ලාංකීය සමාජයේදී ඇඟ විකිණීම හෙවත් මුදලට යනවාය කියන චෝදනාව තියෙන්නේ කාන්තාවන්ට
‘දිල්රුෆා ශානාෂ්’ 2017 දී විතර මිස් ශ්‍රී ලංකා තරගයකින් ඇවිත් එම අංශයෙන් ජාත්‍යන්තරව ඉදිරිපත් වී තිබෙනවා. ඒ අතරේදී රුපවාහිනී නිවේදිකාවක සහ නිරූපණ ශිල්පිණියක ලෙස කටයුතු කළ ඇය ගැන මේ දිනවල කතා වන්නේ උදාර පල්ලියගුරු නිෂ්පාදනය කළ ‘ජිගලෝ’ (Gigalo) සහ ‘69’ යන චිත්‍රපට නිසයි. වින්ධ්‍යා හාරිස්පත්තුව අධ්‍යක්ෂණය කළ ‘ජිගලෝ’ ගැන වගේම උදාරගේ ‘69’ චිත්‍රපටයේ රංගනයට අදාළව දිල්රුෆා ‘සඳැල්ල’ සමග කළ කතාබහකි මේ.
දිල්රුෆා, සම්පූර්ණ නම?
මොහොමඩ් දිල්රුෆා ශානාෂ්.
වැඩිපුර භාවිත වන්නෙ?
මුලදි ශානාෂ් කියලා වැඩි දෙනෙක් කිව්වා. දැන් නම් දිල්රුෆා කියලා තමයි හැමෝම වගේ කතා කරන්නෙ. ඔය නම් දෙකම මගේනෙ. ඒ නිසා නම් දෙකටම ආසයි.
දිල්රුෆා සහ ශානාෂ් කියන නම්වල තේරුම?
දිල්රුෆා කියන්නෙ සිත් ඇද බැඳ ගන්නා කියන තේරුම. ශානාෂ් කියන්නෙ ‘රැජින’ වගේ යන තේරුමලු.
මේ තේරුම් අතරින් වඩා ගැළපෙන්නෙ?
මට හිතෙන්නෙ ඔය තේරුම් දෙකම මට නැතුව ඇති කියලයි.
එහෙම නම් දිල්රුෆා මොන විදියෙ කෙනෙක්ද?
සාමාන්‍ය චරිතයක්. නිතරම මම හිතන්නෙ එහෙමයි. හොඳ - නරක දෙකම මටත් ඇති. ගොඩාක්ම සරලමත් නැහැ. මම නිතරම මධ්‍යස්ථ චරිතයක් විදිහටයි මාව දකින්නේ.
කවුද මේ දිල්රුෆා?
වෘත්තිය අංශය ගැන කතා කළොත් මුලින්ම මම සේවය කළේ ගුරුවරියක ලෙසයි. පසුව කොළඹ අධිකරණයේ සේවය කළා. දැන් මම මගේම සැලෝන් ව්‍යාපාරයක් කරගෙන යනවා. ඊට අමතරව ගෘහාලංකරණ ඩිසයින් අංශයෙත් නියැලිලා ඉන්නවා.
දිල්රුෆාගෙ ගම?
තාත්තා කොළඹ, අම්මගේ ගම කෑගල්ල. පොඩි කාලයේ මම පාසල් ගියේ කෑගල්ලෙ. ඊට පස්සේ කොළඹ ආවා. තාත්තා සේවය කළේ නාවික හමුදාවේ. අම්මා ගෘහණියක්. නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම විවාහකයි.
නංගිලා දෙන්න විවාහ වෙලා. එතකොට මේ අක්කා?
විවාහ වේවිද, නැතිද කියලා කියන්න බැහැ. ආදරේ කරලා, විවාහ වෙනවමයි කියලා හිතාගෙන පවත්වපු ආදර සබඳතා තිබුණා. ඉතින් ඒවත් එක්ක මට කා ගැනවත් එච්චර විශ්වාසයක් නැහැ. ඒ වගේම විවාහ වෙන්නම ඕනෑය කියලා හිතන්නෙත් නැහැ. විවාහය ගැන අද මම හිතන්නෙ එහෙමයි. හැබැයි හිත කියන්නෙ වෙනස්වන දෙයක්නෙ. ඉතින් සමහර වෙලාවට විවාහ වෙන්නත් පුළුවන්.
දිල්රුෆා තරමක මුරණ්ඩු චරිතයක් වගෙයි පෙනෙන්නෙ?
මුරණ්ඩු වෙන්න ඕනෑ තැනට මුරණ්ඩු වෙනවා. නැත්නම් ඉතින් බොහොම සාමාන්‍ය චරිතයක්.
ඉගෙනීම් කළේ මොන අංශයෙන්ද?
කලා අංශයෙන්. ඊට අමතරව ඉන්ටර්නැෂනල් කුකරි, රූපලාවන්‍ය අංශයෙන් සහ ගෘහ අලංකරණ අංශයෙන් ඉගෙන ගත්තා. කලා ක්ෂේත්‍රයට ආවේ නිරූපිකාවක් ලෙස.
රඟපෑම් පටන් ගත්තෙ?
චුලක්ෂි මගේ යාළුවෙක්. එයා එක්ක වතාවක ඇයගේ ෆිල්ම් එකක වැඩ ගැන කතා කරන්න උදයකාන්ත මහතාගේ නිවසට ගියා. එදා ඇය එක්ක මාත් ගිය නිසා උදයකාන්ත මහතා එතුමාගේ නිර්මාණයකට මාව ගත්තා. ‘ගිණිමල් පොකුරු’ තමයි මගේ පළමු සිනමා රංගනය. ඊට පසුව ‘69’ සහ ‘ජිගලෝ’ ෆිල්ම් එකේ රඟපෑවා. මුරලි ‘800’ ෆිල්ම් එකෙත් පොඩි කොටසක රඟපෑවා.
‘ජිගලෝ’ වෙනස් මාතෘකාවක් රැගත් ෆිල්ම් එකක්නෙ. එහි ඔබගේ චරිතයේ විදිය?
‘රැන්ඩි‘ කියන ප්‍රධාන නළු චරිතයේ පෙම්වතිය ලෙස රඟපාන්නෙ මම. ගුවන් සේවිකාවකගේ චරිතයක්. ආදරණීය චරිතයක් තමයි රඟපාන්න තියෙන්නෙ. චරිතයේ නම සොනාලි.
සැබෑ ජීවිතයේ මොන විදියෙ පෙම්වතියක කියලද හිතන්නෙ?
මාත් ඉතින් අනිත් අය වගේම සාමාන්‍ය පෙම්වතියක්.
‘ජිගලෝ’ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් නේද? මොකද හිතෙන්නෙ ඒ ගැන?
එහෙම වුණාට මේ ෆිල්ම් එකෙන් සමාජයට ගත හැකි, ගත යුතු බොහෝ දේ තියෙනවා. බොහෝ වෙලාවට ලාංකීය සමාජයේදී ඇඟ විකිණීම හෙවත් මුදලට යනවාය කියන චෝදනාව තියෙන්නේ කාන්තාවන්ට. ඒත් මේ ෆිල්ම් එකෙන් කතා කරන්නෙ මුදලට යන පිරිමි චරිත ගැන. ඒ වගේ අයත් මේ සමාජයේ සිටින වග සහ ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියන දේ මෙයින් ප්‍රකාශ වෙනවා. මම හිතන විදියට මෙය වඩාත්ම සුදුසු වැඩිහිටියන්ට.
සැබෑ ජීවිතයේදී ඔබ එවැනි පිරිමි චරිත දැක තිබෙනවාද?
දැකල තියෙනවා.
මෙවැනි තේමා රැගත් නිර්මාණවල රඟපාද්දී විලාසිතා පවා කරන්න වෙන්නේ ඒ කතාවට අදාළවයි. ඒ ගැන දිල්රුෆාට ප්‍රශ්නයක් තිබුණෙ නැද්ද?
මොන විදියට හිටියත් මිනිස්සු බලන විදිය අපට වෙනස් කරන්න බැහැනෙ. ඇත්තම කිව්වොත් ලංකාව වගේ රටක ලිංගික තේමා මූලික වූ නිර්මාණ කරන්න අමාරුයි. මිනිස්සු ඊට පස්සේ අපිව මනින්නෙ ඒවායෙහි අඳින ඇඳුම සහ කරන චරිතවලට අදාළවයි. ඒක හරි වැරදි දෙයක්. සමාජය ඒ කෝණයෙන් ඈත් වූ දවසක තව තවත් හොඳ නිර්මාණ බිහි වේවි. නිර්මාණයේ චරිතවලට අදාළව අඳින්න වෙනවා. එතකොට ඒ ඇඳුම්වල විදියට මිනිස්සුන්ගේ සැබෑ ජීවිත මනින්න හොඳ නැහැ.
ලංකාවේ සමාජයේ ලිංගිකත්වය ගැන ඇයි මෙච්චර කුතුහලයක් තියෙන්නේ? ඒ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නෙ?
ලංකාවේ සමාජයේ මේ කුතුහලය එන්නෙ කෙනකුගේ කුඩා කාලයේ ඉඳලමයි. පොඩි කාලයේ ඉඳලම ළමයින්ට ඒ විෂය ගැන කියා දෙන්නට ඕනෑ. මනුස්සයකුගේ සිරුර, අඟ පසඟ දුටුවාම එය මිනිස් සිරුරේ කොටස් විතරයි කියන දේ කියා දෙන්නට ඕනෑ. එතකොට ‘නිරුවත’ කියන දේ මහා ලොකු මැජික් එකක් වෙන්නෙ නැහැ. අනෙක් කාරණය තැනට සුදුසු දේ අඳින්න අපි දැනගන්නට ඕනෑ. පන්සලට, පල්ලියට යද්දි ඊට ගැලපෙන විදිය වගේම නාන තටාකයේදී ඊට ගැලපෙන විදියට තමයි අඳින්න වෙන්නෙ. අනෙක දිගට ඇන්දාය කියලාවත් කොටට ඇන්දා කියලවත් චරිත ස්වාභාවය මනින්න බැහැ. කොටට අඳින අය නරකත් නැහැ. දිගට අඳින අය හොඳ නොවෙන්නත් පුළුවන්. ඇඳුම කියන්නෙ එක දෙයක්. චරිතය කියන්නෙ තවත් දෙයක්.
ඔබට ඉතා හොඳට සිංහල භාෂාව හසුරුවන්න පුළුවන් නේද?
සිංහල භාෂාවෙන් ඉගෙන ගත්තෙ. බෞද්ධ ශිෂ්ඨාචාරය විෂයත් හැදෑරුවා. බුද්ධ ධර්මය විෂයයක් ලෙසත් කළා. ඒක බොහොම ආසාවෙන් කළේ. මම හැදුණු පරිසරය එක්ක සහ හැදෑරූ දේ එක්ක මට මම විදියට ජීවත් වීමේ පරිසරය මේ රටේ තියෙනවා.
මේ සියලු අත්දැකීම් එක්ක ජීවිතය ගැන දිල්රුෆාට හිතෙන විදිය?
සමහර මිනිස්සු හිතන්නෙ ජීවත් වෙන්න සල්ලි ගොඩාක් අවශ්‍යයි කියලයි. තවත් සමහර අය හිතන්නෙ තියෙන දේ පරිස්සම් කරගන්නෙ කොහොමද කියලයි. දුප්පත් වෙලා ඉපදිලා, දුප්පත් විදියටම මැරිලා යන්න ඕනෑ නැහැනෙ. පොඩි ගෙදරක් වුණත් ලස්සනට තියාගෙන ඉන්න එක අපේ අතේ තියෙන්නේ. අපි සුබවාදීව හිතලා ජීවිතය ගත කරනවා නම්, ජීවිතය අපට බර නැහැ. අනෙක් මිනිස්සු මොනවා හිතාවිද කියලා හිතාගෙන ජීවත් වීම කළොත් අපිට, අපි කියන කෙනා නැතුව වෙන අය විදියට තමයි ජීවත් වෙන්න වෙන්නෙ. සමාජයට වැරැද්දක් වෙන්නැති විදියට අපි අපේ පාඩුවේ හිටියොත් නිදහසේ අපට මැරෙන්න පුළුවනි.
සඳුන් ගමගේ