකාවට ඔබින වේදිකා රංග කලාවක් හොයාගන්නේ කොහොමද කියන එක. ඒක එහෙම කරන්න හිතුවෙම ලංකාව පුරාම මේ නාට්‍ය ගෙනයන්න ඕනේ කියන අදහස සහ තව තවත් ප්‍රේක්ෂකයන් වේදිකාවට ගෙන එන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන්. මේ නාට්‍යයේ ආරම්භයේ ඉඳලාම ප්‍රේක්ෂකයන් ඈතින් තබනවා වෙනුවට තව තවත් ලං කරන්න තමයි හැදිලා තියෙන්නේ. කොළඹට විතරක් නෙවෙයි කොළඹින් එළියට ගෙනියන්න තමයි මේ නාට්‍ය නිර්මාණය වෙලා තිබෙන්නේ.

නාට්‍යයේ ශිල්පීන් පිළිබඳව සඳහන් කළොත්?

කෞෂල්‍යා ප්‍රනාන්දු, මයුර කාංචන, සේවියර් කනිෂ්ක, නිලංක දහනායක, සංජය හෙට්ටිආරච්චි, තිවංක දොන් රණසිංහ, ප්‍රමෝද් එදිරිසිංහ, තිලිණ පෙරේරා, යශෝධා රසඳුනී යන රංගන ශිල්පීන් ශිල්පිනියන් රංගනයෙන් දායක වනවා. ඊට අමතරව වේදිකා පරිපාලනයෙන් බිම්සරද සිල්වා, කසුන් රජීව්ද ආලෝකකරණයෙන් චන්දන අළුත්ගේ විසින් සිදු කරනවා. ආලෝකකරණ සහය පසන් නලින්ද, ශබ්ද පරිපාලනය භාග්‍ය රවිශ්ක, අංග රචනය ශිරාන් ලක්ෂිතද සංගීත නිර්මාණය තිවංක දොන් රණසිංහ විසින් සිදු කරනවා. ඒ වගේම රංග වින්‍යාසය හිරාන් අමරසේකර විසින් සිදු කර තිබෙනවා.

කැළුම් දේවින්ද