ලංකාව ඇතුළේ නළුවෙක් වෙනවා නම්, ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ රඟපෑම ඕනෑම කෙනෙකුගේ අරමුණයි
විකාශය වූ ‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යයේ දීප්ත ලෙස රංගනයේ දීප්තිය තව දුරටත් දීප්තිමත් කර ගත් ධනුක ඩිල්ෂාන් ඇයි නිතරම රඟපෑමෙන් එක් නොවන්නේ යැයි බොහෝ දෙනා විමසන මොහොතක ඔහුගේ දක්ෂ රංගනයක් නැවතත් දැකගත හැකි නිර්මාණයක් මේ දිනවල විකාශනය වෙනවා. අළුත් වීදියගේ රනිල් කුලසිංහ අධ්‍යක්ෂණය කළ ටී. බෙවන් පෙරේරා නිෂ්පාදනය කළ ‘1990 Love Born in the Heart (ලව් බෝන් ඉන්ද හාට්) එම නාට්‍යයයි. වෙනස්ම තේමාවක් රැගත් එහි ‘අහස්’ ලෙස ආදරණීය චරිතයකින් හමුවන ධනුක ඩිල්ෂාන් සඳැල්ලට කියන්නේ මොනවද කියලා අපි බලමු.
ධනුක ඩිල්ෂාන්, අපි අනෙක් හැමෝම ඔබට ලෙංගතුව කතා කරන විදියට. ධනා, ධනුවා, ධනුකයා කියලා කතා කරන්නද? ධනුක කියන්නද?
ඔය විදිය හොඳයි.
ඇයි ධනුක මාධ්‍ය හමුවට වැඩිය එන්නේ නැත්තේ?
බොහෝ වෙලාවට ගියාම කලාව ගැන කතා වෙනවා අඩුයිනේ. ඒ නිසා විෂය ගැන කතාව ගැන කතාවෙන ඒවාට යනවා.
පසුගිය කාලයේදී ඇත්තටම ප්‍රෝග්‍රෑම්වලට ගියේ නැති තරම්.
කොහොමද ඉතින් ජීවිතේ එහෙම?
ගෙවී ගෙන යනවා. අපි බලමු ඉතින්.
හරි, එහෙම නම් මේ දිනවල විකාශය කෙරෙන 1990 Love Born in the Heart, ගැන කතා කරමු? ඒ හැර ඔබ රඟපාන වෙනත් නාට්‍ය තියෙනවද?
1990 ට කලින් තිසර ඉඹුලානගේ ‘හතේ හත’ නාට්‍යයේ රඟපෑවා. එ්කත් බොහෝම මහන්සිවෙලා අපි කළ නාට්‍යයක්. තණමල්විල කොල්ලෙක් ගෙන් පස්සේ බාරගත්ත වැඩේ තමයි 1990 ලව් බෝර්න් ඉන් ද හාට් ආදර කතාව. රනිල් කුලසිංහ ඉතාම සංයමයෙන් හරි අපූරුවට ඒ වැඩේ දැනට කරගෙන යනවා. කොටස් හැත්තෑපහක් වගේ තමයි තියෙන්නේ.
එහි ඔබ රඟපාන ‘අහස්’ ගැන කතා කරමු?
‘අහස්’ කියන්නේ ගැමි ගෙදරක ජීවත්වෙන වපසරියෙන් පිටට මිදිලා සමාජයට යා යුතුය කියලා හිතන ගමේ කෙනෙක්. එයාගේ හීනයක් නිසා තමයි ඒ විදියට හිතන්නේ. ඒ ගමනේදී ජීවිතයට බොහෝ දේ සම්බන්ධ වෙනවා . ඒ සියල්ල සමීපකරගෙන ඉදිරියට යන ගමනක්.
තණමල්විල කොල්ලෙක්ගෙන් පස්සේ වෙන ඒවා බාර ගත්තේ නැද්ද?
තණමල්විලෙන් පස්සේ ප්‍රධානම බාරගත්ත වැඩේ තමයි මේක. රාත්‍රී 9ට ස්වර්ණවාහිනියේ විකාශය කෙරෙන මේක නිෂ්පාදනය කළේ බෙවන් පෙරේරා. ඉතාම හොඳ නිෂ්පාදකවරයෙක්. ඔහු වැනි නිෂ්පාදකවරයකු එක්ක කටයුතු කරන්න ලැබීමම මට ලොකු සතුටක්. තණමල්විල කරද්දි, ෆාහිම් මවුජුඩ් අයියා අදටත් මට හමුවෙලා නැහැ. ඒත් අවුරුද්දක් විතර අපි ෂූට් කළා. අපට කිසිම අඩුපාඩුවක් වෙන්න දුන්නේ නැහැ. ෂූට් එකට පිටරට පවා යැව්වේ අපි ගැන විශ්වාසය තියලා. අන්න ඒ වගේම තමයි මේ බෙවන් පෙරේරා, නිෂ්පාදකවරයාත්. බිමල් අයියා, නිල්මිණී අක්කා, විශ්වජිත් අයියා ඇතුළු ප්‍රවීණයන් එක්ක මේ නාට්‍යයේ රඟපෑමට ලැබීම මට ලොකු සතුටක්.
කොහොමද ප්‍රතිචාර ?
ඉතා යහපත්. එක අතකට මේ නාට්‍ය අපට අභියෝගයක් වුණා. සති අන්තයේ නිර්මාණයක් ලෙස විකාශය සඳහා තමයි අපි මේක නිර්මාණය කළේ. ඒත් චැනල් එක අරගෙන දවස් පහම ටෙලිකාස් කරන්නම් කීවා. එහෙම වුණත් අපි මේ නාට්‍යයේ ගුණාත්මක බව පෙර ලෙසම පවත්වාගෙන යනවා. ඒක විශේෂයි. මේ වගේ කාලයක ඒ වගේ නිර්මාණයක් විකාශයවීම සතුටක්.
ධනුක නිරන්තරයෙන් ලැබෙන සෑම නාට්‍යයකම රඟපාන්න අකමැතියි වගේ පේන්නේ. එක පිට එක බාර ගන්න අකමැතියි වගේ?
ඒක හරි. තණමල්විල කොල්ලෙක් විකාශය වුණාමත්, මම ඒක මතම ඉඳගෙන ඒක විකුණාගෙන කෑවේ නැහැ අද වෙනකල්. අපි කලාව කරන්නේ මිනිස්සු වෙනුවෙන්නේ. එයාලා එ්ක වැළඳගත්තට පස්සේ ඒ නිර්මාණය හරහාම නිතර රැඳී සිටිය යුතු නැහැ. මොකද නිර්මාණ සඳහා ආරාධනා ලැබෙනවනේ. ඒ නිසා වටිනාකම තියාගෙන ඉදිරිය ගැන හිතලා කටයුතු කරනවා.
රඟපෑම මතනෙ සල්ලිත් එන්නේ? ඉතින් ඉඳහිට රඟපෑම ආර්ථික සවියට ප්‍රමාණවත් ද?
මේ දක්වා නම් එහෙම ගැටළුවක් වෙලා නැහැ. මගේ ජොබ් එක රඟපෑම. ඒකට වටිනාකම අය කරනවා. ඒ හැර මගේ ජොබ් එක කියලා එක – එක ජොබ් කරන්න යන්නේ නැහැ. මේ ඉන්ඩස්ට්‍රි එකෙන්, මෙගා නාට්‍යයක් වුණත්, ශිල්පියාගේ ප්රයත්නය වෙන්නේ සීයයට සීයක්ම එයාගේ කැපවීම ලබාදීම. නිර්මාණය සහ විදිය ප්‍රේක්ෂකයා බාර ගනිවී. මේ ඉන්ඩස්ට්‍රි එක ලොකු වෙනවට මම කැමතියි.
ධනුක, මෑතකදි දායක වුණේ ටෙලි නාට්‍යයවලට විතරද? සිනමාවට අවස්ථා ලැබෙන්නේ නැද්ද? නැතිනම් ඔබ යන්නේ නැද්ද?
සිනමාවට තමයි මම ජීවිතේ ආසම කරන්නේ. ලංකාව ඇතුළේ නළුවෙක් වෙනවා නම්, ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ රඟපෑම ඕනෑම කෙනෙකුගේ අරමුණයි. අපේ සිනමාව ලොකු තැනක් තිබූ එකක්. ඒ විදියට පැවැතියේ ලොකු පිරිසක් සිනමාවට අපූරුවට ලබා දුන් දායකත්වය නිසයි. ආයෙත් ඒ පරිසරය නිර්මාණය වෙනවට ආසයි. ෆිල්ම් දෙකකට වගේ මෑතකදී කතා කළා. ගාමිණී හේවාවිතාරණ ප්‍රවීණයාගේ සහ අනෙක් එක තිසර ඉඹුලානගේ. ඒවා කෙරෙනකල් බලා ඉන්නවා. මෙතෙක් රඟපෑ ෆිල්ම්ස් අතරින් ධර්මයුද්ධය විතරයි තිරගත වුණේ. ඊට අමතරව තවම කෙරුණේ නැති ආරාධනා ලැබුණු නිර්මාණ දහයකට වඩා වැඩියි. ඒවා නිර්මාණය වන දවස් නිශ්චිතව මට කියන්න බැහැ.
ධනුක, මෙහෙත් ඉන්න අතරේ ප්‍රංශයටත් ගිහින් එන්න යනවා නේද?
මගේ නංගි ඒලෙවල්වලින් පස්සේ හොඳ ප්‍රතිඵල ලැබුවා. ඊට පස්සේ ජ‘පුර සරසවියේ ඉගෙන ගත්තේ. මම එයාට තෑග්ගක් දෙන්න ඕනැ වුණා. ජර්මනියේ හැම්බර්ග් සරසවියට යන්න ඕන මාර්ගය හදලා තියෙන්නේ. ඉතින් නංගියි - එයාගේ සැමියයි තව නොබෝ දිනකින් එහේ යාවි. පුද්ගලිකව ගත්තොත්, මට ගිහින් එන්න අවස්ථා තියෙනවා. ඒත් දැන් මේ ‘1990’ ටෙලි එක විකාශය වන නිසා ආයෙත් ලැබෙන ආරාධනා බොහෝමයි. දැන් ආයෙත් රඟපානවා නේද කියලා අහනවා. ඉතින් බොහොම ස්තුතියි ඒ ආරාධනාවට. තව අලුත් වැඩකුත් මම බාරගත්තා.
ධනුක නළුකමට පෙර ‘ක්‍රිකට්’ ජීවිතය කරගෙන නේ හිටියේ, දැන් ක්‍රිකට් ගහන්නෙම නැද්ද?
අපෝ නවත්තලා නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජ දෙවැනි පෙළ තරග වෙනුවෙන් මොරටුව ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. මේ වන විට මැච් හතරක් විතර ගහලා ඉන්නේ. විකට් කීපයකුත් ගන්න පුළුවන් වුණා. අපේ ක්ලබ් එකේ හොඳ දක්ෂ තරුණ මල්ලිලා පිරිසක් ඉන්නේ. එයාලා හොඳට ක්‍රීඩා කරනවා.
‘ධනුක’ කියන්නේ මුල – මැද හොඳට මතක තියෙන චරිතයක්?
මම මාර විදියට උත්සාහ කරනවා එහෙම ඉන්න. සමහර සමහර තැන්වලදී මඟහැරීම් වෙන්න පුළුවන්. ඒ නිසා අතපසුවීම් මගෙන් වෙනවා නම් සමාවෙන්න. ඕනෑ.
මේ සෑම දෙයක් එක්ක ධනුකට ජීවිතය දැනෙන්නේ කොහොමද?
ජීවිත දිහා බලාගෙන ඉන්න සහ ජීවිතවලට ඇහුම්කන් දෙන කෙනෙක් විදියට මට හිතෙන්නේ අපි කළ සහ කරන දේ තමයි මේ මොහොතේ ජීවත්වෙනවා කියලා අපි බලාපොරොත්තු වන්නේ. ජීවිතය ඒ විදියයි.
ඔබගේ සේවය රංගනය උදෙසා ලබාගන්න බොහෝ දෙනා උනන්දු වෙනවා. ඒ වගේ වටිනාකමක් ලැබීම ගැන ඇතිවන්නේ මොන වගේ හැඟීමක්ද?
මාර විදියට මට වැඩ එනවා. ඒකට මම හරිම ආසයි. වැඩ කරන්න කැමති සහ ඒ වැඩ කරන කණ්ඩායම පවුලක් වගේ, මගේ ගෙදර වගේ වෙනවට මම ආසයි.
ඒ වගේ කණ්ඩායමක් මට ඉන්නවා. දසුන් පතිරණගේ යාළු මිත්‍රකමක් එක්ක ඒ වපසරිය මට හැදුණා. ඒ යාළු මිත්රයින්ගේ වටිනාකමක් මම දැක්කා. ආයෙත් ඒ කණ්ඩායම එක්ක වැඩක් කරන්න බලාගෙන ඉන්නේ. ජැක්සන් අංකල් ඉක්මණට සනීප වේවා කියන එක මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මොකද ජැක්සන් ඇන්තනි අංකල් කියන්නේ ලංකාවට කලාවට මහා දැවැන්ත චරිතයක්. එයාගේ අඩුව පුරවන්න කාටවත් බැහැ.
ධනුක, ප්‍රේමය දකින්නේ මොන විදියටද?
ප්‍රේමය කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒක ඕනෑම කෙනෙකුට ඕනෑම විදියකින් විඳින්න පුළුවන්. හැබැයි ඒක ආසාව නෙවෙයි. ආසාවක් නොවූ ප්‍රේමය බලහත්කාරයෙන් නතරකර ගන්න යාම ප්‍රේමයක් නෙවෙයි. ප්‍රේමය කියන්නේ ළඟ හිටියත් දුර හිටියත්, උපදින්න පුළුවන් දෙයක්. එය කොහොමටවත් බලෙන් ගන්න නම් බැහැ.
සටහන - සඳුන් ගමගේ